- නව ඉන්දියානු ලේඛක පරම්පරාව ඔබව සලකන්නේ, ඉන්දියාවට වී ලියන, ඒ ලියන ඒවා මුළු ලෝකයම කියවන්න තරම් භාග්‍ය යක් ලද ලේඛකයකු විමේ සිහිනය දකින්නට ඉඩ ලබා දෙන කෙනෙකු ලෙසයි. ඒ ප්‍රතිමුර්තීමය ස්වභාවය ඔබට දැනෙන්නෙ කොහොමද? ඔබ ඒ ගැන කවදාවත් හිතලා තියෙනවද?
- මගේ අත්දැකීමට අනුව ඔබ සාහිත්‍ය උත්සව වල එතරම් දකින කෙනෙක් නෙමෙයි. මේ දවස්වල ඉන්දියාවේ සාහිත්‍ය උත්සව එමටයි. ඒත් මම ඔබව ඒ කිසිම උත්සවයකදී දැක නැහැ. ඔබ එවැනි අවස්ථාවලින් ඈත් වී සිටින්නියක් ද?
මම මේ කියන්නෙ අනිත් ලේඛකයෝ ගැන නෙමෙයි. මම දන්නෙ නැහැ ඔබ කියවලා තියෙනවද කියලා මම ලියපු Capitalism – A Ghost Story and Walking with the Comrades කියන රචනා. ජායි පූර් සාහිත්‍ය උත්සවයට මුදල් වියදම් කරන්නෙ ආදි වාසින් ගේ හඬ නිහඬ කරන, ඔවුන්ව තමන්ගේ නිජ බිම් වලින් පන්නා දමන වදකාර කැනීම් සමාගමක්.
- ඔබ ඉන්දියාවේ අලුතින් ලියැවුණු ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති කියවනවද?
මම මගේ දෙවැනි පොත ලියමින් සිටින කාලයේ ඇත්තටම කාලීන දේවල් පිළිබඳ එතරම් දැනුවත් වුනේ නැහැ. මට අඩුම තරමේ ෆේස්බුක් ගිණුමක් වත් නැහැ. මට ඇත්තටම ෆේස් බුක් එක්ක ප්‍රශ්නයක් නැහැ, ඒත් ස්නෝඩන් මට කිවූ විදියට, ෆෙස්බුක් ආරම්භ වුනාම CIA එක උද්දාමයට පත් වුනාලු මොකද, රැස් කිරීමේ මහන්සියකින් තොරවම ඔවුනට සේරම තොරතුරු පහසුවෙන් ලැබෙන නිසා කියලා. ඒක පැත්තකින් තිබ්බත්, මම ලියන විටදි කියවීම සම්බන්ධයෙන් තියෙන්නෙ මට අමුතු පුරුද්දක්: සමහර වෙලාවට මම පොත් අවසානය දක්වා කියවන්නෙ නැහැ, ඒත් යම් යම් දේවල් ඇතුළට කිඳා බහිනවා, ඇත්තටම මම සිහි බුද්ධියෙන් ද ඉන්නෙ කියලා හොයා ගන්න. “ මම ඉන්නෙ මේ ලෝකෙද?” කියලා දැන ගන්න.
- ඔබගේ අලුත් නව කතාව The Ministry of Utmost Happiness තුළින් ඔබ ජනතාව කැළඹීමට පත් කරන්න බලාපොරොත්තු වෙනවද, කලහකාරී කණ්ඩායම් උසස් රසඥතාවයෙන් යුත් දේ කියවන්නේ නැති වුනත්?
ඒක පොතක් ගැන හෝ ඔවුන් කියවන හෝ නොකියවන දේ මොනවද ගැන ප්‍රශ්නයක් නෙවෙයි, මොනවද කතා කරන්න හෝ නොකරන්න පුළුවන්, කාටද කතා කරන්න පුළුවන්, කාව කාටද මරන්න පුළුවන් වැනි දේ ගැන ඔවුන් හදා ගෙන ඇති අත්තනෝමතික නීති සමුදාය ගැන ප්‍රශ්නයක්. ඔව්! මම මෙහෙ තමයි ජීවත් වෙන්නෙ, මම ලියන්‍නෙ මෙහෙ ඉඳගෙන, මේ පොත මෙහෙ ගැන. ඒත් මෙහෙ ගැඹුරටම පාලනයෙන් තොර තත්වයක් පවතිනවා. සරලව එය, මිනිසුන් ඝාතනයට ලක් වීම් ගැන නොවෙයි. එය ඔබ මුස්ලිම් ජාතිකයෙක්ව සිටියදි, කොහොමද ජීවිත අවදානමට ලක් නොවී බසයක හෝ දුම්රිය අසුනක හිඳ යන්නෙ කියන එක පිළිබඳවයි. මා තුළ කුමක්ද සිදු වෙන්නෙ කියන එක ගැන කිසිම අදහසක් මට නැහැ. මම පොතක් ලීවා, ඒකට මට අවුරුදු දහයක් ගත වුනා, දැන් ඒක රටවල් තිහක විශාල ප්‍රකාශන සමාගම් විසින් ප්‍රකාශයට පත් කරමින් සිටිනවා. ඉතින් මේ මෝඩ අමන රැළකට ඒ මැද්දට පැනලා ඒක කාබාසිනියා කරලා දාලා, පත්තර සිරස්තල වල එල්ලිලා ඉන්න මම ඉඩ තියන්නෙ නැහැ. මම ඇයි එහෙම නොකරන්නෙ? ඒක මේ ඔවුන් ගෙ සිඟිති මොළ ගැන ප්‍රශ්නයක් නෙමෙයි. එය මුළුමනින්ම සාහිත්‍යමය කාරණාවක්.
- අපි පොත ගැන කතා කරමු. ජනතාව අතර විද්වත් කාන්තාවක් ලෙස අවුරුදු විස්සක් පමණ ගත කිරීමෙන් අනතුරුව මොන වගේ කාරණවාක් ද ඔබව පෙළඹෙව්වෙ දෙවැනි නවකතාව එළි දක්වන්න?
මේ නවකතාව ලියමින් මම වසර දහයක් ගත කළා, ඒත් The God of Small Things එළි දක්වලා දැනට වසර විස්සක් වෙනවා. එතෙක් මෙතෙක් මම සංචාරය කරමින්, සිදු වෙමින් පැවති ගොඩක් දේ හා සම්බන් ධ වෙමින්, ඒවා ගැන පුළුල් ලෙස ලියමින් කාලය ගත කළා. මම කිසියම් දේශපාලනික රචනාවක් ලියන්නෙ, එසේ කිරීම සඳහා කඩිනම් අවශ්‍යතාවක් පැන නැඟුන විටදි, කිසියම් කාරණාවක්, සමාජය මත පුපුරුවා හැර එම කාරණය සඳහා ඉඩක් සාදා ගැනීමට අවශ්‍ය වූ විටදි. ඒත් ප්‍රබන්ධය සඳහා කාලය අවශ්‍යයි, අනෙක එය අවධි කිහිපයකින් සිදු වන්නක්. ඒවගේම, අපි ගනිමු කාෂ්මීරය වගේ තැනක සිදුවන වියරු උන්මත්තක සිදුවීම් ගැන. ඔබ කොහොමද විස්තර කරන්නෙ එවැනි ස්ථානයක සිදුවන භයංකාර දේ ගැන? එය මිනිසුන් ඝාතනය වන්නේ කෙසේද සහ ඒ කොහේද යන්න ගැන ලියැවුණු මානව හිමිකම් වාර්තාවක් නෙමෙයි. එවැනි තැනක ඇති මානසික වියරුව ඔබ විස්තර කරන්නෙ කොහොමද ප්‍රබන්ධයකින් හැරෙන්න?
- එසේ නම් ඒ හේතුව නිසයි ඔබ තෝරාගත්තෙ....
නැහැ ඒක නිසාම නෙමෙයි. මම ප්‍රබන්ධයක් කරන්න තෝරාගත්තෙ නැහැ මට කාෂ්මීරය ගැන යමක් කියන්න තියෙන නිසා, නමුත් ප්‍රබන්ධය විසින් මාව තෝරා ගන්නවා. මම හිතන්නෙ නැහැ, ‘මට කිසියම් තොරතුරු ප්‍රමාණයක් තියෙනවා සන්නවේදනය කරන්න, ඒ නිසා මට පොතක් ලියන්න ඕනෙ වුනා’ තරම් ඒක සරලයි කියලා. සිතීමේ කලාව.....එය යැදුමක්, එය ගීතයක්.
- ඔබට අනුව The Ministry of Utmost Happiness ලිවීමේ කාර්යය දැනෙන්නෙ කොහොමද?
කිලෝ පනහකින් මගෙ බර අඩු වෙලා වගේ දැනෙනවා, මොකද අවුරුදු දහයක් පුරා මං අභ්‍යන්තරයේ තිබුණු බර මා තුළ නොව, දැන් මගෙන් පිටත මා ලඟින්ම තියෙනවා. ඒත් ඉන්දියාව ඇතුළෙ පොතක් එළි දැක්වීමට, විශේෂයෙන්ම මෙවැනි ආකාරයේ පොතක් එළි දැක්වීමට තරම් සුදුසු ප්‍රීතිදායක කාලයක් නෙමෙයි දැන් පවතින්නෙ. ඒ නිසා නිර්මාණ කාර්යයයට තැබූ බර කිසියම් ආකාරයකට ප්‍රතිස්ථාපනය වුනා, මේ පොත ඉන්දියානු ජනතාව, විශේෂයෙන්ම බලයේ ඉන්න අය නොකියවාවි කියන අනියත බිය විසින්. ඔබ කාටද පහර දිය යුත්තෙ, ඔබ කාවද නිහඬ කළ යුත්තෙ, ඔබ කාවද වළක්වන්නෙ, ඔබ කාවද ඝාතනය කළ යුත්තේ: එය කාලානුරූපවයි සිදු වෙන්නෙ.
- මේ කතාව තුළ විවිධ හඬ ගණනාවක් තියෙනවා. ඔබ ඒ වගේ විවිධ චරිත සමුදායක් ගැන ලියන්න යනවා කියන එක ගැන ඔබ දැනගෙන සිටියාද?
මට නිතරම ලියන්න ඕනෙ වුනේ එහි කතාන්තදරය, හරියට විශාල නගරයක මාවත් විහිදිලා තියෙනවා වගේ පොතක්. මම ඇවිදගෙන යද්දි, මම කිසිම කෙනෙක්ව නිකම්ම පහු කරගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ, මම හිඳ ගන්නවා, දුමක් අදිනවා, වෙලාව ගැන විමසනවා. මට ඕනෑ වුනා කුඩාම චරිතයට පවා කතාන්දරයක් නිර්මාණය කරන්න. මට ඕනෑ වුනා පසුබිම ඉදිරිපසට අරගන්න, නගරය චරිතයක් බවට පත් කරන්න. ඉතින් ඔව්, මම දැන හිටියා එය ජනාකීර්ණ වෙයි කියලා. මට එහෙම තමයි ඕනෙ කළේ.
- මෙහි එන හඬවල් එකිනෙකට වෙනස්. ආරම්භයේදීම ඉන්නවා, අනුජුම්, සංක්‍රාන්තික ලිංගික කාන්තවන් අතර ජීවත් වෙන සංක්‍රාන්තික ලිංගික පිරිමියෙක්. ඔවුන්ගේ අත්දැකීම් ගැන ලිවීම දුෂ්කර වුණාද? මම මෙහෙම අහන්නෙ එවැන්නන් ඔබට එපමණ හුරු පුරුදු නැති නිසා?
මම ලිංගිකත්වය ගැන සලකන්නෙ වර්ණාවලියක් ලෙස. මම එහි එක තැනක, ඔබ තව තැනක. තව කෙනෙක් තවත් තැනක. ඔබට කිසිමදාක මනුෂ්‍යත්වයත්, මනුෂ්‍යභාවයත් සැකයට භාජනය කරන්න බැහැ.
- නවකතාව ඇතුළෙ භාෂාව භාවිතය බොහෝ සෙයින් විවිධයි. චරිත මාරු වෙන්නෙ ඒ විවිධත්වය අතර, ඔබ එහි කාෂ්මිර - ඉංග්‍රීසි වර්ණමාලාවක් ද නිර්මාණය කර තිබෙනවා...
භාෂාව කියන්‍නෙ ඉන්දියාව තුළ බරපතළ කාරණයක්. භාෂා ජාතිවාදය. උදාරණයක් ලෙස, හින්දි භාෂාව ජාතික භාෂාව කරන්න ගත් සෑම උත්සහායකදීම දකුණු දිග ප්‍රාන්ත වල දරුණු ගැටුම් ඇති වුණා. ලෝකයේ මේ ඉසව්වෙ, අප ජිවත්වෙන්නෙ, කතා කරන්නෙ, ගී ගයන්නෙ, යාච්ඤා කරන්නෙ සිය ගණනක් භාෂා, උප භාෂා භාවිතා කරමින්. එවැනි රස මුසුවක් තුළ තමයි, The Ministry of Utmost Happiness ගිලී පදම ඇති කර ගත්තෙ.
- ජිවිතය සහ මරණය අප අත්දකින දේවල්.. ඒත් ඒ දෙකෙහි සීමාවන් ඉතාමත් අපහැදිලියි..
මම හිතන විදියට බටහිර රටවල මරණය ඉතාමත් පැහැදිලියි. ඒත් කාෂ්මීරය වගේ ස්ථාන වල ජිවත්වන්නන් මියැදිලා, මියුසා( The Ministry of Upmost Happiness කෘතියේ එන චරිතයක්) කියනවා වගේ, මිනිස්සු හිතනවා මියැදුණු අයට පණ තියෙනවා සහ ඔවුන් මිනිසුන් අතර ජීවත් වෙනවා කියලා. ඔවුන් මිනිසුන්ට තම ගරුත්වය වෙනුවෙන් සටන් කරන්න අවශ්‍ය කෝපය, ශක්තිය සපයා දෙනවා. ඉතින් අන්ජුම්(චරිතයක්) ජිවත්වන සොහොන් පිටියේ - ගොඩාක් දේවල් අතර සවිවර සීමාවක් ඇති බව දැනෙනවා, මිනිසුන් එනවා , යනවා.
- මෙම නවකතාව තුළ ආදරය මඟහැර යා නොහැකි තරම් ශක්තිමත් තේමාවක්. එහි ඉන්නවා මියුසා සහ නාගා.. තව ගාර්සන් හොබාර්ට් සහ ටිලෝ. ඔවුනට තියෙන්නෙ ඉතාමත් සංකීර්ණ සබඳකම්. ඒ ඇයි?
බලාපොරොත්තු නොවන සියළුම ආකාරවල ආදර සබඳතා මේ පොතේ තියෙනවා, ගැහැණු පිරිමි අතර විතරක් නෙමෙයි, මාතෘත්තය පවා මෙහි වෙනස්. සදාම් හුසෙයින් සහ අන්ජුම් අතර තියෙනවා ඉතාමත් සුන්දර ආදරයක්.. තව නේක විධ අමුතු අකාරයේ මිත්‍රත්වයන්. මියුසා, ටිලෝ, නාගා සහ ගාර්සන් හොබාර්ට් අතර වෙන්නෙ ඇත්තටම, ටිලෝ සාමාන්‍යයෙන් කාන්තාවන් ප්‍රතිචාර දක්වන විදයට නෙමෙයි ආදරයට ප්‍රතිචාර දක්වන්නෙ, ඒ නිසා කිසිවක් හරියට සිදුවන්නෙ නැහැ. ඒ නිසා හැම කෙනාටම සිද්ධ වෙනවා ආදරය ගැන නැවත හිතන්න, අලුතින් පරිකල්පනය කරන්න. ඉතින් කිසිම කෙනෙකුට ඒ සබඳකම් ගැන විශ්වාස නැහැ.
- මේ පොතත් ඔබ දේශපාලනය ගැන ලියන රචනා වගේම දේශපාලනිකයි. ඔබ හිතනවද ප්‍රබන්ධයට හැකියාව තියෙනවා කියලා වෙනස් විදියකින් දේශපාලනික චින්තාව සොයා යන්න?
මම මෙය නිතරම කියන දෙයක්. ඒත් ඒක හරිම ඇත්තයි - හැමදේම දේශපාලනිකයි. සුරතල් මත්ස්‍යයකුගේ ලිංගික ජීවිතට අදාළ කාරණා පවා. හැමදේම. නමුත් ඔව්, ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන කෘති එකිනෙකට ගොඩක් වෙනස් තමයි. කතුවරයා තුළ මුල් බැස ගත් මතවාදයන් අනුව, ඉතා ක්‍රමානුකූලව රඟ දැක්වෙන චරිත සිටින, දේශපාලනික ප්‍රතිපත්ති ප්‍රකාශන සියුම්ව සඟවා ඇති නවකතා මම දිරවා ගන්නේ ටිකක් අමාරුවෙන්. ක්‍රමානුකූල බව මම ප්‍රබන්ධයකින් බලාපොරොත්තු වන දෙයක් නෙමෙයි. මම කැමතියි, මගේ පොතේ ඉන්න හාදයෝ ටික මට කකුල් මාට්ටු දාලා මාව බිම ඇද දමනවාට.
මෙම ලිපිය පළමුවරට 2017.06.18 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.
Comments
Post a Comment