Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

මම සාමය ඉල්ලා සිටිමින් යුද්ධය අඳින්නෙක් - හමීඩ් සුලෙයිමාන්


හමීඩ් සුලෙයිමාන් සිරියාවේ උපන් තිස් එක් හැවිරිදි තරුණයෙකි. ඔහු මෙන්ම ඔහුගේ කලා මාධ්‍යත් අපට තරමක් අප්‍රකට කාරණාවන්ය. සිරියාවේ දමස්කස් නගරයේ ඉපිද හැදී වැඩුණ හමීඩ්, තම උපන් භුමියේ නිදහස සහ ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ උස් බලාපොරොත්තු තබා ගෙන සිටි තරුණයන් ගෙන් කෙනෙකි.

ගෘහ නිර්මාණ ශිල්පය හදාරන හමීඩ්, ග්‍රැෆික කලාකරුවෙකු ලෙස දමස්කස් න‍ගරයේ සිය වෘත්තිය ජීවිතය අරඹයි. 2011 දී ආරබි වසන්තය නැඟ ඒමත් සමඟ ඔහු එම සමාජ ක්‍රියාකාරිත්වයට යුහුසුළුව එක් වන අතර, තම නිසඟ කලා හැකියාව භාවිතයට ගනිමින් ග්‍රැ‍ෆික කලා නිර්මාණ ඔස්සේ වධ හිංසා වලට එරෙහි වන අතරම ඒ නිසාම මහජනතාවගේ උද්ඝෝෂණ වලට මාධ්‍ය ආවරණය ලබා ගැනීමට ද ඔහු සමත් වෙයි. ඒ නිසා බෂාර් අල් අසාද් ගේ පාලනය තුළ ඔහු ව කීපවරක්ම අත් අඩංගුවට පත් වන අතර, එම පාලනයට එරෙහිවූ දස දහසක් සෙසු සිරියානුවන් මෙන් සිය ජීවිතය අහිමි වීමේ අවදානමෙන් මිදී ඔහු ප්‍රථමයෙන් ඊජිතුවටත්, අනතුරුව ප්‍රංශයටත් පලා යන අතරතුර වර්තමානයේ ග්‍රැෆික නිර්මාණ කරුවෙක් ලෙස ජර්මනියේ ජිවත්වෙයි.

ඊජිප්තුවේ රැඳී සිටිමින් ඔහුගේ පිටුවහල මාස දහයක් දොළහක් තරම් කෙටි එකක් වනු ඇතැයි අපේක්ෂා කරමින් කල් මරන කාලයේ, සිය කලා හැකියාව යොදා ගනිමින්, සිය ජනතාවගේ සංකීර්ණ ජිවිත, ඔවුන්ගේ අනේක දුක් වේදනාවන් සහ යුද්ධයේ ඇති අමානුෂිකත්වය කියා පෑමට ඔහු Freedom Hospital නම් ග්‍රැෆික නවකතාව නිර්මාණය කිරීම ආරම්භ කළේය. එහි කතාව දිගහැරෙන්න‍ෙ සංකීර්ණ ආකාරයකට සිතුවම් කරන ලද චිත්‍ර සහ දෙබස් මඟිනි. යුද්ධය, භීෂණය, මිනිස් විඳවීම් වැනි සංකීර්ණ සහ සංවේදි කාරණා කියා පෑමට ග්‍රැෆික කලාව යොදා ගනිමින් ඔහු විසින් සම්පාදිත ග්‍රැෆික නවකතාව සැබවින්ම පාඨකයාට නැවුම් ඇත්දැකීමක් වනු ඇත.

මේ 2017 වසරේ www.theguardian.com වෙබ් අඩවිය ඔහු හා සිදු කෙරුණු සංවාද කිහිපයක් ඇසුරෙන් සකස් කොට ගත් සංක්ෂිප්ත සටහනකි.

  • සිරියාව තුළ ගැටුම් ඇතිවුණු පසු ඔබ කොපමණ කාලයක් සිරියාව තුළ රැඳී සිටියාද?

මාස හයක්. මම අරාබි වසන්තය පිළිබඳ ශුභවාදී අපේක්ෂාවන් ඇති කර ගත් ලාබාළ තරුණයන්ගෙන් කෙ‍ෙනක්. මේ වෙද්දී බොහොමයක් දෙනා ඒ පිළිබඳව ඇති විශ්වාසයෙන් ඈත් වෙද්දී, යාථාර්තය මහත්සේ බියජනක වී තිබෙද්දීත් මම තවමත් ඒ සිහිනය දකිනවා.

  • කුමක්ද ඔබගේ ඒ සිහිනය ?

නිදහස සහ සාමය. මෙතරම් විනාශයක් මධ්‍යයේත් මම තවමත් ශුභවාදියි. අරාබි වසන්තය මුල‍ාරම්භයේදී ජනතාව හිතුවා ඒකාධිපති ආණ්ඩුව අහෝසි වෙලා, අපට ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කර ගන්න හැකිවේවි කියා. බටහිර මාධ්‍ය ඇතුළුව අප සියල්ලන්ම, බලාගෙන ගියාම ඒ සම්බන්ධයෙන් අඳ බාලයින්. නමුත් මට හිතෙන්නේ ලෝකයේ මිලිටරි ඒකාධිපතිත්ත්වයේ අවසන් පරිච්ඡේදය අප අත්විඳිමින් ඉන්නවා. එය ලෙයින්, කඳුළින්, ගැටුම්වලින් ලියැවුණු ඉතිහාසයක්, නමුත් එය අවසානයකට ලඟා වේවි.

  • සිරියාවෙන් පලා යාමට බලපෑ ආසන්තම හේතු මොනවාද?

මම ජනතා ව්‍යාපාරයට සහභාගි වුණා, ඒ නිසා තුන්වරක් සිරබාරයට ගැණුනා. එක් රාත්‍රියක්, රාත්‍රීන් දෙකක් සහ සතියක් මට සිරගෙයි ලගින්න සිද්ධ වුණා. ඉන් පසු මා උසාවිය ඉදිරියට කැඳවුවා ත්‍රස්තවාදීන්ට සහය දීමේ වරදට දඬුවම් පමුණුවන්න. ඉතින් මට පලා යන්න සිදු වුණා.

  • එය දුෂ්කර තීරණයක් වුණාද?

මම ඊජිප්තුවට ආවාට පස්සෙ තමයි, මට සහමුලින්ම වැටහු‍ණේ “ මළකෙළියයි මම දැන් එළියේ නේද?” කියලා. Freedom Hospital ලිවීම, මම සිරියාවේ නැවතුණා නම් මොකක්ද සිද්ධ වෙන්නෙ කියන එක පරිකල්පනය කිරීමේ එක් ආකාරයක්. නිතරම මෙවැනි ආකාරයේ ගැටළු මා තුළ පැන නැඟුණා: මම නැවතිය යුතුද? පලා යා යුතුද? අවදානම් තත්වයන් මොනවාද? ඔබ කිසිවක් පිළිබඳ විශ්වාසයෙන් සිටින්නේ නම් ඔබ එය අත්හැර දැමිය යුතුද? පොතේ සෑම ජවනිකාවක්ම එම ගැටළුවලට පිළිතුරු සැපයීමක්. උදාහරණයක් විදියට මම මූලික රූප දර්ශන සහිත යූ ටියුබ් වීඩියෝ සිතුවමට නැඟුවා. ඒ මම සිරියාවෙන් පිටත සිටියදී, මට සම්බන්ධකම් පැවැත්විය නොහැකි මගේ මිතුරන්ට සහ අසල්වාසීන්ට ෂෙල්වෙඩි සහ බෝම්බ ප්‍රහාර එල්ල කළ සැටි දැක්වෙන දර්ශන.


  • Freedom Hospital, එය ඔබේ පළමු ග්‍රැෆික නවකතාව. ඔබ අනුප්‍රාණය ලැබුවේ ප්‍රංශ විකට චිත්‍ර කලා සංස්කෘතියෙන්ද?

ඇත්තෙන්ම එය තමයි ප්‍රධාන හේතුව මා ප්‍රංශයට එන්න. මම මේ කෘතිය පිළිබඳ වැඩ කටයුතු ආරම්භ කළේ කයිරෝ නුවර සිටියදි. මට ප්‍රංශයේ විකට චිත්‍ර කලාව(comics) පිළිබද වැඩිදුර අධ්‍යයනය කරන්න ඕනෑ වුනා. මම කුඩා කාලයේ චිත්‍රකතා වලට ඉතාමත් ආශා කළා. ඒත් මේ කලාව සිරියාවෙ එතරම් ප්‍රසිද්ධ කලා මාධ්‍යක් නොවෙයි. ඒ නිසාම එවැනි කෘතියක් කරන්නෙ කොහොමද කියන එක හරි හැටි අවබෝධයක් තිබුනේ නැහැ. මෙය අවසාන කරන්න මට අවුරුදු හතරක් ගතවුණා.

  • අවරියා, Freedom Hospital කෘතියේ එන ප්‍රබන්ධමය නගරය, විටෙක එය සමස්ත සිරියාවේ ක්ෂුද්‍ර නිරූපණයක්. එහි සිටිනවා විඥානවාදීන්, නිදහස් සටන්කාමීන්, අසාද්ගේ ආණ්ඩුවට පක්ෂාපාතීන් සහ ISIS සටන්කරුවන්. කෘතිය තුළින් සමස්ත ගැටුම ම කැටි කොට දැක්වීමට ද ඔබ උත්සාහ කළේ?

මම වැඩිමනත් ලෙස උත්සාහ කලේ මා වෙනුවෙන් දේවල් තේරුම් ගන්න. ඔබ ගැටුමක් තුළ සිටින විටදි ඔබට බැහැ වෙනත් දැක්මක් තේරුම් ගන්න. එය හරියට පාපන්දු ක්‍රීඩකයෙක් වගේ, ඔබ පිට්ටනිය තුළ සිටින විට ඔබට තේරුම් ගන්න බැහැ අවට සිද්ධ වෙන්නේ කුමක්ද කියන එක. ඔබ ක්‍රීඩා කරනවා විතරයි. සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා ඇත්තටම තේරුම් යන්නේ ක්‍රීඩාව අවසන් වුණාමයි.

සිරියාව තුළ ඇති ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වෙන්න මම තොරා ගත්තේ සරල සෘජු ක්‍රමයක්, ඒ තමයි එය ඒ ආකාරයෙන් පෙන්වීම. මම පෙන්වුයේ යූ ටියුබ් එකේ තියෙන දර්ශන විතරක් නොවෙයි, අනික මේක සිද්ධ වුනේ වෙනත් ග්‍රහලෝකයක නොවෙයි. එය ඇත්තටම සිද්ධ වෙමින් පවතිනවා හැමදාම. අනික සිරියාවේ විතරක් නොවෙයි, රටවල් ගණනාවක.

  • මෙය ඔබගේ ප්‍රථම නවකතාව ‍කියා ඔබ ඔබට ලේසියක් දෙන්නේ නැහැ, ප්‍රධාන චරිත 14 කින් යුත්, ඒ එකිනෙකා, අධිකතර සංකීර්ණත්වයක් සහිත සිරියානු සමාජ යාථාර්තය පිළිඹිබු කරන, හඬ කිහිපයකින් දිගහැරෙන කතාවක් සහිත නිර්මාණයක්. ඔබගේ නවකතාවේ ප්‍රධාන චරිතය කුමක්ද? ‘නිදහසේ ගිලන්හලද’?

පොදුවේ යුරෝපය තුළ, චිත්‍රකතා පොත්වල පමණක් නොව, බොහෝ කතාන්දරවල පෙරමුණ ගන්නා එක චරිතයක් ඉන්නවා. එය තනි පුද්ගල ජිවිත කේන්ද්‍ර කොට ගත් යුරෝපීය ජිවන රටාව නිසා බිහිවුවක්. නමුත් අරාබි ලෝකයේ ස්ථාන තමයි සැබෑ විරයින්. මට අනුව ‘නිදහසේ ගිලන් හල’ සැබෑම වීරයෙක්. නගීබ් මහ්ෆුස්( Naguib Mahfouz), අරාබි ලේඛකයින‍් අතුරින් සාහිත්‍ය සඳහා වන නෝබල් සම්මානය දිනු පළමු ලේඛකයා, ඔහුගේත් සියලුම කෘති මේ වගෙයි.

  • Freedom Hospital කෘතියේ එන එක් විස්මිත චරිතයක් තමයි සලීම්. ඔහුගේ කතාවේ මුලාරම්භයේදී ඔහු අසාද් පාලනයේ රහස් ඒජන්තයෙක්, අනතුරුව ඔහු නිදහස් සිරියානු සටන්කාමි හමුදාව හා එක්වෙනවා. අන්තිමේ ඔහු නවතින්නේ අන්තවාදි මුස්ලිම්වරයෙක් වෙලා. ඔබ හිතනවාද ඔහුගේ පුද්ගලික ජිවිතෙයේ දිශානතීන් සිරියාවේ ජන ජිවිතය සංකේතවත් කරනවා කියලා?

සලීම් කියන්‍නේ Freedom Hospital කෘතියේ දිග හැරෙන කතාන්දරය තේරුම් ගැනීම සඳහා ඇති සැබෑ යතුරයි, ඒ ඔහු නිතරම සිය ගමනේ දිශානතිය තීරණය කරන්නේ සමාජය තුළ පවතින සාමුහික උපවිඥාණයට අනුව නිසයි. ඔහු අසාද් පාලන කාලයේ අසාද්ගේ රහස් ඒජන්තයෙක්, ඔහු කැරළිකරුවන් හා ගැවසෙන විට ඔහු ද කැරළිකරුවකු බවට පත්වෙනවා. ඉස්ලාම්වරුන් අතරේ සිටින විට ඔහු අන්තගාමි මුස්ලිම්වරයෙක්. මට ඕනෑ වුනේ, ඔබ මත ඇති වන පීඩනය සහ වියවුල් භාවය කෙතරම්ද, ඔබ කවරෙකු ලෙස ඉපදුනත්, ඔබගේ අධ්‍යාපනය සහ ඔබ වටා සිටින මිනිසුන් ඔබ ගන්නා තීරණ වලට කෙතරම් බලපානවාද කියන එක පෙන්වා දෙන්න.

  • Freedom Hospital කෘතියේ එන චරිතයක් වන යස්මින් ප්‍රථමයෙන් අසාද් ව බලයෙන් නෙරපා දැමිය හැකි බව විශ්වාස කරනවා. නමුත් අවසානයෙදී ඇය ශුභවාදයේ සිට ‘යථාර්තවාදය’ නම් දැක්ම වෙත හැරෙනවා. එනම් ඇය විශ්වාස කරන්න පටන් ගන්නවා එම ඒකාධිපති ආණ්ඩුව කවදාවත් බලයෙන් පහ කිරීම දකින්නට නොලැබෙන බව. ඔබත් ඇයගේ මතය හා එකඟ වෙනවාද?

අප ආරාබි වසන්තයේ ජනතාව, අප සිහින දකින්නන්, අප වීදිවලට බැස්සේ සහ නිදහස සහ විප්ලවය වෙනුවෙන්. හඬගෑවේ අපි මැරෙන්නත් ඉඩ තියෙන බව දැන දැන. ජ්‍යේෂඨ අසාද් ගේ පාලන කාලය තුළ ඉපදිලා, කනිෂ්ඨ අසාද් ගේ පාලනය තුළ අපට ජීවත් වීමට සිදුවීම, විය නොහැක්කක් ලෙසයි අප දැක්කෙ. ඒ තල්ලුව අප තුළ තිබුණා. ඔබ කැරළිකරුවෙක් ලෙස ජිවිතය ආරම්භ කරන්නේ නම් අනිවාර්යෙන්ම ඔබ සිහින දකින්නෙක් ද විය යුතුයි.


  • යස්මින් වැනි විඥානවාදී තරුණ කාන්තාවක් අසාද් සහ මුස්ලිම් අන්තවාදින් අතර සිරවී රහස් රෝහලක් පවත්වාගෙන යන අතරේ ඔවුනට තේරුම් යනවා යුද්ධයෙන් බැහැරව ඔවුනට පවතින්න බැහැ කියන එක..

මේ මොහොතේ සිරියවේ සිටින කිසිවකුට කියන්න බැහැ යුද්ධයත් එක්ක ඔවුන්ගේ කිසිම සබඳකමක් නැහැ කියලා. ‘නිදහසේ ගිලන් හල’ කියන්නෙ සිවිල් යුද්ධයට පැටලී සිටින පුරවැසියන් පිරිසකගේ සැදුම් ලක් කුඩා සමාජයක කතාව. ඔවුනට යුද්ධයට පැටළිමට කිසිම උවමානවක් නැහැ. නමුත් ඔබ යුද්ධයකට මැදිව සිටින්නේ නම් ඔබත් එහි කොටසක් බවට පත්වෙනවා. ඉන් මිදීමට විදිහක් නැහැ. අවසානයේදී යස්මින් එය අවබෝධ කරගන්නවා.

  • ඔබ පාඨකයාට කිසියම් අධ්‍යාපනයක් ලබා දෙන්න විශාල පරිශ්‍රමයක යෙදෙන බව පේනවා. අවි ආයුධ කොහෙන්ද එන්නෙ කියන දේවල්?

මම සාමය ඉල්ලා සිටිමින් යුද්ධය අඳින්නෙක්. ඔව්, මම හිතන්නෙ යුද්ධය, අවි ගනුදෙනු හා හොඳින්ම සම්බන්ධයි. සියයට අසූවක් ම අවි ආයුධ එන්නෙ රුසියාවෙන්, සියයට දාසයක් ඇමරිකාවෙන් සහ අනෙක් සියයට පහ ලෝකෙ සෙසු රටවලින්. මේ දේවල් මේ ආකාරයෙන් සිදු වෙද්දි බටහිර රටවල් මුළුමනින්ම යුද්ධයට විරුද්ධ බවක් පෙන්වනවා. ඔවුන් යුධ ටැංකි සහ තුවක්කු ජනතාවට දීලා, ඒවා පාවිච්චි කරද්දි ඔවුන් අශිෂ්ඨයි කියනවා.

  • දුරස්ථබව නිතරම හිතකර සාධකයක් නොවෙයි. ලෝකයේ සෙසු ජනතාවට සිරියාවේ ගැටුම විශ්මයජනක ලෙස වියවුල් සහගත දෙයක්

සිරියාවේ ඇතුළෙත් එය වියවුල් සහගතයි තමයි. එක් එක් ස්ථානයන් තුළ පවතින්නේ වෙනස් ආකාරයේ තත්වයන්. එක් වීදියක ජනතාව සාගතයෙන් මියැදෙන අතරවාරේ ඊළඟ මාවතේ ජීවත් වෙන මිනිසුන් නැවතිලා ඉන්නේ තරු පහේ හෝටල් වල. මට එතරම් විෂය මූලික වෙන්න ඕනෙ නැහැ, මට ඕනෑ වුණේ තේරුම් ගන්න සහ අනෙකාගේ භාෂාවෙන් කතා කරන්න. ඇයි මේ පුද්ගලයා මේ දේ ගැන විශ්වාසය තබන්නේ, ඇයි එකම සන්නිවේදන මාධ්‍යය ලෙස ප්‍රචණ්ඩත්වය රජකරන්නෙ? ඒ නිසයි මම දුෂ්ඨයින් සහ වීරයන් ප්‍රතිනිර්මාණය නොකරන්නෙ. උදාරණයක් ලෙස ඉස්ලාම් රාජ්‍යයේ සාමාජිකයින්, පවතින තත්වය අනුගමනය කරනවා විතරයි.

  • සැබෑ ලෙසම ඔබට Isis සාමාජිකයින්ට අනුකම්පා කළ හැකිද?

සත්තකින්ම. ඔවුන් ගොදුරු බවට පත්වෙලා. යුද්ධයට සහභාගි වෙන සියළුම සොල්දාදුවන් ගොදුරු තමයි. මම වරප්‍රසාද ලද්දෙක්. මම ඉගෙනගත්තා, මම වෙනත් භාෂා කතා කරනවා, මම එළියට යන්න පාර හොයා ගත්තා. මධ්‍යම පාන්තිකයන් කියන්නෙ අපේ රටේ සුළුතරය. බොහොමයක් සිරියානුවන්ට පාසල් යන්නවත් අවකාශයක් නැහැ. ඉතින් ඔවුන්ට කරන්න ඉති‍රි වෙලා තියෙන එකම දේ යුද්ධ කරන එක. ඔබව ආරක්ෂා කරන්නෙත්, ඔබට මුදල් දෙන්නෙත් ඒ අන්තවාදී කණ්ඩායම් තමයි. සාමාන්‍ය ජනතාව එවැනි තැනකින් කෙළවර වෙන එක හරිම සාමාන්‍යයි. මේක තමයි මුළු ලෝකයක් වගකිව යුතු සිරියාවේ පවතින වාතාවරණය.



  • මේ පොත පිරිනමා තිබෙන්නෙ හසම් කයාත් කියන, සිරියාවෙදි සිරගත කරනු ලැබ, වධ බන්ධනයට ලක් වීම නිසා මිය ගිය ඔබගේ මිතුරෙකුට. ඔහු ගැන යමක් කියනවා නම්?

ඔහු 2005 වසරේ සිට, සිරියාවේ මා ගත කළ අවසාන දවස් දක්වා මට ඉතා සමීපව සිටි මිතුරෙක්. මම සිරියාවෙන් පලා ගියාටත් පසු අප ස්කයිප් හරහා කතා බහ කළා. ඔහු ආශාවෙන් බලා සිටියා මගේ පොත කියවන්න. ඔහුත් සිහින දකින්නෙක්. කවදාවත් ඇද වැටුණේ නැහැ, හැමදාම ශක්තිමත්ව හිටියා. ඔහු සිය අධ්‍යයන කටයුතු අවසන් කරමින් සිටියෙ, උපාධිය දිනා ගෙන රටින් පිට වෙන්න බොහොම සුළු කාලයයි තිබුණේ. එ් අතරවාරේ ඔහුව අත්අඩංගුවට අරගෙන. සතියකට පස්සේ එයාගේ අම්මට පණිවුඩයක් ලැබිලා තියෙනවා එයාගේ ප්‍රාණය නිරුද්ධ සිරුර අරෙගන යන්න කියලා.

  • ඔබට තවමත් සිරියාවේ මිතුරන් හෝ නෑදැයින් සිටිනවාද?

බොහෝම අතලොස්සයි. ආණ්ඩුව හිතනවා සිරියාවේ රැඳී සිටින අය ඔවුන්ගේ දේශප්‍රේමී යුතුකම ඉටු කරමින් ආණ්ඩුව වෙනුවෙන් සටන් කළ යුතුයි කියලා, මුස්ලිම් අන්තවාදීන් හිතනවා ඔවුන් අල්ලා දෙවියන් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් සටන් වැදිය යුතුයි කියලා. ඔවුන් හැම පැත්තකින්ම ගොදුරු බවට පත් වෙලා. දමස්කස් වල ඉන්න මගේ මිතුරෙක් මෑතකදී මට කිව්වා දැන් වීදිවල දකින්න ඉන්නෙ සොල්දාදුවන් විතරයි කියලා.

  • ඇයි ඔබ ග්‍රැෆික නවකතා මාධ්‍ය ‍තොරා ගත්තෙ?

මුලින්ම කියන්න ඕනෙ, එසේ කළේ ආර් ථික වාසි නිසා. ග්‍රැ‍ෆික මාධ්‍ය ඇසුරු කොට ගෙන, සජිවී බවක් ඇතිව ඔබටම කතාවක් කියන්න පුළුවන්, නිෂ්පාදන කණ්ඩායමකගේ සහය නැතිව. ඒවගේම අනෙක් සංස්කෘතීන් හා සම්මුඛ විමේදී සහ සන්නිවේදන අත්දැකීමේදි, විශේෂයෙන් මෙවැනි සංජානනය කළ නොහැකි තරම් කටුක තත්වයන් තුළදී ග්‍රැෆික නවකතාව හොඳ මාධ්‍යක්ය යන්න මම තේරුම් ගත්තා.

  • සිරියාවේ යුද්ධය නැවතුණේ නම් ඔබට ආපසු යන්න අවශ්‍ය වේවිද? නැතිනම් යුරෝපය ඔබගේ ගෙදර කියා ඔබට දැනෙනවාද?

ඇත්තටම සාමය පවතිනවා නම් මම කැමතියි ආපසු යන්න. ඔබ ඔබේ ගෙදර හැරදා ආපුවම, වෙන කොහේදිවත්, එය ඔබට ඔබෙ ගෙදරයි කියලා දැනෙන්නේ නැහැ ආයෙත්. ඒත් මම යුරෝපිය විදියට ඉගෙන ගත්තෙ, ඒ නිසා මම මෙහෙ හිටියා කියලා මම කොහෙත්ම විඳවන්නේ නැහැ. ඇත්තෙන්ම කිව්වොත් දැඩි මතධාරී සමාජයකට වඩා මට යුරෝපයේ ජීවත් වීම පහසුවෙයි. මම ආරාබි වසන්තයේ ජන ව්‍යාපාරයට සහය දුන්නෙත් මට මගේ රට තුළම, එනම් ආගමික ආයතන සහ රහස් පොලිස් පද්ධතිය පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට අනවශ්‍ය ලෙස හොම්බ දමන පුරුෂ මූලික සමාජයක් ඇති රටක, පිටුවහල් ව සිටි බවක් හැගුණ නිසා.



  • අපට කියනවද හවල්, එනම් බළලෙකුගේ පිහිටෙන් ස්විට්සර්ලන්තයට යන්න අවස්ථාවක් උදා කර ගත්ත කුර් දි තරුණයා ගැන.. එය මම හිතන්නෙ සත්‍ය කතාවත් පදනම් වුවක්?

ඔව්. මගේ යාළුවෙක් තාත්තෙකුට ඕනෑ වුනා ස්විට්සර්ලන්තයේ සිටින එයාගේ දුවව බලන්න යන්න වීසා බලපත්‍රයක් ගන්න. යුද්ධය ආරම්භ වීමටත් කලින් පවා ඔහුට එම අවසරය ලැබුණේ නැහැ. යුද්ධය ආරම්භ වීමෙන් අනතුරුව ඔහුගේ දියණිය කෙසේ හෝ විසඳුමක් සොයා ගන්නා බව කියා සිටියා. ඇය සොයා ගත් විසඳුමක් තමයි බල්ලෙකු යොදා ගනිමින් ස්වට්සර්ලන්තයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටීමයි. බල්ලා ගේ අයිතිකරු බව එම පියා පත්වී ඒ මාර්ගයෙන් ඔහු එම රටට ඇතුළු වීමට අවසර පත්‍රය ලබා ගත්තා, මොකද ඒ බල්ලාට ස්විට්සර්ලන්ක ගමන් බලපත්‍රයක් හිමි විමයි. අන්තිමේදි ඔහුට සිය දියණිය දැක බලා ගැනීමේ වරය උදා වුණා.

  • ආරාබි වසන්තය සිදු වුනේ 2011දි. සිරියානුවෙක් විදියට ඔබ තවමත් සිහින දකිනවද?

ඔබට පුළුවන් නිතරම සිහින දකින්න! එය කාටවත් තහනම් කරන්න බැහැ. එය ඇරඹුණේ විප්ලවයක් විදියට, දැන් එය හැම එකාම අතපොවන මහා අර්බූදයක් වෙලා. විවිධ ජනතාවට තියෙන්නෙ විවිධ දැක්ම, සමහර අය ඉස්ලාම් මිලීෂියාවක් ගැන සිහින මැව්වා. දශක ගණනාවක් තිස‍්සේ ඔවුනට ඒක ගියා ගන්න බැරිව හිටියේ. දැන් ඒක පිපිරුණා. මේ සේරම අස්සේ මම තවමත් ශුභවාදියි. මේ දේවල් සේරම උනාට පස්සේත් අපට ප්‍රජාතන්ත්‍රවාදය අත්පත් කර ගන්න බැරි නැහැ, නිදහස උදා කර ගන්න බැරි නැහැ. මේ ලෝකෙ සෑම යුද්ධෙකටම අවසානයක් තිබුණා. සදාකාලිව පවතින යුද්ධ මේ ලෝකෙ නැහැ.

✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2018.01.28  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.




Comments