Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

ලතින් ඇමරිකානු සාහිත්‍යයේ අසහාය පරිවර්තකයා - ග්‍රෙගරි රබස්සා

 


"පරිවර්තනය යනු සමීප කියවීමක් - ග්‍රෙගරි රබස්සා"

ලතින් ඇමරිකානු ගද්‍ය සාහිත්‍ය ක්ෂේත්‍රයේ, සාහිත්‍යයික පරිවර්තනය සම්බන්ධයෙන් මාහැඟි ප්‍රමාණිකයෙක් වු ග්‍රෙගරි රබස්සා වෘත්තීමය සාහිත්‍ය පරිවර්තකයින්ගේ පරමාදර්ශයයි.

ඔහුගේ වෘත්තිමය සාර්ථකත්වය විසින් සාහිත්‍ය ක්ෂේත්‍රයේ පරිවර්තකයින් සඳහා ප්‍රමිතියක් නිර්මාණය කර දුන් අතරම ඔහුගේ සාහිත්‍යයික කාර්යයන් ගේ සැළකිය යුතු ගුණාත්මකභාවයත්, ඔහුගේ පරිවර්තන කාර්යය නිසා අප්‍රකටව තිබු බොහෝමයක් අග්‍රගණයේ ලතින් ඇමරිකානු සාහිත්‍යයික කෘති ප්‍රසිද්ධියට පත් වීමත් විසින් පරිවර්තන කාර්යය වෘත්තියයක් ලෙස සාහිත්‍යය ලෝකයේ පිළිගනු ලැබිමට ඉඩ සැලසීය.

අල්ස්ටෙයාර් රිඩ්(ස්කොට්ලන්ත ජාතික කවියෙක් සහ ලතින් ඇමරිකානු සාහිත්‍ය පිළිබඳ විද්ව‍තෙක්) ලතින් ඇමරිකානු කතා පරිවර්තනය කිරීම සම්බන්ධයෙන් රබස්සා ඇති කළ බලපෑම මෙසේ විස්තර කළේය. “ කෘත හස්ත ලතින් ඇමරිකානු සාහිත්‍යය කෘති බොහොමයක පැවැත්මෙන් අඩකට වඩා රබස්සාට ණය ගැතිය. මේ තනි පුද්ගලයා වර්ගාස් ලෝසා, ජෝස් ලෙසාමා ලීමා, යූලියෝ කොර්තාසාර්, මිගෙල් ඒන්ජල් ඇස්තූරියස්, ගාර්සියා මාර්කේස් සහ තවත් බොහොමයක් ලතින් ඇමරිකානු ලේඛකයින්ගේ උසස් සාහිත්‍ය කෘති සියල්ලම පාහේ පරිවර්තනය කරනු ලැබුවා.”

රබස්සාගේ සාහිත්‍යයික කාර්යයභාරය ගැන, සාහිත්‍ය ලෝකයේ මුවින් මුව පැතිරුණ ප්‍රශංසාත්මක පුනගැයුම මුලින්ම ඇරඹුනේ ගාර්ෂියා මාර්කේස් ගේ One Hundred Years of Solitude(සියවසක හුදකලාව- සිංහල පරිවර්තනය) කෘතියේ පැහැදිලි සාර්ථකත්වයක් අත් කරගත් ඉංග්‍රීසි පරිවර්තනය නිසාය. මෙක්සිකානු සහ ලතින් ඇමරිකානු සාහිත්‍ය පිළිබඳ කෘති සම්පාදනය කළ ගත් කතුවරයකු වූ ජෝන් එස්. බ්‍රෂ්වුඩ් ට අනුව රබස්සා විසින් සිදු කළ එම පරිවර්තනය, “බොහොමයක් පරිවර්තකයින්ගේ පරිකල්පනය දවාලන දුෂ්කරතාවන් යටපත් කර දැමිමකි.” විලියම් කෙනඩි( ඇමරිකානු ලේඛකයෙක් සහ ජනමාධ්‍යවේදියෙක්) ඒ පිළිබඳ මෙසේ සිය අදහස කීවේය. “One Hundred Years of Solitude කෘතිය, අග්‍ර ගණයේ සාහිත්‍ය කෘතියක් වනවා සේම, එහි පරිවර්තක ග්‍රෙගරි රබස්සා මිහිපිට සිටින හොඳම පරිවර්තකයා බවට ද පත්ව ඇත.”



ඔහුගේ සාහිත්‍යය පරිවර්තන වෘත්තියට අතිරේක වටිනාකමක් එක් කරමින් ඔහුට එම ක්‍ෂේත්‍රයේ න්‍යායික දැනුම පිළිබඳ කථිකයෙක්, උපදේශකයෙක්, තේරීම් සභාවල සාමාජිකයෙක් ලෙස ක්‍රියා කිරීමට නිරන්ත‍රයෙන් ඉහළ ඉල්ලුමක් සහිතව ආරාධනා ලැබුණි.

වෙහෙස නොබලා පරිවර්තන සාහිත්‍යය සම්බන්ධයෙන් ඔහු දැරූ පරිශ්‍රමයන්, එතෙක් අවධානය යොමු නොවුණු ‘පරිවර්තනය කාර්යය’ පිළිබඳව ශාස්ත්‍රීයව විමසා බැලීම මෙන්ම ස්ථාවර සහ නවක පරිවර්තකයින් දිරිමත් කරනසුළු හඬක් ලබා දීම සම්බන්ධයෙන් සිදු කළ දැවැන්ත මෙහෙවරයන් වීය.

කෘති ද්විත්වය සංසන්දනාත්මකව කියවිමෙන් මුල් කෘතියේ ශක්තිය සහ හරය පරිවර්තනයට රැගෙන ඒමේ රබස්සාගේ පරිපූර්ණ හැකියා මනාව තේරුම් ගත හැකිය. එය, එනම් මුල් කෘතියේ සාරය මුළුමනින්ම තමන් වෙත අව‍‍ශෝෂණය කරගෙන මුල් කතෘ ගේ ‍ශෛලිය නැවත හැඩගැන්වීම, යම් හෙයකින් රබස්සා සතු වූ ප්‍රතිභා පූර්ණ හැකියාවක් වන්නට ඇත. තමන්ගේ කෞශල්‍යය මුල් කතෘට දෙවැනි කොට පවත්වාගැනීම සහ ඒ අතරවාරයේ මුල් කතෘගේ සුවිශේෂි ශෛලීමය ලක්ෂණ ඉංග්‍රීසි භාෂාවෙන් පොහොනි කිරීමත්, ඒවා සන්නිවේදනය කිරීමත් අතර ඔහු අත්පත් කරගන්නා සමබරතාවය රබස්සා විසින් නිර්මාණාත්මක ලෙස සහ ගලායන අකාරයෙන් පවත්වා ගනියි.

බොහොමයක් පරිවර්තකයින් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ අවම අවධානයක් දිනා ගන්නා යුගයක රබස්සා, මුල් කෘතියේ කතෘ හා නිර්මාණාත්මක දායකත්වයේ සමතැන් හි ලා සළකනු ලැබිණි. ස්පාඤ්ඤ සහ පෘතුගීසි භාෂාවෙන් ලියැවුණු ලතින් ඇමරිකානු සාහිත්‍යකෘති ලොව පුරා ප්‍රචලිත කිරීමේ මහඟු කාර්යය වෙනුවෙන් 1977, 1982 සහ 2001  යන වසරවල සම්මාන ත්‍රිත්වයකින් ද ඔහු පිදුම් ලැබීය.

ඇමරිකානු ජාතිකයකු වන රබස්සා 1922 වසරේ නිව්යෝර්ක් නගරයේදි උපත ලද්දේය. ඔහු කොලොම්බියා සරසවියේ සහ ක්වීන් කොලීජියේ ආචාර්යවරයකු ලෙස සේවය කර ඇත. ලතින් ඇමරිකානු සාහිත්‍ය කෘති පරිවතර්තන කිරීමට අමතරව, සිය දිර්ඝ පරිවර්තන සාහිත්‍යයික දිවිය අළලා If This Be Treason: Translation and Its Dyscontents, A Memoir නම් මතක සටහන් සහිත කෘතියක් සම්පාදනය කළ අතර එය 2005 වසරේ ‍‍ලොස් ඇන්ජලීස් ටයිම්ස් සඟරාව විසින් “වසරේ හොඳම සාහිත්‍ය කෘතිය” ලෙස ‍තෝරා ගත් අතර, 2006 වසරේ එය සාහිත්‍ය සම්මානයකින්ද පිදුම් ලැබීය. එවන් පරමාදර්ශී සේවාවක් සාහිත්‍ය ලෝකයට සිදු කළ ඔහු, වසර 94 දි, එනම් 2016 ජූනි 13 වැනිදා මෙලොවින් සමුගත්තේය.



පහත දැක්වෙන්නේ ‘ද ට්‍රාන්ස්ලේෂන් රිවිව්’ වෙබ් අඩවියේ තෝමස් හොක්සෙමා, රබස්සා සමඟ 1978 වසරේ සිදු කරන ලද දීර්ඝ සම්මුඛ සාකච්ජාවකින් කොටසකි. දශක හතරක් තරම් දීර්ඝ කාලයකට ඉහතදි කරන ලද මෙම කතා බව අපට තවමත් වැදගත් වන්නේ, සාහිත්‍යය පරිවර්තනයකදී පරිවර්තකයකු තුළ තිබිය යුතු ඉවසීම, සංයමය සහ සියුම් භාවය කෙතරම්ද යත් මෙන්ම, මුල් කෘතියට පරිපූර්ණ සාධාරණත්වයක් ඉටු කිරීමේ පරිවර්තකගේ අසීමාන්තික පරිශ්‍රමය සහ අභිප්‍රාය ලෝක පූජිත පරිවර්තකයෙකුගේ අත්දැකීම් තුළින් දැනගැනීම ලාංකීය පරිවර්තන සාහිත්‍යයට ද ප්‍රයෝජනයක් වන්නට ඉඩ ඇති නිසාය.

  • පරිවර්තකයෙක් වීම හේතුවෙන් ඔබ ලැබූ වරප්‍රසාදයක් තමයි ලේඛකයින් ගණනාවක් සමඟ සමිපව කටයුතු කරන්න ඉඩ ලැබීම. ඔබ එසේ සමීපව කටයුතු කළේ කුමන ලේඛකයින් සමඟද, එමෙන්ම ඔවුන්ගේ කෘති පරිවර්තනය සම්බන්ධයෙන් ඔවුන් දැරූ අදහස් කුමන ආකාරයක් වීද?


මම ලේඛකයින් කිහිපදෙනෙක් එක්ක සමීපව වැඩ කරලා තියෙනවා, ඔවුන් මට සහයෝගය දැක්වූයේ එකිනෙකට වෙනස් ආකාරයෙන්. ඒ සියලු ලේඛකයින් අතුරින් මා හොඳින්ම වැඩ කළේ යුලියෝ කොර්තසාර් සමඟ. ඔහුගේ ඉංග්‍රීසි දැනුම තරමක් හොඳයි, ඒ වගේම ඔහු හෘද සාක්ෂියට සවන් දෙන පාඨකයෙක්. ඔහු තුළ පරිවර්තකයෙක් ගේ කාර්යය භාරය සම්බන්ධයෙන් විශිෂ්ට ගෞරවයක් තිබුණා, ඒ නිසා ඔහු කරන්න බැරි දේවල් ඉල්ලා සිටියේ නැහැ. ගොඩක් වෙලාවල කිසියම් වැකියක ඉංග්‍රීසි යෙදුම් වල වඩාත් සුදුසු, සුළු වෙනස්කම් කරන්නැයි යෝජනා කරලා තියෙනවා, විශේෂයෙන් නොවියත් බස යෙදී ඇති විට. අර්ථය මඟහැරුණු තැන් ග්‍රහණය කරගන්න තරම් ‍සියුම් ඇසක් ඔහුට තිබුණා. සමහර වෙලාවට පෙනුමට අහිංසක වදනක් හෝ වාක්‍ය කණ්ඩයක් තුළ මුළුමනින්ම වෙනස් ආකාරයේ අර්ථයක් ගැබ්ව තිබුණා, එහි සන්දර්භය ආර්ජෙන්ටීනියානු කටවහර භාවිතා කොට ඇති නිසා. යුලියෝ ප්‍රශංසා කිරීමටත් ප්‍රමාද වුණේ නැහැ, එය කෙනෙකුට විශේෂයෙන් දැනෙන සහනශීලි දෙයක්.

මාරියෝ වර්ගාස් ලෝසා නිතරම වාගේ තරමක් දුරට සහයෝගය දුන්නා. නමුත් ඔහුව නිතරම විශ්වාසයට ගන්න බැහැ, මොකද ඔහු හිතන තරම් ඔහුගේ ඉංග්‍රීසි දැනුම හොඳ මට්ටමේ නැති නිසා. සමහර වෙලාවට පරිවර්තනයේ කිසියම් ගැටළුවක් ඇති බව කියලා, එහි ‘නියම අර්ථය’ ඔහු විස්තර කළාම, එයම තමයි මම හරියට ඉංග්‍රීසි වලින් ලියලා තියෙන්නෙ. එවැනි දේ මම නොසළකා හරිනවා. නමුත් ඔහුගේ යෝජනා සමහර අවස්ථාවල හොඳින් ගැලපිලා තියෙනවා, ඔහුගේ ඉංග්‍රිසි දැනුම මම හිතනවාට වඩා හොඳ ඇති, මොකද ඔහු සහතික වශයෙන්ම ඉතා ශූරයි නිවැරදි නොවන දේ හසු කරගන්න.

ගාර්ෂියා ම‍ාර්කේස් පරිවර්තකයාට උවමනා පරිදි වැඩ කරන්න ඉ‍ඩ දෙනවා, ඔහුට අවසාන වශයෙන් දැනෙන හැඟිමත් සමඟ ඔහු තෘප්තිමත් වෙනවා. ඔහුගේ ශබ්දකෝෂය ස්පාඤ්ඤ සන්දර්භය ඇතුළෙ තරමක් සම්භාව්‍යයි සහ පොදුයි. ඔහුගේ කෘතියක ඔහුගෙන් නැවත විමසිය යුතු තරමේ වැකි හෝ යෙදුම් ඇත්තේ දහයක් දොළහක් පමණයි. ඔහුගේ ගද්‍යය විසින්ම, පරිවර්තනයට මඟ හදනවා.

  • පරිවර්තන කාර්යයේදී ඔබ යොදා ගත් යාන්ත්‍රණය තුළ ‍කිසියම් ස්ථිර ක්‍රමවේදයක් හෝ උපක්‍රමයක් ඔබට තිබුණද?

මම හිතන්නේ නැහැ මට කිසිම විදියක උපක්‍රම තිබුනා කියා. මට ඇත්තටම කිසිම ක්‍රමවේදයක් තිබ්බේත් නැහැ.( ඒ ගැන හිතුවොත්, මම බොහෝ විට උපායශිලියි). මට කිසියම් ප්‍රවේශයක් තිබුණාය කියන එකත් මට සහතික කරලා කියන්න බැහැ. එය ඉතාම සරලයි. මම මේසෙට වාඩි වෙලා, ශබ්ද කෝෂයක් ලඟින් තියා ගෙන වැඩේ කරගෙන යනවා. වඩාත් දිග්ගැස්සෙන ප්‍රාරම්භක පරිශ්‍රමය තමයි පොත කියවීම. සමහරවිට කියවීම සිදුවන්නෙ ටික කාලකයට ඉහතදි නිසා මතකය තරමක් ව්‍යාකූලයි. මගේ අත්දැකීම ආදර්ශයට ගන්නවා නම්, ඉන් ඇත්තටම පරිවර්තන කාර්යයට සිදු වෙන්නෙ හොඳක්.

මම නොසඟවා කියන්න ඕනෑ, මම මේක යුලියෝටත් කිව්වා, මම ඔහුගේ Hopscotch කෘතිය පරිවර්තනය කලේ එය කියවාගෙන යන විටදිමයි. මට වරින් වර ක‍ෘතියේ අපාස්සට යන්න සිද්ධ වුණා සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් කරන්න, ඒත් ඒවා අතරින් පතර වු නොවැදගත් යෙදුම් කිහිපයක් විතරයි. මම හිතන්නෙ, මෙම‍ කාර්යය තුළ අඩංගුව තිබෙනවා මම පරිවර්තනය පිළිබඳ මතුකරන විවාදාත්මක කාරණාව. පරිවර්තනය කියන්නේ සමීප කියවීමක්, බාගවිට සමීපමතම කියවීම යන කාරණය. මම පොතක් පරිවර්තනය කරන විට, එහි ‍තේරුම පැහැදිලි කරගන්නට උත්සාහ කරමින් මම හැකි පමණ දුරක් එය කරගෙන යනවා, එවිට මට විශ්වාසයක් ඇතුව පළමු දළ පිටපත හා වැඩ කළ හැකියි.


කිසියම් වැකියක් මා දුෂ්කරතා‍වයේ හෙළයි නම්, වෙනස් ආකාරයකට එය ලියා තබනවා පසුවට ඒ හා ගනුදෙනු කරන්න. දෛනික පරිවර්තන චර්යයාව ඇතුළෙ මම වෙන කිසි දේකට වඩා මට ලබ‍ා දෙන්නෙ විරාම. මම මුල් පිටපතේ පිටු විස්සක් තිහක් කළාම පරිවර්තනය නවත්නවා, ඊටපස්සෙ ආපස්සට ගිහින් එය නැවත සකසමින් ලියනවා. මෙහිදි මම වැඩ කරන්නේ ඉතාමත් සෙමින්, මට ශබ්දකෝෂයේ සොයා ගන්න බැරිවුණු වචන ගැන පරික්ෂා කරනවා, මම අතවත් නොතබා අතැහර දා ආපු දළ ජේද වලට සුමට විසඳුම් සොයනවා. සාමාන්‍යයෙන් මෙය තමයි අවසාන පිටපත. කතෘ ගෙන් විමසා දැනගත යුතු දේ අතරින් පතර සළකුණු කරල තියෙනවා ඒ පිටපතේම, ඔහු එය කියවද්දි ඔහුට දකින්න හැකි වන විදියට.


කතෘ ගේ යෝජනා ලැබෙන්නෙ ඉතාමත් අල්ප ප්‍රමාණයකින්, මට ඒක ලේසියෙන් මගේ අවසාන පිටපතට ඇතුළත් කරන්න පුළුවන්. මිනිස්සු මගෙන් නිතරම අහනවා ඇයි මම ම යතුරු ලියනය කරන්නෙ කියලා. යතුරු ලියන්නෙකු හිටියා නම් ලේසී තමයි, ඒත් ඒ නිසා සම්පූර්ණ ක්‍රියාවලියෙම වේගය අඩු වෙනවා. මම යතුරු ලියනය කරන එකම හේතුව තමයි, මටම එවිට අවසාන පිටපත තුළ වෙනස් කම් කිරීමට ඉඩ ලැබෙන නිසා. එහෙම කරන්නෙ වැඩි හොඳට, නිතරම මම දළ පිටපත සහ එහි වෙනස්කම් පරික්ෂා කරන විට, මම මුලින්ම ලිව්වෙ මොකක්ද කියලා ආපස්සට ගිහින් සොයා බලනවා. මම හිතන්නෙ මේ දේවල් කරන්න වෙන්නෙ, මම වැඩ කරද්දිම තමයි.

  • සාමාන්‍යයෙන් ඔබට දළ පිටපත් කිහිපයක් සම්පූර්ණ කරමින්, සැක සහිත තැන් පිළිබඳ විමසමින් සහ නැවත නැවත පරික්ෂා කරමින් පොතක් පරිවර්තනය කර අවසාන කිරීමට කොපමණ කාලයක් අවශ්‍ය ද?

මට එයට එක එල්ලේ පිලිතුරක් දෙන්න බැහැ. භාහිර තත්වයන් නිතරම වෙනස් වෙනවා: ශාස්ත්‍රීය වැඩ කටයුතු, ගමන්බිමන්, අසනීප තත්වයන්, ගෙවත්තෙ වැඩ.. වගේ දේවල්. මේ වගේ දේවල් සතියෙන් සතියෙන් වෙනස් වෙනවා, ඒ නිසාම එය පරිවර්තනයටත් බලපානවා. පරිවර්තන කාර්යයට විතරක් මිඩංගු කරන කාලය මනින්න කිසියම් මීටරයක් තිබුණා නම් මට පැය වලින් කියන්න තිබුණා. එහෙත් එසේ කාලය ගැන හිතන්න ගියොත්,  එය බලෙන් කඩා වැදිනවා වගේ හැඟිමක් ඇති කරනවා, එවිට  අත්‍යවශයෙන්ම මට තිබිය යුතු භාහිර සුපහසුව නැති වෙනවා.  ඒ වගේම නැවතිම - සහ - සිතීම සඳහා මම වැය කරන කාලය යන සාධයකය පොතින් පොතට වෙනස් වනවා.

මම කවදාවත් දන්නෙ නැහැ කොච්චර කාලයක් ගත කරනවාද කියලා පොතක් පරිවර්තනය කරන්න. මම නිතරම කාලය අඩුවෙන් තමයි  තක්සේරු කරන්නෙ, විශේෂයෙන් ප්‍රකාශයෙක් සමඟ කාලසීමාවන් ගැන කතා කරද්දි. කාලය පිළිබඳ මා තුළ ඇති ශුභවාදය මම හිතන්නෙ, පදනම් වෙලා තියෙන්නෙ  අන් කවර දෙයක් කරන්නට නැතිමුත්, යතුරු ලියනය ඉදිරියේ සිදුවන සුමට තරණය පිළිබද මා තුළ ඇති විඥානවාදි දැක්ම වන්නට පුළුවන්. එවැන්නක් සැළසුම් කරනවා නම් කෙනෙකුට The New York Times මිලදී ගැනීම, එය කියැවීම සහ ඉරිදා දිනවල කරන්නට ඇති දිග්ගැස්සසෙන වෙනත් වැඩ රාජකාරි ගැනත් ගණන් තබා ගන්න වෙනවා.

  • ඔබ වරෙක ප්‍රබන්ධ තුළ දෙබස් පරිවර්තනය කිරීමේ අන්තරායකාරී බව ගැන ඇඟවීමක් කර තිබුණා. ඔබ කීවේ ගද්‍ය නිර්මාණයක් තුළ දෙබස් පරිවර්තනය, වේදිකා නාට්‍යකට වඩා අමාරුයි කියලා. ඇත්තටම ප්‍රබන්ධයක දෙබස් පරිවර්තනය කිරීමෙදී තියෙන දුෂ්කරතාව මොකක්ද?

මට මතකයක් නැහැ ඇත්තටම මම ‘ගද්‍ය නිර්මාණයක් තුළ දෙබස් පරිවර්තනය වේදිකා නාට්‍යකට වඩා අමාරුයි’ කීමෙන් මොකක්ද අදහස් කළේ කියලා. මම හිතනවා වේදිකාව මත දෙබස් වලට පණ පෙවීමේදි සහ යථාරූපී බව මතු කිරීමේදි එහි අධ්‍යක්ෂගේ සහ රංගන ශිල්පියාගේ අතිරේක සහයක් ලැබෙනවා. එහෙත් ලේඛකයෙක් (පරිවර්තක හරහා) මේ සියල්ල කළ යුත්තේ මුද්‍රිත කඩදාසියක් මත තනිවම. මට සමහර දුෂ්කරතාවන් පැන නැඟුණා සමහර ලේඛකයින් එක්ක, එතැනදි ඇස්තූරියස් ප්‍රධානයි. ඔහු ප්‍රදේශය හෝ පංතිය අනුව උච්චාරණයේ වෙනස්කම් ඇති විට දෙබස් තුළ ශබ්දය ධ්වනිත වීමේ ස්වරූප නැවත ගොඬ නැඟුවා. මම කිව්වා වගේ, වේදිකා නාට්‍ය රචකයෙකුට එවැනි ධ්වනිතාර්ථ මතු කරගැනීම සඳහා රංගන ශිල්පියාගේ සහය පැතිය හැකියි. නමුත් පරිවර්තනයකදි එවැන්නක් පරිවර්තනය කිරිම නොගැළපෙන දෙයක් විය හැකියි. මම මුල් කෘතියේ එවැනි ශිල්ප ක්‍රම පිළිබඳ එතරම් තැකීමක් කරන්නේ නැහැ, මම පරිවර්තනය සාර්ථක කරගන්නෙ බරපතල ලෙස පාඨකයාගේ පරිකල්පනය මත විශ්වාසය තැබීම වැනි වෙනත් ක්‍රම භාවිතා කරමින්.

සමහරවිට තව කෙනෙකුට පුළුවන් කෘතිම ග්‍රාම්‍යවාදය වගේ දෙයක් අලුතින් සොයා ගන්න, කතෘ ට ඕන‍ෙ කළේ එවැන්නක් නම් පාඨකයාට දනවන්න. අනික් අතට පරිවර්තකගේ යුතුකම වෙන්නෙ, මුල් කෘතියේ තිබු සියළුම ‘රෝම සහ ගැටති’ පිටු අතර ඒ ආකාරයෙන්ම යොදා ගෙන, එම කෘතිය වෙනත් භාෂාවකින් ක්ලෝනකරණය කරමින් ප්‍රතිනිෂ්පාදනය කිරීමයි. පරිවර්තකයින් සීනි තවරන වැඩ නොකළ යුතුයි කියලා මම කියන්නෙ ඒ නිසයි. මම හිතන්නෙ පරිවර්තකයින් බොහොමයක් ස්වභාවයෙන්ම දරදඬු වීම නිසා එවැනි ලක්ෂණ පෙන්නුම් කරනවා, ඒ නිසාම දෙබස් පරිවර්තනයේදී වඩාත් වැඩි හානියක් කරනවා. සමහර විට සමරහර අය දන්නෙ නැහැ කොහොමද කතා කරන්නෙ කියලා.


  • සක්‍රිය නිර්මාණශීලී බලවේගයක් ලෙස මතුවෙමින් සාහිත්‍යය පරිවර්තකයින්ගේ භූමිකාව පසුගිය දශක කිහිපය තුළ වෙනසට ලක් වුණා. ඒ අනුව විචාරාත්මක, වාග් විද්‍යාත්මක සහ සෞන්දර්යාත්මක සිද්ධාන්ත මඟින් සාහිත්‍යය පරිවර්තකයා මත කුමන ආකාරයේ බලපෑමක් ඇති කළ හැකිද?

මුලිකවම පරිවර්තක‍ගේ භූමිකාව එදා තිබුණ ආකාරයම තමයි: වෙනත් භාෂාවකින් ලියූවක් ඇසුරු කිරීමට ඉඩ හසර ලබා දෙන්නා. ඔහු දේවල් වලට ප්‍රවේශය ලබා දෙනවා. පරිවර්තකගේ භූමිකාව එසේම තිබියදිත්, එය පිළිගැනිමේ ස්වභාව වෙනස් වි තිබෙනවා, මම හිතන්නෙ එය තවත් වෙනස් විය යුතුයි. ඔහුගේ ව්‍යායාමය මුල්‍යමය වශයෙන් ප්‍රතිඵල දායක වෙද්දි ඔහු තමන්ගේ පරිවර්තන කාර්යය පිළිබඳ වැඩියෙන් සැළකිලිමත් වෙනවා.

පරිවර්තකගෙන් සාහිත්‍යයට දෙයාකාරයක ප්‍රයෝජනයක් ලැබෙනවා: ඔහු නිමකළ කාර්යය, ඔහුගේ භාෂාවෙන් අපට ලබා දෙන කෘතිය සහ ඔහු එය සිදුකළ ආකාරය. එහි සේවය ලැබෙන්නෙ මුල් කෘතිය කියවිය නොහැකි පාඨකයින්ට. පරිවර්තකයා එක විට වෙනස් ලෝක දෙකක් ඇතුලේ පවතිනවා. ඔහු පරිවර්තන කාර්යයේ යෙදනෙ විට ඔහු ලේඛකයෙක් සහ විචාරකයෙක්. ඔහුගේ මෙම තත්වය සාහිත්‍ය්‍ය ලෝකය තුළ අද්වීතියයි. එය සැබවින්ම පරිවර්තකයා, අතරමැදියෙක්ය යන අදහසින් ඔබ්බට ගොස් ඔහුට වඩාත් යහපත් පිළිගැනීමක් ලබා දීමට හොඳ හේතුවක්.

ආශ්‍රිත මුලාශ්‍ර - ද ට්‍රාන්ස්ලේෂන් රිවිව්, ද නිව්යෝර්ක් ටයිම්ස්

✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017.10.08  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.





Comments