Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

නිදහස් ජීවිතයකට මඟ කියන සාංදෘෂ්ටිකවාදය: ශෝන් පෝල් සාත්‍ර සහ සීමොන් ද බෝවාගේ ජිවිත ඇසුරින්


ඒ 1932 වසරේ අවසන් භාගයයි. පැරිස් නුවර මොන්පර්නාස් විදියේ බෙක් ද ගාස්z නම් අවන් හලේ පැවැත්වුණු ඇප්‍රිකොට් කොක්‍ටේල් සාදයකදි තරුණ මිතුරු මිතුරියෝ තිදෙනෙක් මුණ ගැසුණහ.

ඒ ශොන් පෝල් සාත්‍ර, සීමොන් ද බෝවා සහ ඔවුන් දෙදෙනාගේ මිතුරෙකු සහ එම යුවළට නව රැඩිකල් දාර්ශනික චින්තන විධික්‍රමයක් වෙත දෑස් ඇරවු රේමොං ආරොං යන තිදෙනායි. රේමොං එකවරම සිය බීම විදුරුව පෙන්වා මෙසේ කියයි. “ඔබලාට පේනවද? සංසිද්ධිවාදයට අනුව මේ කොක්ටේල් පානය ආධාරයෙන් දර්ශනවාදයක් ගොඬනැංවිය හැකියි”

ඒ මොහොතේ සිට සාත්‍ර, සැබෑ ලෙස අප අත් දකින ජිවිතය පිළිබඳ අපූරු දර්ශනවාදයක් එනම්, ආදරය සහ ආශාව, නිදහස සහ පැවැත්ම, කෝපි සැල් සහ වේටරවරුන්, මිත්‍රත්වය සහ සතුරුභාවය මෙන්ම දේශපාලන විප්ලව ගැන කියා දෙන දර්ශනවාදයක් බිහිකිරීමට උත්සුක වීය. ඔහුගේ එම දර්ශනවාදය එකල පැරිසිය අස්සක් මුල්ලක් නෑර සේම මුළු ලොව පුරාම වේගයෙන් පැතිර ගිය අතර පශ්චාද් යුදසමයේ ඇති වුණු ලිබරල්වාදි ව්‍යාපාර, 1968 සිදුවුණු ශිෂ්‍ය නැඟීටීම් මෙන්ම ලොව පුරා ඇතිවුණු සිවිල් අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් බිහිවුනු ව්‍යාපාරවල, ගමන් මඟ තීරණය කිරීම උදෙසා ක්‍රියාකාරි බලපෑමක් සිදුකළ චින්තන දහරාවක් බවට පත්වීය. එම චින්තන දහරාව හඳුන්වනු ලැබුවේ සාංදෘෂ්ටිකවාදය නමිනි.
සාමාන්‍ය මතය අනුව සාංදෘෂ්ටිකවාදය දර්ශනවාදයක් ලෙස පැහැදිලි ලෙසම නිර්වචනය කිරීමට තරමක් දුරට අපහසු චින්තන දහරාවක් වු අතරම එය පෝෂණය කළ සමහරක් ප්‍රධාන චින්තකයින් පවා එහි මූලධර්ම පිළිබඳ පුර්ණ එකඟතාවකට පැමිණ තිබුණේ නැත. එසේම ඔවුහු එම න්‍යායන්ට අනුව ජිවත් වෙමින් තමන් සාංදෘෂ්ටිකවාදින් ලෙස පෙනී සිටීමද ප්‍රතික්ෂේප කළෝය. නමුත් ඊට පැටහැනිව යමින් මෙම දර්ශණවාදය බිහිකිරීමට පුරෝගාමි මෙහෙවරක් සිදුකළ ශෝන් පොල් සාත්‍ර සහ සීමොන් බෝවා යන දාර්ශනික විද්‍යාර්ථයින් යුවළ එකල සමාජයට සාපේක්ෂව ඉතාමත් අසම්මත සහ රැඩිකල් ජීවිත ගත කළා පමණක් නොව ඔවුන්ව සමාජය විසින් සාංදෘෂ්ටිකවාදීන් ලෙස හඳුන්වාදීම ද ප්‍රතික්ෂේප නොකළෝය.
බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක සහ සාංදෘෂ්ටිකවාදි අදහස් දරන්නියක වු සාරා බේක්වෙල්, සාංදෘෂ්ටිකවාදය සම්බන්ධ වර්තමානයේ පවතින නොපැහැදිලිභාවය සැළකිල්ලට ගනිමින් එම දර්ශනවාදය පිළිබඳ වර්තමාන සමාජයට වඩාත් පුළුල් විවරණයක් සැපයීම සඳහා 2016 වසරේ At the Existentialist Café: Freedom, Being, and Apricot Cocktails නම් කෘතියක් ලියා පළ කළාය.



එම කෘතිය තුළ ගැහැනුන්ගේ සහ මිනිසුන්ගේ අදහස් සහ ජිවන පැවැත්ම එකිනෙකට අභිමුඛ වීමේ කතාන්දරයක් හරහා නුතන සාංදෘෂ්ටිකවාදය ග‍වේෂණයට ලක් කරයි. එහිදී ප්‍රධාන කොටම සාංදෘෂ්ටිකවාදයේ ‘රජ සහ රැජිණ’ ලෙස සැලකෙන සාත්‍ර සහ බෝවා ගේ ඉගැන්වීම්, ඔවුන්ගේ ශාස්ත්‍රීය සහ පෞද්ගලික ජිවිතයේ හැඩහුරුකම් ගැන සහ එම භාවිතාව කෙතරම් දුරට ඔවුන්ගේ චින්තන ර‍ටාවට අනුගත වී දැයි යන්න සාකච්ජාවට බඳුන් කොට ඇත. ඊට අමතරව ඔවුන්ගේ විද්වත් කවයට අයත්ව සිටි ඔවුන්ගේ මිතුරන්, අනුගාමිකයින්, මතවාදී සතුරුන් මෙන්ම ඔවුන් ආභාෂය ලැබූ විද්වතුන් වන ඇල්බෙයාර් කැමූ, මාර්ටින් හයිඩගර්, මොරිස් මෙර්ලෝ පොන්ටි, අයිරිස් මර්ඩොක්, එඩ්මන්ඩ් හසල් කාල් ජස්පර්ස් සහ හැනා අරෙන්ට් වැන්වුන් පළකල අදහස් මෙන්ම ඔවුන්‍ගේ ජිවන පැවැත්ම ද අඩු වැඩි වශයෙන් එම කෘතිය තුළ සංවාදයට බඳුන් කොට ඇත්තේ අදහස් සහ ජිවන රටාව එකිනෙක සම්මුඛ කරමින් සාංදෘෂ්ටිකවාදයේ නියම අර්ථය මතු කොට ගැනීම සඳහාය. ජිවන කතාන්දරත් දර්ශනවාදයත් එකට තබා ගොතමින් එය මිනිස් ජීවිතයට බලපාන, සැබවිමන්ම මිනිස් ජිවිත වෙනස් කරන දර්ශනවාදයක් විමර්ෂණයට ලක් කරන අතරතුර ඇය ඉතාමත් බැරූරම් ප්‍රශ්නයක් සමඟ ද ගනුදෙනු කරයි. අපි යනු කුමක්ද සහ අප ජිවත් විය යුත්තේ කෙසේද?

සැබවින්ම මෙ‍ම ලිපියේ අරමුණ සාංදෘෂ්ටිකවාදය හෝ එය පාදක කොටගෙන සම්පාදනය කළ සාරා බේක්වෙල් ගේ කෘතිය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට අවතීරණ වීම නොව සාරා බේක්වෙල් විසින්ම The Guardian(2016) වෙබ් අඩවියට සැපයූ ලිපියක් ඇසුරින් ඇයගේ කෘතියේ ප්‍රධාන චරිත ද්විත්වය වන ශෝන් පෝල් සා‍ත්‍ර සහ සීමොන්ද බෝවා ඇතුළු එම දර්ශනවාදයේ අනෙකත් අනුගාමික විද්වතුන්ගේ ජීවින භාවිතාව තුළින් සාංදෘෂ්ටිකවාදයට නුතන සමාජය තුළ ලැබිය යුතු වටිනාකම කුමක්ද යන්න පිළිබඳ ඇය කළ සංවාදය සංක්ෂිපත්ව ඉදිරිපත් කිරීමයි.

සාරා ඇයගේ ලිපිය තුළ සාංදෘෂ්ටිකවාදි ජිවිතයක දක්නට ඇති ප්‍රබල සහ ප්‍රගතිශීළි ලක්ෂණ කිහිපයක් ගෙන හැර දක්වන්නීය.


සාංදෘෂ්ටිකවාදින් යනු දිවි පැවැත්මේ දාර්ශනිකයින්ය

සාත්‍ර මෙන්ම සීමොන්ද බෝවා සහ ඔවුන්ගේ මිතුරු මිතුරියෝ එක්ව පාස‍ලේදි සහ විශ්ව විද්‍යාලයේදි දර්ශනය අධ්‍යනය කළ අතර එය සැබවින්ම ගුප්ත ශික්ෂාව බවට පත් වි තිබුණි. ඒ මන්දයත් ඔවුන් වැඩිමනත් ලෙස ‘අපට පූර්ණ ලෙස නිශ්චිත යමක් බවට පත් විය හැක්කේ කෙසේද’ යන ගැටළුවට පිළිතුරු සෙවීමට උත්සාහ කළ නිසාය. එම ගැටළුව හා පොරබැඳීමෙන් හෙම්බත් වුණු දෙපළ සිය අධ්‍යනයේදි ෆෙඩ්‍රික් නිට්ෂේ සහ සොරෙන් කින්කර්ගාඩ් විසින් ගොඩනැඟූ තනි පුද්ගල පැවැත්ම සහ ‘ජිවිතය’ මත පදනම් වුනු දර්ශනවාදයට වඩාත් නැඹුරු වීය. නමුත් අහම්බෙන් මෙන් සිය මිතුරා රේමොං විසින් සංසිද්ධිවාදය පිළිබඳ කළ කතාව නිසා සීමොන් ද බෝවාට අනුව සාත්‍ර ඉතාමත් කැළඹුණු ස්වභාවයකට පත් වුණු අතර එම සිදුවීමත් සමඟ සාත්‍ර නව දර්ශනයක් බිහිකිරීම වෙනුවෙන් සිය කාලය වැඩි වශයෙන් යෙදවීම ආරම්භ කළේය.
සාත්‍ර දර්ශනය සොයා යෑමේ වෑයමක් ලෙස බර්ලින් නගරයට ගියේය. ඔහු නැවත පැමිණියේ ඔහුගේම පැරිසියානු අත්දැකීම් පදනම් කොටගෙන බිහිවන දර්ශනවාදයක් වෙනුවෙන් ක්‍රියාකිරීමටය. ඔහු දර්ශනවාදයක් බිහිකලේ කොක්‍ටේල් පානයකින් පමණක් නොවෙයි, ඔහු කෝපි සැල් වලින්, ජෑස් සංගීතයෙන්, ඔහුගේ බඳුන පිරවීමට අවල්හල හරහා ලිස්සන්නාක් මෙන් ගමන් කරන වේටර්වරුන්ගේ චලනයන්ගෙන්, අපිරිසිදු හෝටල සහ උයන්වලින්, හිත බැඳුනු ලැබැඳියන් වෙනුවෙන් ඇතිවන ආලයෙන්, නොකමැති අයකු ගැන ඇතිවන පිළිකුලින්, විඩාපත් බවෙන්, බියපත් කමෙන්, ප්‍රබෝධයෙන්, බමනයන්ගෙන්, ලැජ්ජාවෙන්, යුද්ධයෙන්, විප්ලවයෙන්, සංගීත‍යෙන් සහ ලිංගිකත්වයෙන්.. විශේෂයෙන්ම ලිංගිකත්වයෙන් ඔහු දර්ශනවාදයක් බිහිකළේය.


ඔහු එම දර්ශනවාදයට අනුව ජිවත් වීමේ වැදගත්කම අවධාරණය කළ අතර ඒ අනුව යටත් විජිත වාදයට, වර්ගවාදයට, ‍ලිංගිකනැමියාව නිසා වෙනස් කොට සැළකීමට සහ සියලු සමාජ දුෂ්ඨභාවයන්ට එරෙහිව ක්‍රියා කරන ව්‍යාපාර මෙහෙයවන්නන් ඔහුගේ එම දර්ශනවාදයෙන් අනුප්‍රාණය ලැබීය. කනිෂ්ඨ මාර්ටින් ලුතර් කින්, සාත්‍ර සහ මාර්ටින් හයිඩගර් ගෙන් අභාෂය ලැබුවෙකි. 1968 වසරේ සමාජ වෙනස්කමක් වෙනුවෙන් ප්‍රංශයේ සිසුන් සහ කම්කරුවන් වීදි බසින විට, ඔවුන් කියූ සහ තාප්ප වල ප්‍රදර්ශනය වුණු සටන් පාඨ වල සාංදෂ්ටිකවාදය ගැබ් වි තිබුණි. “දෙවියෙක් හෝ ස්වාමියෙක් නැත.” 1968 උද්ඝෝෂකයින්ට අවශ්‍ය වුයේ වෙන කිසිත් නොව නිදහස බව සාත්‍ර නිරික්ෂණය කළේය.



සාංදෘෂ්ටිකවාදීහු සැබවින්ම සිය නිදහස පිළිබඳ සැළකිලිමත් වෙති.

සාංදෘෂ්ටිකවාදීන්ගේ චින්තනයට අනුව මිහිමත අනෙක් සියලු පැවැත්මෙන් මිනිසා වෙනස් වන්නේ ඔහුට හෝ ඇයට තමන් කැමති දෙයක් කිරිමට ඇති නිදහසයි. අපට කිරීමට නිදහසක් නැති එකම දෙය නම් නිදහස් නොවී සිටමට තීරණය කිරීමයි. කන්දකට, කුඩා පිහියකට හෝ කුරුමිණියෙකුට ස්වභාවදහමින් ඒවාට උරුම වුනු ස්වභාවයක් ඇත, නමුත් මිනිසා කවුරුන්දැයි යන්නට නියමිත ආකෘතියක් නැත. මා මත ජීව විද්‍යාත්මක, සංස්කෘතික සහ පුද්ගලික වටාපිටාව තුළින් බලපෑම් එල්ල විය හැකි නමුත් මා කවුරුන්ද යන්න තීරණය වන්නේ මම කරන්නේ කුමක්ද යන්න ගැන මා කරන තෝරා ගැනීම් මතයි. සාත්‍ර කියන ආකාරයට “ මිනිසාව වහල්භාවයට ඇද දමන කිසිදු පෙර ඇදී මාවතක් නැත, ඔහුගේ මාවත නිරතුරවම සොයා ගන්නේ ඔහුම විසිනි. එය සොයා යාමට නම් ඔහු නිදහස්, වගකීම් සහිත නිදහසට කාරණා ඉදිරිපත් නොකරන්නෙකු විය යුතුය. එවිට ඔහුගේ සියලු අපේක්ෂාවන් ඔහු අණසක යටතට පත්වෙයි.”

ඇතැම් සාංදෘෂ්ටිකවාදීහු විශ්මිත ලිංගික ජිවිත ගත කරති.

සාත්‍ර සහ සීම‍ොන්ද බෝවා, ඔවුන් දෙදෙනා විසින්ම බිහිකළ සිය නිදහස පිළිබඳ මුලධර්මයන්, 1929 වසරේ සිට සාත්‍රගේ මරණය සිදුවුණ 1980 වසර දක්වා, ඉතාමත් සාර්ථක මිනිස් සබඳතාවත් ලෙස පැවති ඔවුන්ගේ ආදර අන්දරය තුළ මුළුමනින්ම භාවිතාවේ යෙදවිය.

ඔවුන් එකිනෙකාගේ සමීප ඇසුර තුළ සිය ජිවිතය ගෙවා දැමීමට ඔවුන් දෙදෙනාටම අවශ්‍ය වුව ද ඔවුන් සම්ප්‍රදායික සීමාවන් පිළිගත්තේ නැත. ඒ නිසා ඔවුන් එකිනෙකා කෙරේ මුලිකව බැඳී සිටිමට එකඟවු නමුත් ඔවුහු දෙ‍දෙනාම බහු ස්ත්‍රී සහ පුරුෂ සේවනයේ යෙදී සිටියෝය. එම එකඟතාව ඔවුන් දෙදෙනාව කෙතරම් දුරකට රැගෙන ගියේද යත්, ඔවුන්ගේ ලිංගික සබඳකම් සාමාන්‍ය සමාජය විසින් කිසිසේත්ම පිළිනොගන්නා අරුචිකර තත්වයකට ද ලඟා වූයේය. එනම් ද්විත්ව ලිංගික චර්යාවන්ට නැඹුරු වි සිටි සීමොන් ද බෝවා ඇයගේ ශිෂ්‍යාවන් සමඟ ලිංගික සබඳකම් පවත්වා අනතුරුව ඇය ඔවුන්ව සාත්‍ර හා ලිංගිකව හැසීරිමට ඔහු වෙත යැව්වාය. සාත්‍ර ද උපන් ගෙයි ස්ත්‍රී ලෝලියෙකි.

සාරා බේක්වෙල්ට අනුව ඔවුන් එවැනි ලිංගික හැසිරීමක් ප්‍රකට කළේ බොහෝවිට එකල පැවති, ගැහැනු මිනිසුන් විවාහ විය යුතුය, දේපළ රැස්කර ගත යුතුය, දරුවන් හැදිය යුතුය යන මධ්‍යම පාන්තික වටිනාකම් අභියෝගයට ලක් කිරිම සඳහාය. සාත්‍ර සහ ද බෝවා ඒ වෙනුවට ඔවුන්ගේ දර්ශනය අනුව යමින් එකිනෙකාට අවංක වෙමින් තම නිදහස් තීරණ වලට ඉඩ දෙමින් සිය ජිවිත ගත කිරිම තෝරා ගත්තෝය.

1949 වසරේ සිම‍ොන්ද බෝවා විසින් ස්ත්‍රීවාදි නැඹුරුවකින් රචනා කරන ලද කෘතියක් වන The second sex එතෙක් මෙතෙක් ලියැවුණු අතිශය බලපෑම් සහගත සාංදෘෂ්ටිකවාදී සාහිත්‍ය කෘතියක් ලෙස සැලකෙන අතර ලිංගිකත්වය පිළිබඳ සමාජය විසින් පටවන ලද අදහස පුපුරුවා හැරීමට ඇයට තිබූ උවමනාව ඉන් මනාව පිලිබිඹු වෙයි. එය එකල ස්ත්‍රීවාදයේ නවරැල්ලට ඉතාමත් ප්‍රබල ලෙස බලපෑමක් ඇති කළ කෘතියක් ලෙස ද සැලකෙයි.



සාත්‍ර ද සමලිංගික අයිතිවාසිකම් වලට සහය දක්වන්නෙකු වු අතර ඔහුගේ අදහස වූයේ ලිංගිකත්වය යනු අප මත පැටවෙන අනිවාර්ය යථාර්තයක් නොව එය සාංදෘෂ්ටික තෝරා ගැනීමක් බවයි. ඔවුන් දෙදෙනොගේ එම මතවාදයන් ‍නිසා එකල 1940 ගණන් වල පැවති ප්‍රංශ සමාජය තුළ සමලිංගික ජනතාවට නිදහසේ තමන්ට රිසිලෙස ජිවිත් විමේ අවකාශය සැළසිණි.


සාංදෘෂ්ටිකවාදින්ගේ සාහිත්‍ය නිර්මාණ ඇසුරු කිරීම සිත් ගන්නා සුළු අත්දැකීමකි

සාංදෘෂ්ටිකවාදින් සහ ඔවුන්ගේ මතවාදි මිතුරන් විශ්මයජනක මෙන්ම දරුණු සාහිත්‍ය කෘති නිර්මාණය කොට ඇත. ඇල්බෙයා කැමු ගත් විට ඔහු ලොව පුරා ඉතාමත් ජනප්‍රිය ලේඛකයෙක් බවට පත් වී තිබුණි. ඔහුගේ The outsider නම් කෘතිය සාංදෘෂ්ටිකවාදි චින්තනය පදනම්ව නිර්මාණය වුණු කෘතියක් ලෙස සැලකෙයි. සීමොන් ද ‍බෝවා ඇයගේ සැබෑ ජිවිතයේ අත්දැකීම් සහ සිය මිතුරියන් සමඟ සිදු කල උණුසුම් වාද විවාද ඇසුරින් දේශපාලනික, දාර්ශනික, සාමාජීය කාරණා ඉස්මතු කෙරෙන වැදගත් සාහිත්‍ය කෘති රැසක් නිර්මාණය කොට ඇති අතර The second sex, She came to stay, Blood of others සහ Mandarins ඒවා අතරින් ප්‍රධානය. ඊට අමතරව ඇය නිරතුරුව සිය දර්ශනවාදය සෙසු අයට ඉගැන්වීම සඳහා ශාස්ත්‍රීය ලිපි ‍සම්පාදනයේ නොනවත්වාම යෙදී සිටියාය.

එමෙන්ම ඇය සාත්‍රගේ සුප්‍රකට නිර්මාණයක් වන Nausea කෘතිය, ශාස්ත්‍රීය නිබන්ධනයකට වඩා රහස් පරික්ෂක කතාවක් ලෙස නිර්මාණය කිරීමට ඔහුව දිරිමත් කළාය. සැබවින්ම ඔහු‍ගේ ඇතැම් ශාස්ත්‍රීය නිබන්ධනවල පවා නවකතාවල දක්නට ඇති ලක්ෂණ විද්‍යාමාන වෙයි. එකල සමාජය තුළ සුවිශේෂි බලපෑමක් ඇතිකල සාංදෘෂ්ටිකවාදය පිළිබඳ ලියැවුණු ඔහුගේ විශිෂ්ඨ ශාස්ත්‍රීය රචනාවක් ලෙස සැලකෙන Being and Nothingness කෘතිය සම්පාදනය කිරීම සඳහා ඔහු ඔහුගේ පෞද්ගලික අත්දැකීම් ද යොදා ගෙන තිබුනි. ඒ නිසාම ඔහුගේ ශාස්ත්‍රීය කෘති පරිශීලයනය කිරීම නීරස අත්දැකිමක් නොවීය.


මීට අමතරව සාරා බේක්වෙල්ට අනුව සාංදෘෂ්ටිකවාදීන් අව්‍යාජ ජීවිත ගත කරන්නට උත්සුක වුවෝය. එසේ ජීවත්වීම කෙතරම් දුෂ්කර වුවත් ඔවුහු නිතරම ආත්ම වංචාවෙන් තොර වූහ. තමන්ගේ ජිවිතය පිළිබඳ වගකීම් සහගත වුවෝය, තමා අවට, තමන් ජිවත් වන සමාජය තුළ, ලෝකය තුළ සිදුවන දෑ පිළිබඳ වගකීම් සහගත වුවෝය. සාත්‍ර ට අනුව අප අව්‍යාජ ජීවිත ගත නොකීරීමට හේතුව අපගේ වැරදි විශ්වාසයන්ය. අප කෙතරම් නම් නිදහස් දැයි යන්න මඟ හැරීම සඳහා අප නිදහස් ජීවින් නොවන බව විශ්වාස කිරීමට පෙළඹෙයි. අපට යමක් කරන්නට අවශ්‍යව ඇති නමුත් මේ මේ හේතු නිසා අපට එය මඟ හැරුණු බව විශ්වාස කිරිමට අප සුදානම්ය. නමුත් ඒ සියළු තෝරාගැනීම් සිදු කරන්නේ අපම බව බොහෝවිට අපට අමතකය.

බෙ‍ාහොමයක් සාංදෘෂ්ටිකවාදීන් සිය දේශපාලනික සහ දාර්ශනික නියුක්තකරණය ඉතාමත් වැදගත් කාර්යභාරයක් ලෙස සැලකුවෝය. ඔවුහු සිය කාමර තුළට වී අව්‍යාජත්වය කතා කරමින් සිටිනවා වඩා ලෝකය වෙනස් කිරීමට සිය දායකත්වය ලබා දුන්හ. සාත්‍ර සහ සීමෝන් ද බෝවා දේශපාලන කටයුතු වල නියැලීම ඔවුන්ගේ ජිවිතයේ විශේෂ කර්තව්‍යක් ලෙස පිළිගෙන සිටියහ. දේශපාලනික මතවාදයක් වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් වග වීම සාංදෘෂ්ටිකවාදින්ගේ විශේෂ ලක්ෂණයක් ලෙස ඔවුහු සිය ජීවිතයෙන් පෙන්වා දුන්හ. 1954 සි‍ට 1962 අතර සිදුවුණු ඇල්ජීරියානු යුද්ධයේදී ඔවුන් දෙදෙනා ඇල්ජීරියානු නිදහස් සටන්කාමින්ට සිය සහය පළ කළහ. එම තීරණය ඔවුන්ට දේශපාලනික වශයෙන් සතුරන් බොහොමයක් ඇති වීමට හේතුවක් විය.



සාංදෘෂ්ටිකවාදින් සිය සමකාලින සෙ‍සු දාර්ශනිකයින් මෙන් ජනතාවගේ අවධානයට එතරම් හසු නොවන වචන වල අර්ථ සමඟ පොරබදමින් නොසිට වඩාත් වැදගත්, පෞද්ගලික ගැටළු වෙත සිය අවධනාය යොමු කරවීය. අපි කවුද? අප අනෙක් ජිවින්ගෙන් වෙනස් වන්නේ කෙසේද? නිදහස යනු කුමක්ද? අප එකිනෙකා වෙත ආකර්ෂණය වන්නේ කෙසේද? අප යම් හෙයකින් දෙවියන් විශ්වාස නොකරන්නේ නම් අපට අර්ථාන්විත ජීවිත ගත කළ හැකිද? අපට ලෝකය සම්බන්ධව ඇති වගකීම කුමක්ද?

සාංදෘෂ්ටිකවාදින් අපට මේ කිසිවකට පැහැදිලි විසඳුමක් ලබා දෙන්නෙ නැත. ඔවුන් ද සිය ජීවිත වලින් යහපත් උදාහරණ අපට සපයා දී නැත. ඔවුන් ද පළුදු සහිත චරිත ඇත්තෝ වූහ. සාත්‍ර සැපයට ගිජු වුවෙකි, අනවශ්‍ය කොන්දේසි පනවන ආඩම්බරකාරයෙකි. හයිඩගර්, තොරතුරු මුලාශ්‍රවල දැක්වෙන ආකාරයට නාසිවරුන්ගේ හිතවතෙකි. ඔහු යුද්ධයෙන් පසු ද සිය මතයේම එල්බ ගත්තෙකි. මෙසේ බොහෝමයක් සාංදෘෂ්ටිකවාදීන් ගේ පුද්ගල ලක්ෂණ අප නොසන්සුන් කරන ආකාරයේ ඒවාය.

නමුත් සාරා පවසන පරිදි ඔවුන් අපට ඉතා වැදගත් යමක් ප්‍රදානය කරයි. එනම් ඔවුන් ඉතාමත් සිත්ගන්නා සුළු අපුරු චින්තකයෝය. අපගේ පැවැත්ම කෙතරම් දුෂ්කර ද මිනිසා විටෙක කෙතරම් බියජනක් ලෙස හැසිරෙයි ද එසේම කෙතරම් මානවීය වියහැකියාවන් ගොන්නක් මිනිසා සතු ද යන්න පිළිබඳ ඔවුහු අපට මතක් කර දෙති. අප ඔවුන්ව නැවතත් කියවමින් ඔවුන්ගේ අදහස් වලින් බිඳක් හෝ උකහා ගත යුත්තේ ඒ නිසාය, අප අඩු වැඩි වශයෙන් සාංදෘෂ්ටිකවාදින් ලෙස ක්‍රියා කිරීමට උත්සාහ දැරිය යුත්තේ ඒ නිසාය.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2018.04.29 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.

 

Comments