මයිකල් ඔන්ඩාච්චෙ ගේ නවතම කෘතිය පසුගිය මැයි මස 08 වැනි දා(2018) එළිදැක්විණි. මයිකල් ඔන්ඩාච්චෙ නවකතාකරුවෙකි, කවියෙකි, සංස්කාරකවරයෙකි, ශාස්ත්‍රීය ලිපි සම්පාදකයෙකි, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකි.
පුළුල් ක්ෂේත්‍ර පරාසයක පැතිරී ඇති ඔහුගේ නිර්මාණ දිවිය වරින් වරි දෙස් විදෙස් සම්මාන රැසකින් ඇගයීමට ලක්වුණු අතර ඔහුගේ නිර්මාණ දිවිය තුළ ඔහුට මහත් කීර්තියක් අත්කර දුන්නේ 1992 වසරේ ඔහු ලියා පළ කල The English Patient කෘතිය තුලිනි. එම සාහිත්‍ය කෘතිය සඳහා එම වසරේ බුකර් සාහිත්‍ය සම්මානය ද පිරිනැමිණි. ඔහු 1943 වසරේ දී ලංකාවේ උපත ලද්දෙකි. වර්තමානයේ කැනඩාවේ ජීවත්වන ඔන්ඩාච්චෙ එම රට තුළ විවිධ සාහිත්‍යයික දහරාවන් ප්‍රවර්ධනය කිරීමේ මහඟු සේවයට සක්‍රියව දායකවෙමින් සිටියි.පහතින් දැක්වෙන්නේ වොෂිටන් පෝස්ට් සහ නැෂන්ල් පබ්ලික් රේඩියෝ (US) වෙබ් අඩවි වල පළවුණු පිළිවෙලින් ඔහුගේ නවතම කෘතිය ( Warlight) පිළිබඳ විචාරයක් සහ ආරි ශපිරෝ නම් ජනමාධ්‍යවේදියා ඔන්ඩාච්චෙ සමඟ කරන ලද කෙටි පිළිසඳරක් ඇසුරින් සකස් කරගත් ලිපියකි.
- ආරි ශපිරෝ - මයිකල් ඔන්ඩාච්චෙ ගේ අලුත්ම නවකතාව අපව වල්මත් කරයි. කතා තුළ කතා. පාඨකයෙකු ලෙස මා කොයි දිශාවකට ගමන් ගන්නේදැයි කිසිදු විශ්වාසයක් මා තුළ තිබුනේ නැහැ. එසේම ඔන්ඩාච්චෙට අනුව ඔහු එය ලිවීම ආරම්භ කරන විටදී ඔහුටද ඒ පිළිබඳ එතරම් විශ්වාසයක් තිබී නැහැ.
ඔන්ඩාච්චෙ - මම අදහස් කළේ, ඇත්තටම මම, අවසානයේදි කුමක් සිදු වේද යන්න දැන ගෙන කතාවක් ලිවීම ආරම්භ කරන ලේඛකයෙක් නොවේ ය යන්නයි. ඔබ දන්නවා සමහර ලේඛකයෝ කතාව ආරම්භයේදි ම දන්නවා එහි අවසාන වැකිය. මම කිසියම් විදියක තත්වයකින් ආරම්භ කරන්නේ, පසුව ක්‍රමක්‍රමයෙන් කතාව ගොඬ නැඟෙනවා. ඕර්නට් කෝල්මන් කියපු ශ්‍රේෂ්ඨ කතාවක් තියෙනවා - ඔබ මුළින්ම ක්‍රීඩාව පටන් ගන්නේ ඔබේ භූමිය ඇතුලේ..පසුවට එළැඹෙන්නේ අවදානම් ක්‍රියාදාමයයි.”
- මේ පොතේ නම ‘Warlight’. ඔබ ගේ අනෙක් ප්‍රසිද්ධ නවකතාව වන The English Patient හි මෙන් එය පදනම්වි ඇත්තේ දෙවන ලෝක යුද්ධ කාලයයි. ස්ථානය ලන්ඩනය. අවුරුදු පහළොවක් වයසැති පිරිමි දරුවකු සහ ඔහුගේ සහෝදරිය ඔවුන්ගේ දෙමව්පියන් විසින් අතහැර දමනු ලබනවා. හොර බඩු ප්‍රවාහනය, රහස් කේත... හැම චරිතයකටම අනවරත නාම තිබෙනවා. මොත්, ඩාර්ඒ, ස්ටිච්.. පරිච්ඡේදයක ආරම්භක වැකිය, පසු පෙළ තුළ සෑම විටම මුහුණ දීමට සිදුවිය හැකි ආතතිය පිළිබඳ ඉඟි සපයනවා.
ඔන්ඩාච්චෙ - (කියවමින්) “1945 වසරේදී, අපව අපරාධකරුවන් දෙදෙනකුට බාර කොට, අපගේ දෙමව්පියෝ, අපව හැරදමා දුරබැහැරකට ගියෝය. අප ජීවත්වූයේ ලන්ඩන් නගරයේ රිවින්ගි ගාර්ඩන්ස් නම් විදියේය. එක් උදෑසනක ආහාර ගැනීමෙන් අනතුරුව අපේ මව හෝ පියා පවුල තුළ කිසියම් සාකච්ඡාවක් සිදුකළ යුතු බවට යෝජනා කළේය. ඔවුහු අපව තනිකොට දමා එක් වසරකට සිංගප්පුරුවට යන බවට එහිදී අපට දැනුම් දුන්නහ. එය ලොකු කාලයක් නෙවෙයි. ඔවුහු අපට කීහ, නමුත් එය කෙටි චාරිකාවක්ද නොවීය. ”
- මට ඇත්තටම පුදුමයි, ඔබ පළමු ඡේදය ලිවීමට පටන් ගන්නා විට එම කතාන්දරය කොයි දෙසට ගමන් ගන්නේ දැයි ඔබ නොදැන සිටීම ගැන, මොකද එම ඡේදය මුලාරම්භයේදීම අප ඉදිරියේ තබන අභිරහස්, කෘතිය අවසානයේදී ඉතාමත් සතුටුදායක ආකාරයෙන් ඔබ අපට විසඳා දෙනවා. ඇත්තටම මේ මිනිස්සු අපරාධකාරයෝද? සැබවින් දෙමව්පියන් සිංගප්පුරුවට යනවාද? කොච්චර කලක් ඔවුන් දරුවන්ගෙන් දුරස්ව සිටිනවාද? පොත පුරාවට විසඳුම ලබාදෙන, ආරම්භයෙදි අප ඉදිරියේ ඇති ගැටළු ඒවයි. ඔබ ඒ මොහොතෙ දැනගෙන සිටියේ නැද්ද ඔබ පාඨකයා හමුවේ තබන ගැටළු වලට විසඳුම් මොනවද කියලා?
ඇත්තටම මම දැනහිටියේ නැහැ. රැෂෙල්, ඒ කියන්නෙ නතානියල් ගේ සහෝදරිය ගැනවත් මම ගොඩක් දේවල් දැනගෙන හිටියේ නැහැ ඒ වෙන කොට. ඉතින් පළමු ඡේදය ගොඬනැඟුණා යම් යම් දේවල් සිදුවුණ නිසා. කෙසේ වෙතත් මම පොත ලියාගෙන යද්දි ආපහු ගිහිල්ලා පළමු ජේදය නැවත ලියනවා. නමුත් එය තරමක් නොගැළපෙන වගේම අවාදනම් සහගත ක්‍රියාවක් වුනත්, ආරම්භය වන්නේ මගේ පළමු වැකියම තමයි, එය හරියට සුරංගනා කතාවක රිද්මය වගෙයි. ඔබට එතැන ඉඳන් ඉදිරියට යන්න වෙනවා.
- අරුම පුදුම ආරම්භක වැකියක් - ‘අපරාධකරුවන් දෙදෙනෙකුට බාර කොට... ( සිනාසෙයි)
ඔව් මම ඒ වැකිය තුළ සිරවුණා.
- මම කැමතියි ඔබගේ පොතේ නම"Warlight." ගැන දැනගන්න. ඉන් අදහස් කරන්නෙ කුමක්ද?
මම එය එක්තරා ආකාරයක කළ සොයා
ගැනීමක්. මම පොතේ ආරම්භයේදීම ගඟ ගැන
විස්තර කරනවා, යුද්ධ
කාලයේ ජර්මානුවන් බෝම්බ දැමීම නිසා ගඟ බොහෝ සෙයින් අඳුරු ස්වභාවයක් අරගෙන. එහි පතුළේ ආලෝකය, යන්තමින් සිදුවන පරාවර්තනය.. එය ඇත්තටම විස්තර කිරීම අපහසුයි. සැබවින්ම ඒ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මේ
කතාවස්තුවේ ගැහැණු මිනිසුන්ගේ ජිවිත මත ඇති ආලෝකයේ දෝංකාරය..
- මෙම කෘතිය තුළ සැහැසි බව, ප්‍රචණ්ඩත්වය කියා පාන සිදුවීම් බහුලව තියෙනවා. එය හරියට සැහැසිබව ප්‍රචණ්ඩත්වය කුමක්ද යන්න සොයා යාමක් වැනියි.
හරි. ආපස්සට යාම සහ දොර විවෘත කර අතීතයේ තිබු අඳුර සොයා ගැනීම. ඔහු එක් මොහොතකදී කියාවි, ඔබ එය ආලෝකමත් කළ යුතු බව.
- මේ පොතේ නිතරම ජර්මානු වචනයක් මතුවෙනවා. චරිත ඒ වචනය භාවිතා කරන්නෙ කිසියම් අවාදනමක් ගැන ප්‍රකාශ කරන්න. ඒ වචනය මොකක්ද?
- අවසාන වශයෙන් මෙම කෘතිය, තේමාත්මක ලෙස ආරක්ෂාව සොයා යාම, තම නිවහන ගොඬනඟා ගැනීම, පවුල නිර්වචනය කිරීම වැනි ඔබගේ පෙර නිර්මාණ සමඟ කිසියම් පොදු බවක් දක්නට ලැබෙනවා. ඇයි ඔබ නැවත නැවතත් මේ අදහස් වෙතම එන්නේ?
මම හිතන්නෙ මටත් ස්ථිර වාසස්ථානයක් සහිත ජිවිතයක් තිබුණේ නැහැ. මම ඉපදුනේ ලංකාවේ. මගේ දෙමව්පියෝ වෙන් වුණා. අම්මා එංගලන්තෙට ගියා, ඉතින් මම ත් ගියා. පසුව මම කැනඩාවට ගියා. එදා ඉඳන් මම ජිවත් වෙන්නෙ කැනඩාවෙ. ඉතින් ඒ සංචාරී ජීවිතේ ඔබට සමහරවිට බල කරනවා ඔබේ නිවහන කුමක්ද ඔබ අයිති භුමිය මොකක්ද කියලා සොයා බලන්න.
Comments
Post a Comment