“ඉඳින් මම, ගැහැණියක තුළ උඩුයටිකුරුව හිඳිමි. ඉවසීමෙන් දෑත් හරස්ව තබා ගෙන, ඇතුළට වි සිටින මා කවුද, ඇතුළට වී සිටින්නෙ මන්ද යන්න සිතමින් බලා හිඳිමි. මාගේ රැඳවුම් ස්ථානයේ පාරදෘශ්‍ය මායිම් හා, මඳ ශබ්දය ඇති විට දී පවා නිර්ලජ්ජිත ක්‍රියාවක යෙදී සිටින කුමන්ත්‍රණකරුවන්ගේ හඬ සමඟ කම්පනය වන, රහස් මුමුණන පටලය හා මෘදුව ගැටෙමින්, වරෙක මම මගේ පාරභාසක දෛහික පැස තුළට සෙමෙන් පාව ආ සැටි, සිහිනයක මෙන් මන්දගාමි වේගයෙන් පිනුම් ගසමින් මගේ පුද්ගලික සාගරය මැදින් මගේ සිතුවිලි බුබුල තුළ පාවූ සැටි මට සිහිපත් වන විට මම අතීතකාමයෙන් දෑස් පියා ගමි. එකල ඒ මාගේ නොසැලකිලිමත් යෞවනයයි. දැන් එය සහමුළින්ම උඩුයටිකුරු වී ඇත. මටම කියා ඉඩ අඟලක්වත් නැත, පාද උදරය මත තෙරපීගෙනය, මගේ සිතුවිලි මෙන්ම මගේ මනස ද මුළුමනින්ම ක්‍රියාකාරීව ඇත. මට වෙන කරන්න දෙයක් ඉතිරි වී නැත, මගේ දෙසවන් දිවා රෑ දෙකෙහිම ලෝහිත බිත්ති මත තදවී ඇත. මම සවන් දෙමි, මනස් සටහන් තබා ගමි, මම වේදනා විඳිමි. විසකුරු අභිප්‍රාය පිළිබඳ සයනයේ මුණු මුණුව අසා සිටින්නෙමි, එමෙන්ම මට සිදුවීමට යන දේ, මාව කුමකින් කුමකට ඇද දමාවිද යන්න ගැන මම බියට පත්ව සිටිමි.”
- මෙම නවකතාවට ඔබට අනුප්‍රාණය සැපයූවේ කුමක්ද?
මම හිටියේ තරමක් දිග්ගැස්සුණ නීරස කතාබහක, මගේ සිතුවිලි නිදහසේ සැරිසරන්නට වුනා. හදිසියේම නවකතාවේ පළමු වැකිය (‘ඉඳින් මම, ගැහැණියක තුළ උඩියටිකුරුව හිඳිමි’) සම්පූර්ණ ස්වරූපයෙන්ම මගේ මනසට ගලා ආවා. “කවුද කතා කරන්නෙ?” මම හිතන්න වුනා. ඊළඟ සතිය, දෙක පුරා, ශූර ලෙස සිය අදහස් කියා පාන, එය එක්වීමට යන ලෝකය පිළිබඳ විපරම් කරන කළලයක් ගැන මම හිතන්න පටන් ගත්තා. එය තරමක් පරිහාසාත්මකයි, ඒත් එය මනබඳින සුළු මනංකල්පිතයක්. “මේක හරිම විනෝදයි” මම මටම කියා ගන්න වුනා. එකම මොහොතේ මම මෙහෙමත් හිතුවා. “ මම ඉන් කවදාවත් පලා යන්නෙ නැහැ” කියලා.
- නිර්මාණය ගොඩනැඟීම පැත්තෙන් කතා කලොත්, ඔබ කොහොමද ලෝකය දැක නැති කතාකරුවෙකු නිර්මාණය කලේ? ඔහු කියන පරිදි ඔහුට තිබෙන්නේ “ දන්නා ලෝකයක දෘෂ්ටිභ්‍රමයක්”පමණයි. එය අන්ධ පිටසක්වල ජීවියෙකු මුල් වරට පෘථිවයේ සංචාරය කිරීමක් ගැන ලියනවා වගේ.
ඒක ඇස් බැන්දුම් වැඩක්. ඔබට පාඨකයාගේ ‘හිතාමතා අවිශ්වාසය යටපත් කරගැනීම’ ගැන විශ්වාසය තබන්න සිදු වෙනවා. මම හිතුවේ කළ යුතු හොඳම දේ තමයි, කෙළින් ම ඒ තුළට ගොස්, මේ කළලය ඔහුගේ යෞවනය දෙස ආපසු හැරී බැලිමක් - ඔහු දැනටමත් වඩාත් වයස්ගත කළලයක් නිසා- ඔහුට ගර්භාෂය තුළ නිදහසේ පාව යාමට ඉඩ හසර ලැබීමට තරම් ඔහු පුංචිව සිටි කාලය පිළිබඳ අතීතකාමී විමක් ලෙස යෝජනා කිරීම.
- මා මුලින්ම මෙම කෘතියේ සංකල්පය ගැන දැන ගත් විට, මට විශ්වාස කරන්න බැරිව ගියා එය මීට පෙර නොකළ දෙයක් කියන එක.
මම හිතනවා ඔබ Tristram Shandy කෘතියේ ආරම්භක වැකි කියවලා ඇති කියලා. එය මගේ ඔළුවට කඩා වැදුනේ හදිසියෙන්, ඔහු ඔහුගේම පිළසිඳගැනීම ගැන කතා කරනවා. මම තවත් ළං වෙනවා නම්, ගුන්තර් ග්‍රාස් ගේ The Tin Drum කෘතිය, එහි එන වයස අවුරුදු තුනේ දරුවාට හැමදාම අවුරුදු තුනයි. සමහරවිට එය ඉතාමත් පැහැදිලි අදහසක් බවට පත්වන විට, ඔබට තේරෙනවා එය මින් පෙර කිසිවෙක් කර නැති බව. උදාහරණයක් ලෙස, On Chesil Beach කෘතියේ මුල් පිටු කිහිපය ලියන විට, මම හිතුවා සහතික වශයෙන්ම විවාහයකින් අනතුරුව පළමු පැය හය හත ගැන, සියළුම ප්‍රිය සම්භාෂණ, සැරසිලි වලින් ඉවත්ව ඔබ එකිනෙකා හා තනිවී, එය කරන්නෙ කෙසේදැයි දැන හෝ නොදැන සංසර්ගයේ යෙදීමෙන් විවාහය පරිසමාප්තියට පත් කිරිම පිළිබඳව කිසිවකු ලියා ඇතැයි කියා. එය ඉතාමත් පැහැදිලියි. නමුත් මගේ විශ්මයට හේතු වෙමින් මම තවමත් හොයනවා තථ්‍ය කාලයේ මෙම පැය ගණන ගැන ලියැවුණු කතාවක්, නවකතාවක් හො කෙටි නවකතාවක්. නමුත් අපි බොහෝ දෙනෙක් විවාහකයි, මෙම පැය ගාණ අපි ගතකරලා තියෙනවා. ඉතින් අප තවත් අවුරුදු සියයක් විතර ගත කරයි අපේ මුහුණටම එබී බලන මේ දේවල් සියල්ලම සොයා ගන්න.
- කතාව කියන්නා විවිධ තත්කාලීන කාරණා, විශේෂයෙන් ලිංගික අනන්‍යතාව වැනි කාරණා පිළිබඳ බරපතල ලෙස අවධානය යොමු කරනවා.
මට අවුරුදු අටේදි මට මතකයි මම අම්මාට කිවූ දෙය, “මේ අහන්න, මට හිතෙනවා මම ගැහැනු ළමයෙක් වුනා නම් මීට වඩා හොඳයි කියලා.” එය ඇත්තමට පුදුමාකාර අන්දමින් සාධාරණ සිතුවිල්ලක්. මගේ පාසල් ක්‍රීඩා පිට්ටනියේ පිරිමි ළමයි පාපන්දු සෙල්ලම් කළා නැතිනම් ගුටි ඇන ගත්තා. ගැහැණු ළමයි ඒ අතරවාරෙ කලේ, ඒ අවට සිටගෙන බොහොම සිත් ගන්නා සුළු කතා බස් වල යෙදි සිටීමයි. ඉතින් මට හිතුනා, මටත් පුළුවන් නම් ගවුමක් අඳින්න, මගේ කොණ්ඩය වවා ගන්න, මුළු දවසෙම ගුටි ඇණ ගන්නෙ නැතිව කොච්චර හොඳින් ඉන්න තිබුන ද කියලා.
- මෙම නවකතාව ඉපදීම පිළිබඳව, ඒ වගේම එය මරණය ගැනද ලියැවුණු නවකතාවක්. මේවා ජිවිතයේ පොදු අත්දැකීම්. ඔබට දැන් වයස අවුරුදු 68යි. මෙය ඔබ මේ දවස් වල වැඩිවශයෙන් හිතමින් ඉන්න යමක්ද?
නිසැකවම. අපට ඉන් පැන යන්න බැහැ. එය අපව හැම පැත්තකින්ම මිරිකනවා වගේම නොවැදගත් මොහොතවලදී වගේම ඉතාමත් වැදගත් මොහොතවල දී එය අප වෙත එනවා. මම තව කොතරම් කාලයක් මගේ මිණිබිරියගේ ජීවිතය දකීවි ද? ඇයට දැන් වයස අවුරුදු දෙකයි. මට තව ඉතිරි වෙලා තියෙන්නෙ තව කොපමණ ග්‍රීෂ්ම සෘතූන් සංඛ්‍යාවක්ද? ඔබේ සිරුරට එය දැනෙනවා, ඔබේ සිරුරේ සන්ධිවලට එය දැනෙනවා. ඔබට දකින්න පුළුවන් ලේඛකයින්ගේ පසු කාලින කෘතිවලට එය කොතරම් බලපෑමක් වෙලා තියෙනවාද කියලා, කෘතියක චරිත එහි නිර්මාණකරුවාගේ ජීවිතය කෙටිවීම පිළිබඳ ඔහුගේ සංවේදනයේ බර රැගෙන යන්නෙ කෙසේ ද කියන එක. සමහර විට ඉන් ඔබගේ පැනයාමේ ආශාව කියා පානවා, මම කළලයක් නිර්මාණය කලේ ඒ නිසා වෙන්න ඇති, කතාවක් කියන මගේ ලාබාලම චරිතය.
- ඔබ හිතනවද Nutshell ඔබේ වෘත්තීය ජිවිතය තුළ මිට කළින් ලිවීමේ හැකියාව තිබුනා කියලා, එසේත් නැතිනම් ඔබ වඩාත් වයස්ගත වනතුරු එය ලිවීමට බලා සිටියාද?
මම හිතනවා මේක මම අවුරුදු 20 ගණන්වලදි ලිවිය හැකි වර්ගයේ කෘතියක්, නමුත් මට ඒ වනවිට ආවර්ජක වපසිරියක් නොතිබෙන්න තිබුණා. නමුත් මට හිතෙනවා, අවුරුදු 24ක් වු මා අසලට ගිහින් කණට මෙහෙම කොඳුරන්න “ලඟදි ඉපදෙන්න ඉන්න කෙනෙක් කියන කතාවක් ලියන්නෙ නැත්තෙ ඇයි?” මම හිතන්නෙ තරුණ මම මෙහෙම කියයි, “ඕහ්.. විශිෂ්ඨයි, ස්තූතියි, බාගවිට මම ලියාවි” මම මුලින් කීවා වගේ මෙය එක්තරා ආකාරයක නැවත පැමිණිමක්.
- කතාව කියන්නා නොනවත්වාම ලෝකයේ තිබෙන වැරදි දේ පිළිබඳ මතක් කරනවා. නවකතාවේ අහන එක ප්‍රශ්නයක් තමයි යමෙකු වෙනුවෙන් ලෝකය තුළ බලා සිටින දේවල් ඔහු දැන සිටියේ නම් ඔහුට ඉපදෙන්න උවමනාවක් ඇති වෙයි ද කියන එක.
ඕහ්.. සහතිකවම. ලෝකය කෙතරම් සිත්පිත් නැති තැනක් වුවද, අපේ පිටුපසින් ඇවිත් මේ දුෂ්කර ලෝකය උරුම කරගන්නත් ඒ වෙනුවෙන් යමක් කරන්නත් අපිට දරුවන් සිටියේ නැත්නම් එතැනින් බලාපොරොත්තු අවසන් වෙනවා. අපි මේ සංවාදය හැත්තෑ ගණන්වල සහ අසුව දශකයේ මුල්භාගයේදි සිදු කළා- විශේෂයෙන් සෑම අයෙකුම න්‍යෂ්ටික යුද්ධය ගැන හිතමින් ඉන්න වකවානුවේ. නැහැ. අප මේ ලෝකය අත්හැරිය යුතු නැහැ, දේවල් පිළිබඳ මගේ දැනීම එයයි.
- ඔබ සඳහන් කලා ඔබගේ මිණිබිරිය ගැන. ඔබ තරමක් සන්තාපයට පත් වනවා ඇති ඇය ඔබගේ වයස වන විට ඇයගේ ජීවිතය කුමනාකාර ද වේවිද කියන එක ගැන?
සහතිකවම. එය අප, හරහා ගමන් කළ යුතු එක්තරා විශිෂ්ඨ රේඛාවක්, දෙමවිපියන් වීම, මොකද පළමු කොට ඔබට වඩා වැදගත් කෙනෙක් මේ ලෝකෙ ජීවත් වෙනවා. එසේම දෙවැනි කොට, එවිට ඔබට ලෝකය, ඒ වගේම මානව වර්ගය උවමනා වෙනවා, ඔබට පෙරදීට වඩා සාර්ථක වෙන්න. දැන් මේ අයෝජනය ඔබ සතුව තිබෙනවා. ඒකයි මට හිතෙන්නෙ අප මෙය අත් හැරිය යුතු නැහැ කියලා. මේ ලෝකෙ නරක මිනිස්සුන්ට වඩා හොඳ මිනිස්සු ගොඩාක් ඉන්නවා. හදකම්පා කරවන සුළු දුංඛිත බවක් ඇති කිරීමට සමත් වුවත්, යුරෝපයේ ත්‍රස්ත ප්‍රහාරවලින් කලබල ඇති කරන මිනිස්සු නියෝජනය කරන්නෙ ඉතාමක් කුඩා කණ්ඩායමක්. ගොඩක් අය මගේ කෘති වල ශුභවාදය සහ අශුභවාදය පිළිබඳ මගෙන් විමසනවා.මම හැමතිස්සෙම කියන්නෙ, ඔබ තරුණ නම්, ඔබ තනිකඩ, නිදහස්, හිතු හිතූ දේ කළ හැකි අයෙක් නම් ඔබට කැමති පරිදි ශුභවාදියෙක් විය හැකියි. එහි කිසියම් රසයක් තියෙනවා. ඒත් කිසියම් මොහොතක ඔබට තියෙනවා නම් මුළු මානව සංහතිය පිළිබඳ කිසියම් අපේක්ෂාවක්, එවිට ඔබ දේවල් දිහා බලන්න පටන් ගන්නෙ ටිකක් වෙනස් ආකාරයකට.
✎ සුභාෂිණි චතුරිකා
මෙම ලිපිය පළමුවරට 2017.10.29 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.
Comments
Post a Comment