Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

මට ඕනෑ මඩකඩිත්තක් තුළින් විශ්වය දකින්න - එදුවර්දෝ ගලියානෝ




2009 වසරේ ඇමරිකා එක්සත්ජනපදයේ පැවති ඇමරිකානු සමුළුවට සහභාගී විමට පැමිණි, එවකට වෙනුසියාලානු ජනාධිපතිවරයාව සිටි හියුගෝ චාර්වේස්, එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධූරය හෙබවූ බැරැක් ඔබාමා වෙත පැමිණ ඉතාමත් මිත්‍රශිලි ලෙස අතට අතදී ආචාර කොට, සිනා මුසු මුහුණින් එක්තරා කෘතියක් ඔබාමා අතට පත්කළේය. එම සිදුවීම ප්‍රවෘත්තියක් ලෙස පළවීමත් සමඟ ඇමරිකාව තුළ එම කෘතියේ පිටපත් විශාල වශයෙන් විකිණෙන්ට වු අතර ඇමසොන් පොත් අලෙවි ව්‍යාපාරය තුළ එවකට එම කෘතිය, වැඩිම අලෙවිය ඇති කෘති අතරින් හයවැනි ස්ථානයට පත්වීය. එම කෘතිය නම් උරුගුවේ ජාතික ලේඛකයකු හා ජනමාධ්‍යවේදියකු වන එදුවර්දෝ ගලියානෝ විසින් 1971 වසරේ රචිත Open Veins of Latin America: Five Centuries of the Pillage of a Continent ය.


ඔහු සිය ලේඛණ ජිවිතය ආරම්භ කලේ, මානව හිමිකම්, සමාජ සාධාරණත්වය, ලතින් ඇමරිකාව සූරා කන සහ පීඩනයට පත්කරනු ලබන ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය පිළිබඳ නොබියව සිය මතය පළ කරන ජනමාධ්‍ය වේදීයකු ලෙසිනි. Open Veins of Latin America කෘතියට අමතරව ඔහු ලියා ඇති වෙනත් කෘති අතුරින් ‘Days and Nights of Love and War’, ‘Football in Sun and Shadow’ සහ ‘Memory of Fire’ යන සාහිත්‍ය නිර්මාණ විශේෂ තැනක් ගනියි.

දේශපාලන සහ සාහිත්‍ය විචාරකයින් පවසන පරිදි ගලියානෝ, සිය මනබඳින සුළු සහ අවංක ලිවීම් තුළින් ලෝකයට ලතින් ඇමරිකාවේ සංස්කෘතිය, උරුමය සහ එහි අරගල පිළිබඳ මනා දැනුමක් ලබා දෙමින් ඔහු සෙසු ලෝකයට ලතින් ඇමරිකාව පිළිබද දූතයෙකු ලෙස ක්‍රියා කොට ඇත. ඔවුනට අනුව ගලියානෝ ගේ ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ‍ නොවන කෘති සියල්ලගේම පාහේ ඉතා සමබර ලෙස ලතින් ඇමරිකානු සංස්කෘතියත් එහි ඉතිහාසයත් අන්තර්ගතව ඇත.

ඔහුගෙන් සාහිත්‍ය ක්‍ෂේත්‍රයට සිදූවූ අනුපමේය සේවාව වෙනුවෙන් සාහිත්‍ය සම්මාන කිහිපයකින් ම පිදුම් ලැබූ එදුවර්දෝ ගලියානෝ 74 වැනි වියේදී පෙනහළු පිළිකාවකින් රෝගාතුරව 2015 වසරේ අප්‍රියෙල් මස 13 වැනිදා මෙලොවින් සමු ගත්තේය.

මෙහි දැක්වෙන්නේ The Atlantic online වෙබ් අඩවියේ පළවුනු, 2000 වසරේ ඇමරිකා එක්සත්ජනපදයේ මැන්හැටන් නගරයේදී ස්කොට් ෂර්මන් නම් ජනමාධ‍්‍යවේදියා විසින් එඩුවර්දෝ ගලියානෝ සමඟ කරන ලද සම්මුඛ සාකච්ජාවකින් කොටසකි.

  • ජෝර්ජ් ඕර්වල් වරෙක “මම ලියන්නේ ඇයි” යන නිබන්ධනයේ මෙසේ පවසා තිබෙනවා. “ නිතරම මාගේ ඇරඹුම් ලක්ෂය වන්නේ ස්වපාක්ෂිකත්වය පිළිබඳ හැඟීමක් හෝ අසාධාරණත්වය පිළිබඳ සංවේදිතාවක්.” ඔබගේ ඇරඹුම් ලක්ෂය කුමක්ද?

මම ලියන්නෙ මගේ අත කසන විටදි, මම එසේ කළ යුතුයැයි දැනෙන වෙලාවලදි. මම එය ඉගෙන ගත්තේ දිව්‍යමය බෙර වාදකයකු වු කියුබානු සංගීතඥයෙකුගෙන්. එය ඔහුගේත් රහස වුණා. “මම වයන්නේ මගේ අත කසන විටදි”. මම ලියන්නේ, මගේ හෘදසාක්ෂිය මට එසේ කරන්නැයි කියා සිටින විට දී නොව, මා ලිවිය යුතු යැයි මට දැනෙන විට දී පමණයි. එය සුන්දර ලෙස භායානක, භයානක ලෙස සුන්දර ජීවිතය සම්භාෂණය කිරීමක්.

  • වසර 1993 දී, ‍ජෝර්ජ් ජී. කැස්ටනේඩා ඔහුගේ Utopia Unarmed: The Latin American Left After the Cold War නම් කෘතිය තුළ තර්ක කරනවා, ලතින් ඇමරිකානු බුද්ධිමතුන් නිතරම පාහේ  ‘කේන්ද්‍රීය කාර්යය’ සපුරන බව. ඔහුගේ වචන වලින් කිවහොත් ඔවුන්, “ජාතියේ සවිඥානක බව රැකගන්නන්, විවේචකයන්, වගවීම පිළිබඳ සිහිපත් කරන නිරන්තර ‍ඝෝෂකයන්, ප්‍රතිපත්ති සහ අවංකභාවයේ ආරක්ෂකයන්” බව. ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂා කතා කරන ප්‍රජාව තුළ බො‍හොමයක් කලාකරුවන්, ලේඛකයින් සහ සංගීතඥයින්ව ඔවුන් වටා ඇති දිළිඳු භාවයත්, අසාධාරණත්වයත්  විසින් සසල කර ඇති  බවක් පෙනෙනවා.  උදාරණයක් ලෙස, නෝබල් සම්මානලාභී  ‍ජොසෙ සරමාගෝ නිතරම මෙක්සිකෝ හි චියාපාස් වල සංචාරය කරමින්, සැපටිස්ටා ගරිල්ලන්ට ඔහුගේ සහයෝගීතාව ප්‍රකාශ කර සිටියා. ඇයි සාමාන්‍යයෙන් මෙහි,  එනම් ඇමරිකාවේ ලේඛකයින්ට වඩා ලතින් ඇමරිකාවේ ලේඛකයින්ගේ දේශපාලන සවිඥානක බව ඉහළ මට්ටමක පවතින්නේ?

මම සාමාන්‍යකරණය කිරීම විශ්වාස කරන්නේ නැහැ, මම බුද්ධිමතුන්ගේ ‘භූමිකාවත්’, ලේඛකයාගේ ‘කාර්යය භාරයත්’ පිළිබඳ කල්පිත ගොඬ නඟාගෙනත් නැහැ. එය ස්ථානය මත රඳා පවතින්නක්, අනෙක එය සාමාන්‍යකරණය කිරීම සාධාරණ නැහැ. සරමාගෝ කියන්නේ උත්කෘෂ්ට ලේඛකයෙක්. ඔහුට පුළුවන්කම තියෙනවා ඔහුගේ චරිතවල ආත්මය තුළට කිඳා බහින්න. ඔහුව මෙහෙයවනු ලබන්නේ මා ද පංගුකාර වන සහ මා දැඩි සේ අනුමත කරන සහයෝගීතාවේ ආවේගයන්ගෙන්. නමුත් වෙනත් ලේඛකයින් බොහොමයක් ඉන්නවා නිශ්චිත ලෙස දේශපාලනික නොවන. තමන්ගේ ජනතාවගේ සැඟවුණු අනන්‍යතාව හෙළිදරව් කරගැනීමට විශිෂ්ඨ ලෙස පිටිවහලක් වුණු ලේඛකයන් පිරිසක් ද සිටිනවා. ඔවුහු ඉතා විශිෂ්ඨ දේශපාලනික කාර්යය භාරයක් කර තිබෙනවා ඔවුන් නොදැනුවත්ම. මගේ මතය අනුව විසිවැනි ශතවර්ෂයේ අනර්ඝතම ලතින් ඇමරිකානු ලේඛකයා සැළකිය හැකි ශ්‍රෙෂ්ඨ මෙක්සිකානු ලේඛක උවාන් රුල්ෆෝ ගත්තමත් එහෙමයි. ඔහු ගැඹුරු අර්ථයෙන්ම යාථාර්තය හෙළිදරව් කළ කෙනෙක්, ඒ එළිපිට දකින්න තිබෙන යාථාර්ථයම නොවෙයි, සිහිනවල තිබෙන යාථාර්තය ද ඔහු හෙළිදරව් කලා, එමෙන්ම යාථාර්තයේ ඇති සිහිවිකල් බවත්. නමුත් අපට නිර්වචන පිළිබද පරිස්සම් වෙන්න වෙනවා. මේ කාලයේ තිබෙන ප්‍රවණතාවක් තමයි, පුද්ගලයින්ට ලේබල් ඇලවීම. “දේශපාලන ලේඛකයා” කියන්නෙ එවැනි ලේබලයක් විතරයි. අපි දැන නොසිටියත් අපි හැමදෙනාම දේශපාලනිකයි. නිශ්චිත දේශපාලන අනන්‍යතාව කියන්නෙ විය හැකි එකම දේ නොවෙයි. මේ කාර්යභාරයේදී ලේබල් ඇලවීම සෑහෙනතරම් භයානක දෙයක්.


  • දේශපාලන වගකීමකින් කිසියම් ලේඛකයෙක් බැඳී ඇත්නම්, ප්‍රචාරකවාදී ස්වභාවයකට පත් නොවී ඔහු හෝ ඇය තම ප්‍රකාශනය කලාත්මක ඉදිරිපත් කරන්නේ කෙසේද?

මම මා ‘දේශපාලනික වගකීමකින් බැඳි සිටින’ ලේඛකයෙකු ලෙස දකින්නේ නැහැ. මා යනු, යාථාර්තය නිතරම සැඟවී පවතින නිසා ජීවිතයේ අභිරහස්, සමාජයේ රහස් සහ සැඟවුණු අපහැදැලි කලාපවල අභ්‍යන්තරයට ප්‍රවේශවීමට උත්සාහ දරන ලේඛකයෙක්. මා දේශපාලනයේ නියැලීමත්, ලේඛකයෙක් ලෙස මාගේ කාර්යයභාරයත් දෙකක් නොව එකක්. ඒ නිසා මම ප්‍රචාරයත් සමඟ කිසිදු මොහොතක සම්මුඛ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ප්‍රචාරය කාර්යක්ෂම නැහැ. එය අයිති වන්නේ එක මොහොතකටයි. ඒක කමක් නැහැ. නමුත් එය කලාව නොවෙයි. යම් අවස්ථාවලදි සමහර කලා කටයුතු ප්‍රචාරයක මාධ්‍ය ලෙස ක්‍රියාත්මක වෙන වෙලාවල් තිබෙනවා, නමුත් පසුව එය කිසියම් ශෛලියක් බවට පත් වෙනවා. Casablanca කියන්නේ ප්‍රචාරකවාදී චිත්‍රපටයක්. ස්ටාලින් ගේ කාලයේ අයිසන්ස්ටයින් නිර්මාණය කරපු චිත්‍රපට ප්‍රචාරකවාදී වුනත් ඒවා සුන්දර ශ්‍රේෂ්ඨ කලා නිර්මාණ. ඉතින් ප්‍රචාරය නිතරම තාවකාලික නැහැ, ඒත් සාමාන්‍යයෙන් එය එහෙමයි. දැන් ඔබට පේනවා ඇති මම ආකෘතිගත සමීකරණ එතරම් විශ්වාස කරන්නේ නැහැ. යථාර්තය ඉතාමත් සංකීර්ණයි.

  • එක් උදාහරණයක් දක්වනවා නම්, ශෝන් පෝල් සාත්‍ර වැරදි සහගත ලෙස විශ්වාස කළා ලේඛකයින් විශේෂ ආකාරයකට හැසිරෙන්න බැඳී සිටිනවාය කියා?

මම හිතන්නෙ නැහැ ‍ලේඛකයින් දේශපාලනික විය යුතුයි කියලා. මම හිතන්නෙ ලේඛකයින් අවංක විය යුතුයි, ඔවුන් කරන දෙයට අවංක විය යුතුයි. ඔවුන් ඔවුන්වම විකිණීම සිදු නොකළ යුතුයි. ඔවුන් ඔවුන්ට ගරු කරන්න ඕනෑ ඔවුන්‍ගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරගන්න ඕනෑ, මිනිසුන් ලෙස වාගේම වෘත්තීමය ලේඛකයන් ලෙස. ඔවුන් පැවසිය යුත්තේ පැවසීමට අවශ්‍යම දෙයයි. ඔවුන්‍ගේ වදන් නොඉඳුල් විය යුතුයි. ඒවා ඔවුන්ගේ හදවතින්ම පැන නඟින දෑ නොවේ නම්, එම වදන් කෘත්‍රිම වෙනවා. ඔබ දේශපාලනික වීමට ඔවුනට විධානය දෙන්නේ නම්, එය විනාශයක්. ඔය කියන ‘ඊනියා සමාජවාදී යථාර්තවාදය’ එහි ප්‍රතිඵලයක්. එය ‘ධනවාදි යථාර්තවාදය’ සේම විනාශකාරීයි.

  • වසර තිහකට ඉහතදී, ඔබ Open Veins of Latin America ලිවීමේදී ඔබගේ අරමුණ වුයේ සමනළයෙකුගේ සුන්දරත්වය විස්තර කිරීම නොව, ලතින් ඇමරිකාව තුළ ක්‍රියාත්මක වන ඇමරිකානු අධිරාජ්‍යවාදය ලේඛනගත කිරීමයි.

ඔව්. එය තමයි මට ඕනෑ කලේ. අවුරුදු තිහකට කලින්, මම ප්‍රශ්නත් සමඟ පොරබදිමින් ඒවාට විසඳුම් සොයමින් සිටියා. නොදියුණු රටවල් ‘සංවර්ධනය වෙමින් පවතින’ රටවල් ලෙස හැඳින්වු විට, ඉන් ඇඟවෙන්නේ ඒ රටවල් තවම ළදරුවන් වගේ, තවම වැඩෙනවා, සංවර්ධනය වෙනවාය කියන කාරණය. නමුත් එය බොරුවක්.

ඔවුන් නොදියුණු තත්වයට පත්වුනේ බලසම්පන්න රටවල් එම නොදියුණු යැයි රටවල වියදමින් ජිවත් වූ නිසා. තුන්වැනි ලෝකයේ රටවල් නොදියුණු බව කියන්නේ, සංවර්ධිත තත්වයට ලඟාවීමේදි පසු කරන අවධියක් නොව, රටවල් සුළු සංඛ්‍යාවක් සංවර්ධිත තත්වයට පත් වූ නිසා ඇති වූ ප්‍රථිපලයක්. එය තමයි Open Veins of Latin America කෘතියේ මුලිකම තර්කය වුයේ. ධනවත්බවේ ඉතිහාසයත් සහ දුගීබවේ ඉතිහාසයත් එකිනෙකට වෙලි පවතින්නක්. මම ඒ කෘතියෙන් උත්සාහ ගත්තෙ ශතවර්ශ පහක් පුරා මෙය සිදු වුනේ කොහොමද කියලා පෙන්වා දෙන්න. ඇමරිකානු අධිරාජ්‍යවාදය කියන්නේ එම කතා වස්තුවේ එක් කොටසක් පමණයි. මම එය ලීවේ දේශපාලනික පත්‍රිකාවක් විදියට. මම හිතුවේ ඒක අවුරුදු දෙක තුනක් පවතින දෙයක් විදියට විතරයි, ඒත් ඒය බොහෝකාලයක් අල්ලා හිටින පොතක් බවට පත්වෙලා. එක්තරා විදියකට එය ප්‍රචාරකවාදි කෘතියක්. නමුත් පසුකලෙක මම මා නැවත නැවත එකම අයුරින් ප්‍රකාශයට පත් වීම වැළැක්වීමට වෙනස් දේවල් ද ලීවා. Upside Down කියන්නේ Open Veins කෘතියට වඩා හාත්පසින්ම භාෂාවකින් ලියන ලද කෘතියක්, නමුත් එහි ඇති කාරණාවලට තවමත් මම පක්ෂපාතියි. මම ඒ කෘතිය පිළිබඳ ආඩම්බර වෙනවා. එය ආලය පිළිබඳ කෘතියක්.


  • මේ දිනවල ඇමරිකාවේ, මෙක්සි‍කෝ චියාපාස් හි ආකර්ෂණීය සැපටිස්ටා ගරිල්ලා නායක Subcomandante Marcos පිළිබඳ එතරම් අසන්න ලැබෙන්‍නේ නැහැ. නමුත් මාර්කෝස් යුරෝපයේ සහ ලතින් ඇමරිකාවේ ඉතාමත් ජනප්‍රියයි. 1994 වසරේ සිට මෙක්සිකෝ නගරයේ පුවත්පතක් වන La Jornada හි පළවුණු ඔහුගේ නිල නිවේදන කියැවු විචාරකයින්, මාර්කෝස්ව හැඳින්වුයේ කලාපයේ සිටින වඩාත් සියුම්ම ලේඛකයන් ගෙන් කෙනෙකු බවයි. ඒ අනුව ඔහුගේ සාහිත්‍යයික බලපෑම් බවට පත් වි ඇත්‍තේ විලියම් ෂේක්ස්පියර්, ෆෙඩිරිකෝ ගාර්සියා ලෝර්කා, යුලියෝ කොර්තසාර්.... සහ එදුවර්දෝ ගලියානෝ බව මෙක්සිකෝව තුළ ප්‍රචලිත කාරණයක්.

මම දන්නෙ නැහැ ඔහුට මම බලපෑමක් වුණාද කියලා. ඔහු නියෝජනය කරන ජනතා ව්‍යාපාරය එනම්, චියාපාස් හි ස්වදේශීක ජනතාවගේ විරෝධය වෙනුවෙන් ගොඬනැඟුණු ව්‍යාපාරයේ සාමුහික අපේක්ෂාවන් ඔහු මුර්තිමත් කරනවා. මුලිකව ප්‍රාදේශීය ව්‍යාපරයක් ලෙස ආරම්භවී පසුව ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද ව්‍යාප්ත වුණු එම ව්‍යාපරයේ සාර්ථකත්වය වෙනුවෙන් එම ව්‍යාපාරය වැඩිමනත් ලෙස ඔහුට කෘතඥ විය යුතුයි. සැපටිස්ටා වරුන් ක්‍රීඩාවේ නීති වෙනස් කළා. මෙක්සිකෝවේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදි නොවන නිසා, මෙක්සිකෝව ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් නොවෙයි, එය පැහැදිලියි. නමුත් දේශපාලනිකව මෙක්සිකෝව ප්‍රජාතන්ත්‍රවාදය දෙසට බොහෝ සෙයින් නැඹුරු වුණා.මෙම නැඹුරුවීම්, සැළකිය යුතු ආකාරයකට සැපටිස්ටාවරුන් විසින් ඇති කළ පීඩනය නිසා සිදු වුවක්. ඔවුන් සිවිල් සමාජයේ ශක්තිය සවිමත් කරමින් එය මෙහෙයවූවා. ඔවුන් අන්තර්ජාතික වශයෙන්ද බලපෑමක් ඇති කළ ව්‍යාපාරයක් බවට පත් වුණා, ඒ සෑම සාර්ථකත්වයක් වෙනුවෙන්ම මාර්කෝස් ගේ භාෂාවට බොහෝ සෙයින් කෘතඥ විය යුතුයි. මගේ දැක්මට අනුව එය අප්‍රසාදය, කවීත්වය, මේ සියල්ලට එපිටින් හාස්‍ය පිරිණු භාෂා විලාසයක්. අපට ආහාර ජලය අවශ්‍යවන්නා සේ අපට හාස්‍ය අවශ්‍ය වෙනවා. එය තමයි ලේඛකයෙකු ලෙස ඔහු සතු ශ්‍රේෂ්ඨ කෞශල්‍යය.

  • ඔබ තුළ බලපෑමක් ඇති කළ ඇමරිකානු ලේඛකයින් සහ බුද්ධිමතුන් කවුද? එසේ නම් ඒ ඇයි?

මට එම ප්‍රශ්නයට උත්තර දෙන්න අමාරුයි මොකද එහෙම ගොඩක් අය ඉන්නවා. ආරම්භයේදීම මාර්ක් ට්වේන්, ඇම්බ්‍රෝස් බියර්ස්, කාර්ස්න් මැකලර්ස්, විලියම් ෆෝර්ක්නර් සහ ජී.ඩී. සැලින්ජර් වැනි අය මා තුළ මහත් බලපෑමක් ඇති කළා. මම පුදුමයට පත් වුණා ට්වේන් සහ බියර්ස්ගේ හාස්‍යට.



  • ජෙම්ස් බොල්ඩ්වින් ඔහු‍ගේ Notes of a Native Son නම් කෘතියේ පෙරවදනේ සඳහන් කර තිබෙනවා, ‘ මට අවශ්‍ය අවංක මිනිසෙක් සහ හොඳ ලේඛකයෙක් වීමටයි” ඔබට අවශ්‍ය කිනම් ආකාරයේ මිනිසෙක් සහ කිනම් ආකා‍රයේ ලේඛකයෙක් විමටද?

ජේම්ස් බෝල්ඩ්වින් කිවා වගේ මටත් ඕනෙ අවංක මිනිසෙක් සහ හොඳ ලේඛකයෙක් වීමටයි. මම ඔහුට බොහෝසෙයින් ගරු කරනවා. ඔහු දවසක් කියූ කතාවක් මම යොදා ගත්තා මගේ Memory of Fire කෘතියේ තුන්වැනි වෙළුම සඳහා. ඔහු ඉතා ලාබාල අවධියේදි දිනක් ඔහු සිය හිතමිත්‍ර සිත්තරුවෙක් සමඟ වීදියේ ඇවිද යමින් සිටියා. ඔවුන් රතු ආලෝකය අසල නැවතුණා. ‘බලන්න’ ඔහුගේ මිතුරා එකවරම පැවසුවා. නමුත් බෝල්ඩ්වින් කිළිටි වතුර රැදුණ දිය කඩිත්තක් හැර වෙන කිසිවක් දුටුවේ නැහැ.

මිතුරා නැවත ඉල්ලා සිටියා “ ඒ දිහා හරියට බලන්න.” ඉතින් බෝල්ඩ්වින් නැවතත් හොඳින් බැලුවා. එවිට ඔහු දැක්කා මඩ කඩිත්තේ තෙල් පැල්ලමක් පැතිරයමින් තිබෙනවා. ඒ තෙල් පැල්ලම තුළ ඔහු දුටුවා දේදුන්නක්, වීදිය මත ඇති චලන, වීදිය මත මිනිසුන්ගේ එහා මෙහා යාම්, උන්තමත්තකයන්, විජ්ජාකාරයන්. ඔහු ඒ කුඩා දිය කඩිත්ත තුළ මුළු විශ්වයම දුටුවා. ඒ දවසේ බෝල්ඩ්වින් කීවේ ඔහු දකින්නට ඉගෙනගත් බවයි. මට එය ඉතාමත් වැදගත් පාඩමක් වුණා. මමත් නිතරම උත්සාහ කරන්නේ, වීදියේ මඩකඩිති තුළින් විශ්වයම දකින්නයි.

✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017.12.17 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.


Comments