Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

මා බවුල් ගීතයකින් රිද්දා ගත් කෙනෙක් - පාර්වතී බවුල්



බෙංගාල ප්‍රදේශයේ(වර්තමානයේදි ඉන්දීය බටහිර බෙංගාලය සහ බංගලාදේශය ‍ලෙස එම ප්‍රදේශය හඳුන්වනු ලබයි) සංචාරී ජීවිතයක් ගතකරමින්, සුවිශේෂි ගීත සම්ප්‍රදායක් හරහා ගැඹුරු අධ්‍යාත්මික දර්ශනයක් පිළිබඳ පණිවුඩයක් ගෙන එන ගායන කණ්ඩායමක් පිළිබඳ වරෙක රබින්ද්‍රනාත් තාගෝර් තුමා මෙසේ අදහස් දැක්වීය.

“ඔවුනට විශේෂ ප්‍රතිරූප, පන්සල් දේවාල, දේවරූප හෝ උත්සව නැති වුව ද ඔවුන් ගේ ගීත මඟින් දිව්‍යමය මිනිසා සහ ඔහු තුළ වූ ගැඹුරු ආදරය ප්‍රකාශයට පත් කරයි. අප්‍රකට චාම් සරල ජීවිතයක් ගත කරන මිනිසුන් පිරිසක් කෙරෙන් නික්මෙන ඒ සංගීතය විසින් සියළුම ආගම් වල තිබිය යුතු ඇතුළාන්ත අර්ථය පිළිබඳ අපට ඉඟියක් සපයා ‍දෙයි. එය අපට සිහිපත් කරන්නේ ආගමක් යනු කිසිදිනෙක විශ්වයේ බලයක් සහිත දෙවි‍යකු ගැන කියැවෙන දෙයක් නොව, එය පදනම් වී ඇත්තේ මිනිසා තුළ වු පෞරෂයේ දෙවියා මත බවයි.’

තාගෝර් තුමා එසේ අදහස් දක්වා ඇත්තේ බෙංගාල ප්‍රදේශය මුලික කොට ගෙන බිහි වූ ආගමික දර්ශනයක් පදනම් කරගත් ‘බවුල්’ නම් සංගීතය සම්ප්‍රදායය පිළිබඳවය. තම නිර්මාණවලට බවුල් සංගීත සම්ප්‍රදායට අයත් ගීත වලින් විශේෂයෙන්ම, මිනිසා කිසිදු ආකාරයක වර්ගීකරණයකට ලක් නොවිය යුතුය යන ඉගැන්වීම් මඟින් තමා ආභාෂය ලැබූ බව වරෙක යුරෝපයේ කළ කතාවකදි එතුමා සඳහන් කොට ඇත. එමෙන්ම තාගෝර් තුමාගේ ගී පදවැල් වල ඇති යෝගික ස්වභාවය වෙනුවෙන් එතුමා බෙංගාල ප්‍රදේශයේ සැරිසරන ධාර්මික බවුල් ගායකයන්ට ණය ගැති බව දකුණු ඉන්දියානු භාෂා සහ ශිෂ්ඨචාරය පිළිබඳ විද්වතකු සහ පර්යේෂකයකු වන එඩ්වර්ඩ් ඩිමොක් නම් ලේඛකයා ඔහුගේ The Place of the Hidden Moon (1966) කෘතියේ ලියා තැබීය. මේ අනුව බවුල් ගීත සම්ප්‍රදායය ඉන්දියානු සහ බංගලාදේශ සංස්කෘතිය තුළ කිසියම් ප්‍රගතිශීලි බලපෑමක් කිරීමට සමත් වූ, දර්ශනයක් මත පදනම් ව බිහිවුණු කලාංගයක් බව තේරුම් ගත හැකිය.

‘බවුල්’ යන්නෙහි අර්ථය උමතු මිනිසා හෝ දැඩි ආගම් භක්තිකයා යන්නයි. සාමාන්‍යයෙන් බවුල්වරුන් දෙවියන් පිළිබඳ උමතුවූවන් ලෙස සලකනු ලබන්නේ ඒ නිසාය. බවුල් වරුන්ට අනුව දෙවියන් වැඩ සිටින්නේ මිනිස් සිරුර තුළය. දෙවියන්ව සෙවිය යුත්තේ මිනිස් සිරුර තුළ පමණි. එය සම්ප්‍රදායික ආගමික විශ්වාසය වන මිනිස් සිරුර දෙවියන්ගෙන් බොහෝ දුරස්ය, ශුද්ධවු බව ලැබිය හැක්කේ භෞතික ලෝකය අභිබවා යෑමෙන්ය යන මතයට මුළුමනින්ම පටහැනිය. බවුල් වරුන්ට අනුව වේද මඟින් දැනුම සොයා ගත නොහැක. ආගමික චාරිත්‍රවලින් සිදු වන්නේ ‘හදවතේ මිනිසා’ ගෙන් ඈත් වීම පමණි. එය කළ හැකි වන්නේ තමන් තුළ ඇති ආදරයේ බලය සොයා යාම තුළිනි. තාන්ත්‍රික දහම් වලදි මෙන් බවුල් දහම තුළ දේවත්වය අත් දකින්නේ මානව ප්‍රේමය තුළිනි, ගැහැණිය සහ මිනිසාගේ භෞතික එක් වීම තුළිනි.


ආදරයේ බලය තුළින් දෙවියන් සොයා යන ගමනේදි බවුල් වරුන් මිනිසාගේ කුලය, ජාතිය, වර්ගය හෝ වෙනත් ආගම් පිළිබඳ සැළකිලිමත් වන්නේ නැත. එම දහම තුළ සියළු මනුෂ්‍යයන් එක සමානය. එය ආගම් කිහිපයක්, එනම් තාන්ත්‍රික බෞද්ධාගම, සුෆිවාදය, මුස්ලිම් ආගම, විෂ්ණු ආගම් වල අභාෂය ලැබු සම්මුච්චයවාදී දහමක් වුව ද සමහර ආගම් තුළ ඇති සම්‍ප්‍රදායික ලබ්ධින් වලින් සිය භක්තිකයාව වධ බන්ධනයකට ලක් කොට නැත. විවිධ ආගම්වල සංකලනයෙන් වුව ද දිව්‍යමය ආදරයක් වෙනුවෙන් පමණක්ම පවතින සුවි‍ශේෂි දර්ශනයක් ලෙස බවුල් දහම බිහිවී ඇත.

බවුල් වරුන්ගේ ආගමික භාවිතාවේ ඇති සුවිශේෂිතාව, එනම් ඔවුන් සම්ප්‍රදායික ජීවන ර‍ටාව, සමාජ ක්‍රමය සහ ස්ථරායනය ප්‍රතික්ෂේප කිරීම, සම්ප්‍රදායික ආගම්වලට පටහැනිව යමින් සීමා මායිම් නැති නිදහස් අවකාශයක ඇති අපිරිමිත මිනිස් ආදරයක් පිළිබදව සංචාරි ගායකයන් විසින් පතුරුවන ලබන දර්ශනය, තත්කාලීන ස්ථාපිත ආගම් වල පැවැත්මට තර්ජනයක් නිසා බවුල්වරුන්ව හින්දු මෙන්ම මුස්ලිම් භක්තිකයන් විසින් ද සමාජයෙන් කොන් කර දමා ඇත.

බවුල්වරුන්ගේ ජිවන රටවාද ඉතාමත් නිදහස් ජංගමශීලි එකකි. ඔවුහු ධාර්මික ශ්‍රමණයින් හෝ ගිහියන් ලෙස සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරති. ඔවුහු නිවාස හෝ දේපළ පිළිබඳ තැවුල් ඇති කර ‍නොගනිති. ඒ වැඩිමනත් ලෙස ඔවුන් සංචාරි දිවි‍පෙවෙතක් ගත කරන නිසාය. කාන්තා සහ පිරිමි බවුල්වරු විවාහක ජිවිත ගතකරති, නමුත් දරුවන් හැදීමට උනන්දු වන්නේ නැත. ඔවුහු අනාථ කුඩා දරුවන්ව හදාවඩා ගනිමින් කුඩා කාලයෙ සිට බවුල් සංගීතයේ ඇසුර ඔවුනට ලබා ‍‍දෙති. බවුල් සංගීතය යනු බවුල් දහමේ එකම ඉගැන්වීම් ක්‍රමයයි. එම දර්ශනයේ සියළුම සාරය අඩංගුව ඇත්තේ එම ගීත පදවැල් වල සහ සංගීත නාද රටා තුළය. බවුල්වරුන් සංගීතය තුළ බහා ඔවුන‍්ගේ ආදරයේ මාහැඟි දර්ශනය රැගෙන ගම් නියම් ගම් සිසාරා ඇවිද යයි.

පාර්වති බවුල් යනු එසේ මිනිසා තුළ වු ආදරයේ දෙවියා සොයා යන තරුණ සුන්දර මානවිකාවකි. ඇය නිතරම කහ පැහැයට හුරු ඇඳුමක් ඇඟලා සිටින්නීය. දෑතේ නිතරම ‘එක්තාරය’ නම් එක් තන්තුවක් පමණක් ඇති තත් භාණ්ඩයක් අත දරා සිටින්නීය. පාදාන්තය දක්වාම දිගු ඇගේ වරලස සැම විටම පාහේ පිට දිගට කඩා හැලෙන්නට ඉඩ හැර ඇත. ඉතින් ඇය බවුල් ගායිකාවකි. ඇය ශක්තිමත් හඬකින් ගයයි. එම හඬ ඇයගේ හදවත පත්ලේ ගැඹුරුම තැනකින් නික්මෙන්නාක් වැනිය. ඇය සිතුවම් අඳින්නියක්. කතා කියන්නියක්. ඇය බවුල් සංගීත සම්ප්‍රදාය මැනවින් හාදාරා ඇත. ඇය ශාන්ති නිකේතනයෙන් දෘශ්‍ය කලාව පිළිබඳව ද අධ්‍යාපනය ලැබුවාය. පසුව ජීවිතේ එක් මොහොතකදී ඇය, සිය ජිවීතය මුළුමනින්ම බවුල් දහම සහ සංගීත සම්ප්‍රදාය ‍වෙනුවෙන් කැප කළ යුතු යැයි තීරණයකට එළැඹෙන්නීය. ඒ අනුව දැන් ඇය බවුල් ගායිකාවක් පමණක් නොව, මුළුමනින්ම බවුල් සංගීත සම්ප්‍රදාය තුළ ජීවත් වන්නියකි.


බවුල් සංගීත සම්ප්‍රදාය ශ්‍රීලාංකික අපට එතරම් හුරු පුරුදු කාලාංගයක් නොවේ. විශේෂයෙන් කිසිදු කලා ක්ෂේත්‍රයක පැහැදිලි වෘත්තිමය ස්වභාවයක් දක්නට නැති අපේගේ වැනි රටකට බවුල් සංගීත සම්ප්‍රදායත්, පාර්වතී වැන්නියන්ගේ එම කලාව හා සම වැදුනු ජීවන විලාශයත් අපට තරමක් ආගන්තුක වන්නට ඉඩ ඇත.

ගුඪවාදි, අධ්‍යාත්මික සංකල්ප හා ඉගැන්වීම් පිළිබද සොයා යන ‘සුෆී’ සඟරාවේ ජනමාධ්‍යවේදියකු වන මාර්ටින් හැරිසන්, පාර්වති බවුල් සහ දොඩමළු වෙමින් සංගීතය වෙනුවෙන් කැප වුණු ඇයගේ සුවිශේෂි ජිවන විලාශයත් බවුල් සංගීත සම්ප්‍රදාය හා ඇයට ඇති සැබැඳයාවත් පිළිබඳ තොරතුරු විමසන’යුරුය මේ.

  • සංගීතය කියන්නෙ මොකක්ද? කොතැනකින්ද එය පැන නැ‍‍ඟෙන්නෙ?

එය උත්තර දීමට අපහසු ප්‍රශ්නයක්. මම දන්නෙ නැහැ ඇත්තටම ඒකට හරිම උත්තරයක් තියෙනවද කියලාවත්. ඒත් බවුල්වරු කියනවා වගේ අප සොයා යනවා. ඒවගේම මේ සොයා යාමේ මාවත කියන්නේම සොයා යාමේ අරමුණයි. සොයා යාමේදි ලැබෙන පිළිතුරයි. සංගීතය හැම නිර්මාණයකම ගැබ් වෙලා තියෙනවා, ජීවිතය වගේම මරණය තුළත්.
බවුල්වරුන්ට අනුව මේ විශ්වය නිර්මාණය වෙද්දි තිබුණෙ ‘ඕම්’ කාරය විතරයි. බවුල් සංගීත සම්ප්‍රදායේ යොදා ගන්නා තනි තන්තුවේ තත් භාණ්ඩය වන ‘එක්තාරා’ වලින් නැ‍‍‍‍ඟෙන නාදයත් ‘ඕම්’ කාරයයි. බවුල් ගායකයා එක්තාරය දකුණු අතින් ගෙන එය දකුනු කණට ලංකර තබා ගන්නවා. එක්තාරය වාදනය කිරීමේදි නොනවත්වා ගායකයාට ලබා දෙන්නෙ ‘ඕම්’කාරය. එවන් සැකැස්මක් තුළ තමයි බවුල් ගායනයේ හඬ පැතිර යන්නේ.

සංගීතය හදවත විවර කරනවා. සංගීතය කියන්නේ සීමා මායිම් අභිබවා යන්න, වෙනස් දෙයක් බවට පරිවර්තනය වෙන්න වගේම, මේ මොහෙ‍ාතේ අපගේ ඇතුළාන්තයේ පැවැත්ම පිළිබඳ අවබෝධය ලබා ගන්න අපට අවස්ථාව සලසන කලාවක්. අපේ ගොඩක් සංගීත සම්ප්‍රදායන්වල සංගීතවේදීන් එම කලාවේ නිරත වෙන්නේ අධ්‍යාත්මයෙන්ම ඒ හා බැඳිලා. වඩාත් නිවැරදිව කිව්වොත් නාදය හා අධ්‍යාත්මිකව බැ‍ඳිලා. ඉන්දියාවේ සංගීතය කියන්නෙ විනෝදය සපයන මාධ්‍යකට වඩා වැඩි යමක්. සංගීත ශාස්තෘවරුන්ව සැලකෙන්න‍ෙ විනෝදය සපයන්නන් විදියට නෙමෙයි. සැබවින්ම සංගීතය කියන්නෙ දේවත්වය සමඟ සෘජුවම බද්ධ විය හැකි මාධ්‍යයක්.

  • ඔබ කොහොමද බවුල් ගායිකාවක් වුනේ? සංගීතය පැත්තට නැඹුරු වෙන්න බලපෑ හේතු මොනවද?

මට අවුරුදු 16යි, මම බවුල් සම්ප්‍රදායේ නිර්මාණයක් මුලින්ම දකිද්දි. මම එම අවස්ථාව හඳුන්වන්නෙ, එය මගේ දෙසවන් බවුල් සංගීත නාදයට මුළුමනින් විවර කර, මා බවුල් සම්ප්‍රදාය දිගේ ඒ සංගීත රටාව ‍පිළිබඳ සොයා යෑමට මා පෙළඹවු අනගි මුණ ගැසීමක් කියලා. මම සහ මගේ සහෝදරයා ශාන්තිනිකේතනය වෙත දුම්රියෙන් ගමන් කරමින් හිටියේ, එහි සිසුන් ලෙස ලියා පදිංචි වෙන්න. ගමනේ අතරවාරයේ අපේ දුම්රිය මැදිරියට ගොඩ වුණා බවුල් ගායකයෙක් - ඇස් නොපෙනෙන, දිගු කහ පැහැති කුර්තාවක් සහ කාලයත් එක්ක අවපැහැ පැහැගත් සුදු පාටට හුරු දෝතියකින් සැරසිලා, ටින් කබලකින් තනා ගත් එක්තාරාවක් ද අතින් අරගෙන.

ඔහුගේ දිගු නිය සහ ඇඟිලි එක්තාරයේ තත පිරිමදින විට සහ බවුල් සංගීතමය හඬ ඔහුගෙන් නික්මෙන විට, මට එය හැඟුනේ එම නාදය මම ‍‍ගොඩාක් කාලයක ඉඳන් දන්නා බවක්. ඒ නාදය වෙනස්ම යථාර්තයකට මාව කැඳවා ගෙන ගියා. ඔහු ගායනය ආරම්භ කරනවාත් සමඟ දුම්රිය මැදිරිය මගේ දර්ශන පථයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් ව ගියා. මට එකද බෙංගාලි වචනයක්වත් තේරුම් ගන්න බැරි වුණත්, ඒ ගීතය මා අභ්‍යන්තරයේ ගැඹුරු සළකුණු තැබුවා. මා එතරම් ඇවිද නොගිය මාවතක්! ‍එළි පෙහෙළි කර ගත යුතු ‍ ලෝකයක්!

පසු කලෙක මම ශ්‍රී සනාතන් දාස් බවුල් ගුරුතුමාව මුණ ගැහුණායින් පසු ඔහුගේ රැඟුම්, ගැයුම් සහ ඔහු එක්තාරය, බාමා බෙරය( මැටි වලින් තනා බවුල් ගායකයින්ගේ ඉණේ බැඳ ගන්නා කුඩා බෙරය) සහ නූපුර(වළලුකරෙහි රඳවා ගන්නා සුසිර භාණ්ඩය) වාදනය කරන අයුරු දැකීමෙන් මම පුදුමයට පත් වුණා.

මම මින් පෙර ගායකයන් ගී කියනවා ඕනෑ තරම් අහලා තියෙනවා, ඒත් බවුල් ගායකයාගේ හඬ නික්මෙන්නෙ ඔහු‍ගේ හදවත පත්ලෙන්මයි, ඔහුගේ සිරුර තුළින්මයි. එය ආකාසයට විවර වුණු හඬක්.

මම බවුල් ගායකයින්ව ගොඩක් සමීපව නිරීක්ෂණය කරලා තියෙනවා. එය ජීවමය සංගීතයක්. එහි දර්ශනය සහ ව්‍යවහරය පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙනවා. සංදර්ශනය නිමා වූ පසුවත් අපට බවුල් ජීවන ශෛලිය පිළිබඳ සෙවිය යුතු දේ තිබෙනවා- බවුල් ගීතයක් ඔබව ජීවිත කාලයක් පුරා කිසියම් චාරිකාවක රැගෙන යන්න පුළුවන්, ඔබ ඒ ගීතය තුළ දිවා රෑ ජීවත් වෙනවා, ඔබ ධ්‍යානයකට සම වදිනවා, ඔබ සීරුවට කාලය අතික්‍රමණය කරනවා. මම ඒ තරම් පරිපුර්ණ කිසිවක් මිට පෙර අත්විඳලා නැහැ, මම කලාකාරියක වීමේ මගේ ගවේෂණය තුළ මම සෙව්වේ ඒ පරිපුර්ණත්වයයි.

  • ඔබ හිතනවද ඔබ‍ගේ ‘සංගීතමය ඉදිරිපත් කිරීම’ නිව්යෝර්ක් සහ ලන්ඩන් වැනි නගර වල පැවැත්වෙන ‍රොක් සහ සම්භාව්‍ය සංගිත සංදර්ශන වලට සමානයි කියලා?

මුලින්ම බවුල් සංගීතමය ඉදිරිපත් කීරීම් සිදු වුනේ ආශ්‍රම වල, එනම් බවුල් ගායකයින් විසින් ඔවුන්ගේ දර්ශනය නැටුම් ගැයුම් ඇසුරෙන් ඉගැන්වෙන කුඩා හමුවීම් වලදී. නමුත් තාගෝර් තුමා හරහා ශාන්ති නිකේතනය තුළ සංවිධානය වන ප්‍රසංග උළෙල වලදි සිය ඉදිරිපත් කිරීම් සිදු කරන්නට බවුල් ගායකයින්ට අවස්ථාව උදා වුනා. එය සැබවින්ම නාගරික බුද්ධිමතුන්ට බවුල් සම්ප්‍රදාය හඳුන්වා දීමක්. මේ වනවිට බවුල් සංගීතය බෙංගාලි දේශ සීමාත් පහුකරලා අන්තර්ජාතික වශයෙන් ද කීර්තියක් අත් පත් කරගෙන තියෙනවා.

බවුල් ගීත කියන්නෙ බවුල් ගුරුවරුන් විසින් ඔවුන්ගේ ආදරයේ ගීතය මඟින් හදවත් අතර පාලමක් ගොඬ නඟන උසස් අධ්‍යාත්මික අත්දැකීමක පිළිඹුවක්. අපි බවුල් ගීත ප්‍රසංගයකට යන්නෙ එවැනි අත්දැකීමක් හා සුසර වෙන්න. බවුල් ගායකයකුට හෝ ගායිකාවකට බැහැ ප්‍රශස්ත ආකාරයෙන් බවුල් ගීත ගයන්න, ඔහු හෝ ඇය ගයන්නෙ කුමක් ද යන්න ගැන බරුරූම් හැඟිමක් ඇති කර නොගන්නේ නම් සහ බවුල් සංගීතමය ජීවන විලාසය වෙනුවෙන් කැප නොවන්නේ නම්.

  • සංගීතය සහ අධ්‍යාත්මික දිවිපැවැත්ම අතර ඇති සම්බන්ධ ගැන ඔබ සිතන්නේ කුමක් ද?

සංගීතය සහ අධ්‍යාත්මික භාවිතාව එකිනෙකින් වෙන් කළ නොහැකි දෙයක්. ඉන්දියානු ‍යෝගීවරුන් නිතරම අවධාරණය කරනවා ගීත ගායනය කියන්නෙ දිව්‍යම ආලයට යටත් වීමේ අත්දැකීමට මඟ පාදා ගැනීමක් කියලා. පැය කිහිපයක් පුරා බවුල් ගීත ගායනය කිරීමෙන් ඔබව ශුභවාදී ශක්තියකින් ආරෝපණය වෙනවා. ඒ මන්දයත් සිරුර, මනස සහ අධ්‍යාත්මය පාලනය වන්නේ ශුභවාදී සිතුවිලි වලින් සහ ශබ්ද කම්පන මඟින් පමණක් නිසා. වසර කිහිපයක් ගායකයෙකු බවුල් ගීත ගායනා කරන විට ඔහුගේ හෝ ඇයගේ සිරුර කිසියම් වෙනසකට භාජනය වන සැටි ඔහුට හෝ ඇයට පැහැදිලිව ම අත් දකින්න පුළුවන්.

බවුල් ගුරුන් වන, හවුරේ ගොෂායි, ජාදුබින්දු, ලාලෝන් ෆාකීර්, පන්ජු ෂා වැන්නවුන්ගේ ගීත දැන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ගායනා කරනවා. යමෙකු බවුල් ගීතයක් ශ්‍රවණය කරන විට ඔහුට හෝ ඇයට එම ගීතයේ ගැබ් ව ඇති සත්‍යය දැනෙන්නට පටන් ගන්නවා, නමුත් කිසිවිටක එම කවියෙන් පැවසෙන්නේ නැහැ ඉන් කියවෙන්නේ ‘සත්‍යය’ කියලා. ඒ කෙනාට සිද්ධ වෙනවා වසර ගණනාවක් එම කාව්‍යය හා දැහැන් ගත වෙමින් එය මෙනෙහි කරමින් ඉන්න, ආන්න එවිට එහි සැඟවුනු අර්ථයන් සහිත යටි පෙළ මතුවුනු ඇති.

මේ ආකාරයේ විශේෂිත භාෂා භාවිතය අපි හඳුන්වනවා ‘සන්ධ්‍යා භාෂා’ නැත්නම් ගොම්මන් භාෂාව කියලා. එය තවත් සමහරුන් ‘සැඟවුණු භාෂාව’ කියලත් හඳුන්වනවා. බවුල් ගායකයකුට බවුල් ගීත මතකයේ තබා ගන්න එක හරිම වැදගත්, එවිට වසර ගණනාවකට පස්සෙ ඒ ගීත බවුල් ගායක‍යා හෝ ගායිකාවගේ සිරුර සහ මනසට හොඳින් බද්ධ වන නිසා.

ලොව පුරා සිටිය සියළුම ගුඪවාදීන්, විශේෂයෙන්ම ලෝකය සහ සමිප සබඳතාවක් පවත්වාගන්නා සහ එක සමාන ආකාරයෙන් මිනිසා සහ සොබාදහම සමඟත් ගනුදෙනුවක් සිදු කරන අයවලුන් තමන්ගේ වාහකයා ලෙස තෝරා ගන්නෙ සංගීතයයි.

  • මිට වසර සියයකට හෝ දෙසීයට පමණ පෙර කලෙකදි බවුල් ගායිකාවක විම දැනට වඩා කෙතරම් වෙනස් තත්වයක් දැයි ඔබ සිතනවාද?

ඕහ්! මිට වසර අවුරුදු සියයකට දෙසීයකට කලින් ජීවත් වෙන්න තිබ්බා නම් කියලා හිතෙනවා මට. එවිට අඩුම තරමේ හැම දෙයක් ගැනම, ආධ්‍යාත්මිකතාව ගැන පවා පිටාර ගලන තොරතුරු වලින් බේරි ඉන්න හැකියාවක් තියෙන්න තිබුණා. ඒ වගේම තමයි, අතීතය කියන්නේ හැම දෙයක්ම බෙදා හදා ගත්ත කාලයක්. කිසිම දෙයක් ආර්ථික පදනමකින් තක්සේරු කලේ නැහැ. කාලය හා බැඳුණු සංකල්ප ව‍ැඩිකල් පැවතුනේ නැහැ, සාර්ථකත්වයේ සංකල්ප පවා. බවුල්වරුන් එක තැනක නොරැඳී සංචාරය කරන්න පුරුදු වෙලා හිටියේ, නමුත් සමාජ දේශපාලනික සහ ආර්ථික වෙනස්වීම් නිසා තැනින් තැන බවුල් ආශ්‍රම පිහිටුවන්න සිදු වුනා. දැන් බවුල්වරුන් ග්‍රාමිය පරිසරයෙන් මිදී, ලෝකය පුරා විසිරී ගොස් නාගරික ජීවන රටාවට හුරු වෙමින් සිටිනවා.

  • ඔබගේ සංගීතය තුළ කිසියම් විශේෂ පණිවුඩයක් ගැබ් වී තිබෙනවද? නැත‍හොත් ඔබගේ ශ්‍රාවකයා ප්‍රමෝදමත් කරන කිසිවක්?

කිසිවෙකු බවුල් සංගීතයට සවන් දෙනවා කියන්නේ ඔහු හෝ ඇය සීමා මායිම් නැති, නිදහස් අවකාශයක් සහ හදවතට දැනෙන ගැඹුරු ආලයක අත්දැකීමක් ලබාදෙන අධ්‍යාත්මික හඬකට සවන් දෙනවා කියන එකයි. ගීතයක් මඟින් ‘ රිද්දාගැනීම’ නම් සංව්දී මොහොත පිළිබඳව බවුල් ගුරුන් විසින් පුළුල් උගන්වනු ලබනවා, එය සැබවින්ම බොහෝ අයට සිදුවන දෙයක්. අහම්බයෙන් ‍ ඔවුනට බවුල් ගීතයක් කණ වැකුණ විට එය ඔවුන්ගේ හදවත ගැඹුරු ලෙස ස්පර්ශ කර සියල්ල එක් මොහොතකින් වෙනස් කිරීමට එය හේතුවක් වනවා. හරියටම ශාන්තිනිකේතනය වෙත දුම්රියෙන් යන ගමනේදී මා ගීතයකින් ‘රිද්දාගත්තා’ වගේ.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017 වසරේ නොවැම්බර් මස 6 වැනි  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.


Comments