- ඔබ දැන් සෑම පොතක්ම ලියන්න පටන් ගන්නෙ The House of the Spirits ලිවීම ආරම්භ කළ දවසේමයි. ඒ ඇයි?
-
නිතරම පාහේ ඔබේ මනස තුළ අලුත් පොතක් ගැන අදහසක් තියෙනවාද?
නිතරම වාගේ - ඒත් බොහොම අපැහැදිලිව. මට කවදාවත් පිටපතක් තිබුණේ නැහැ.
මම පර්යේෂණ කරපු ස්ථානයක් සහ කාල වකවානුවක් මට තියෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, මම වසර දෙසීයකට ඉහතදී සිදුවුණ හයිටි වහලුන්‍ගේ කැරුල්ල ගැන කතාවක්
ලියද්දී, මම ඒ සිදුවීම ගැන අධ්‍යයනය කරලා තිබුණා, ඒත් මට චරිතවත්,
කතාවක්වත් අවසානයක් වත් තිබුණෙ නැහැ.
බොහෝ විට මම පරිඝණකය ඉස්සරහ ඉඳ ගෙන පොතේ පළමු වැකිය මම මගේ බඩවැල් ඇතුළෙන් එළියට ඇදලා දානවා. ඒක
තමයි මගේ කතාව ආරම්භක වැකිය, එතැනින් පස්සෙ මම මුකුත්ම දන්නෙ නැහැ.
- එතැනින් පස්සේ කොහොමද ඔබ ලීවීම ඉදිරියට කරගෙන යන්නෙ?
සෙමින්. පළමු සති කිහිපය ඉතාමත් දරුණුයි, මොකද ඒ වෙද්දි මම කතාවේ ආඛ්‍යානය, එහි ස්වරය හෝ පිළිවෙල ගැන කිසිම අදහසක් මට නැති නිසා. ලියපු කඩදාසි
සේරම කුණු කූඩෙට දාන්න වෙයි කියන එක මට මතක් වුණාම මම බයෙන් ගැස්සෙනවා. ඒත් ඒක
පුහුණුවක්: මට ඕනෑ කිසියම් ස්වරූපයකට ඇතුළු වෙන්න. සති කිහිපයක් ගෙවුණු තැන චරිත
මතු වෙලා ඔවුන්ගේ කතාව මට කියන්න පටන් ගන්නවා. එතකොටයි මට දැනෙන්නෙ ඔන්න මම දැන්
හරි මාවතට වැටිලයි කියලා.
- ඔබ කියු ආකාරයට නිවැරදි මාවත එළි පෙහෙළි වීමට කල් ගත වුවහොත් මොනවද ඔබ කරන්නෙ?
සමහර වෙලාවට මට හිතෙනවා මම ඒ කතාව ලියන එකක් නැහැ කියලා. ඒත් මම අත් හරින්නේ නැතුව දිගටම ලිව්වාම, කොයි වෙලාවක හෝ ඒක සිදු වෙනවා. මම පුහුණු වුණා මගේ හැකියාවන් ගැන විශ්වාසය තබන්න, ඒත් ඒකට ලොකු කාලයක් ගතවුණා. මුලින් මම හිතන්න පුරුදු වුණා මගේ සෑම පොතක්ම කියන්නේ දිව්‍යලෝකයෙන් ලැබෙන තිළිණයක් කියලා, එය නැවත නැවත සිදු වෙන එකක් නැහැ කියලා- ඒත් දැන්, අවුරුදු 35ක කාලයක ලිවීමකින් පස්සෙ මම තේරුම් ගත්තා, මම කිසියම් විෂයයක් පිළිබඳ අධ්‍යයනය කළොත් සහ ඒ වෙනුවෙන් කාලය වැය කළහොත් මට ඕනෑම දෙයක් ලියන්න පුළුවන් කියලා. එම හැඟීම මට ආත්ම විශ්වාසය ලබා දෙනවා. ඒ නිසා මට සැහැල්ලුවෙන් ලිවීමේ ක්‍රියාවලිය ඇතුළෙ සතුටක් ලබන්න පුළුවන්.
- ඔබ ඔබව දකින්නේ සහජ කතා කියන්නියක් විදියට. ඔබ හිතන්නෙ කුසලතාව ද
පුහුණුවද වඩා වැදගත් කියලා?
මම විද්‍යාල කිහිපයකම නිර්මාණාත්මක ලේඛණය පිළිබඳ ඉගැන්වීම් කරලා තියෙනවා. මට පුළුවන් ඔවුනට ලියන්නෙ කොහොමද කියලා උගන්වන්න, ඒත් මට බැහැ ඔවුනට කතා ගොතන්නෙ කොහොමද කියලා කියා දෙන්න. කතා ගෙතීම හරියට අපි සංගීතයට දක්වන හැකියාව වගේ තමයි. ඔබට එය පිහිටලා තියෙනවා, නැත්නම් නැහැ. මොනවද කියන්න ඕනෙ, මොනවද නොකියා ඉන්න ඕනෙ, කොහොමද තාවකාලික අවිනිශ්චිතතාවක් නිර්මාණය කරන්නෙ, සහ කොහොමද ත්‍රිත්ව පැති මානයන් සහිත චරිත ගොඩනඟන්නෙ මෙන්ම භාෂාව නිවැරදිව භාවිතා කරන්නෙ යන කාරණා සම්බන්ධයෙන් ඔබව මෙහෙයවන සහජ හැකියාවක් එය. මම හිතන්නෙ එය ඔබට උපතින් ලැබෙන්න ඕනෙ දෙයක්. මට ලැබිලා තියෙනවා, අනිත් හැම කෙනෙකුටම නැති කතා කීමේ ජානයක්. නමුත් ලිවීමේ හැකියාවක් මට තිබුනෙ නැහැ. මට කතාන්දරයක් කටින් කිමේ හැකියාව තිබුණා, නමුත් ලියන්න දැන ගෙන හිටියේ නැහැ. ඒත් කාලයත් එක්ක මම පුහුණුව සහ වැඩ කිරිම තුළින් එම හැකියාව අත්පත් කරගත්තා. මේ මෑතකදි තමයි මට තේරුම් ගියේ ඒ හැකියාවත් මට දැන් තියෙනවා කියලා.
- අවුරුදු 39 දි ලේඛිකාවක් වීමට ප්‍රථම ඔබ පුවත්පත්කලාවේදිනියක්, රූපවාහිනී නිවේදිකාවක් සහ පාසල් පරිපාලිකාවක්. ඔබව නැවත සොයා යාමේ ක්‍රියාවලිය
පිළිබඳ යමක් කීවොත්?
මම හිතන්නෙ නැහැ මම තෝරාගැනීමක් සිදු කළා කියලා. මම කවදාවත් කිව්වෙ නැහැ ‘මම ලේඛිකාවක් වෙන්න යනවා’ කියලා. එය ඉබේම සිදු වුනා. චිලී වල සිදුවුණ හමුදා ආක්‍රමණය නිසා, මම වෙනිසියුලාවේ ජීවත්වුණා දේශපාලන සරණාගතයෙක් හැටියට. එහිදි මට පුවත්පත් කලාවේදිනියක් විදියට රැකියාවක් සොයා ගන්න බැරි වුණා. මම කාලයක් පාසලක වැඩ කරමින් හිටියා, ඒ අතර මට දැනෙන්න වුණා, මා ඇතුළෙ කතාන්දර ගොඩක් තියෙනවා, නමුත් ඒවා එළි දක්වන්න විදියක් නැහැ කියන එක. ඒ අතරතුර මට 1981 ජනවාරි 08 වැනිදා දුරකතන ඇමතුමක් එනවා, චිලී වල ජීවත් වන මගේ සීයාට හොඳටම අසාධ්‍යයි කියලා, ඒත් මට ඔහුට සමු දෙන්න යන්න විදියක් තිබුණේ නැහැ. ඉතින් මම ඔහුට ලිපියක් ලියන්න පටන් ගත්තා, මගේ මතකයේ රැඳුණු ඔහු මට කියූ සියල්ලම සිහියට නඟා ගනිමින්. ඔහු ඉතාමත් විශිෂ්ඨ කතා කියන්නෙක්. ඔහු මිය ගියා- ඔහුට කවදාවත් ඒ ලිපිය කියවන්න ලැබුණේ නැහැ - නමුත් මම මගේ වැඩ ඉවර වෙලා සෑම රාත්‍රියකම මුළු තැන් ගෙට වෙලා දිගටම ලිව්වා, අවුරුද්දකට පස්සෙ, පිටු 500 සහිත පැහැදිලිවම ලිපියක් කියලා කියන්න නොහැකි යමක් මා අත ඉතිරි වෙලා තිබුණා. එය තමයි The House of the Spirits බවට පත් වුණේ. පොත මුද්‍රණයෙන් පිට වුණා, එය ඉතා විශාල සාර්ථකත්වයක් අත් පත් කර ගත්තා, අනතුරුව එය අනෙක් නිර්මාණ වලට පාර කිව්වා. ඒත් මම මගේ රැකියාවෙන් එකපාරටම අයින් වුනේ නැහැ මොකද ලියන එක මගේ ජිවිකාව කියලා මට දැනුනෙ නැති නිසා. ඒක හරියට වාසනාව නිසා සිදුවුණ ආශ්චර්යයක් වගේ දැනෙන්නෙ.
- අවසානයෙදී ඔබගේ අලුත් වෘත්තිය තුළ ඔබ සුරක්ෂිතයි කියලා ඔබ හිතන්න
පෙළඹුනේ කොහොමද?
මට චෙක් පත් ලැබෙන්න පටන් ගත්තා. මගේ පොත් වෙනත් භාෂා 35 කට විතර පරිවර්තනය වුණා. ඒවා උණු උණු කැවුම් වගේ විකිණුනා. මම තේරුම් ගත්තා මට දිගටම ලියන්න පුළුවන් වගේම ඉන් මගේ පවුලට උදව් කරන්නත් පුළුවන් කියලා.
- ඔබට කවදාක හෝ දැනී තිබෙනවා ද ඔබගේ වඩාත් ජනප්‍රසාදයට පත් වුණු කෘති අත්පත් කරගත් සාර්ථකත්වය පසුපස ඔබ හඹා යනවා කියලා?
මගේ නියෝජිතවරිය කාර්මන් බැල්සෙල්ස් - මම ලියපු හැම පොතකම දිව්‍යමය භාරකාරිය, ඇය අවාසනාවන්ත ලෙස මෑතකදී ජීවිතයෙන් සමු ගත්තා - ඇය The House of the Spirits පොතේ අත් පිටපත කියවා ස්පාඤ්ඤයේ සිට මට දුරකතන ඇමතුමක් දුන්නා. මම ඒ වෙද්දිත් ජීවත් වුණේ වෙනිසියුලාවෙ. ඇය මට මෙහෙම කිව්වා. “ ඕනෙම කෙනෙකුට පළමු පොත හොඳට ලියන්න පුළුවන් මොකද ඔවුන් සතු සියල්ල - ඔවුන්ගේ අතීතය, මතකයන්, අපේක්ෂාවන් වගේ හැම දේම - එයට එක් කරනවා. ලේඛකයාගේ සමත්කම් නිශ්චය වෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ දෙවැනි කෘතියෙන්” ඉතින් මම ඊළඟ වසරේ ජනවාරි අට වැනිදා මගේ දෙවැනි කෘතිය ආරම්භ කළා, මම කවදාවත් නොදුටු මගේ මේ ඒජන්තවරියට ඔප්පු කරලා පෙන්වන්න මට ලේඛිකාවක් වෙන්න පුළුවන් කියලා. The House of the Spirits සියළුම සාර්ථකත්වයන් අත්පත් කරගත්තෙ යුරෝපයෙදි, නමුත් ඒ වෙද්දි මම මගේ දෙවැනි කෘතියත් ලියා අවසන් කර තිබුණා. හැම පොතක්ම වෙනස් විදියකට කියැවෙන වෙනස් ආකාරයේ අභියෝගයක්. මම ලිව්වා චරිතාපදාන, ඓතිහාසික නවකතා, ප්‍රබන්ධ, යොවුන් නවකතා මෙන්ම ත්‍රාසජනක කතාත් මම ලිව්වා. මම කවදාවත් සන්සන්දනය කළේ වත්, ‘ මෙය The House of the Spirits වලට වඩා හොඳ ද නරක ද’ කියලා මම ඇහුවේ නැහැ. හැම පොතක්ම කිසියම් ආකාරයක පිළි ගැන්වීමක්. එය මම මේසය මත තබා බලා ඉන්නවා කවුරුන් එය පිළිගනීවිද කියලා.
- ඔබ පෝලා නිර්මාණය කළේ ඔබගේ දියණියගේ මරණය සම්බන්ධයෙන් වන සිහිවටන සටහනක් විදියට. The House of the Spirits ඔබ ලීවේ මිය යමින් සිටි ඔබගේ සීයාට ලියන ලියමනක් විදියට. ඔබගේ ලිවීමේ කාර්යය උදව්වක් වුනා ද එම ශෝකීජනක තත්වයන් ගෙන් මිදීමට?
එය එක්තරා සුවපත් වීමක්. The House of the Spirits කියන්නෙ මම පිටුවහල් ජීවිතය ගත කළ ඒ ලෝකයෙන් ගොඩ එන්න දරපු වෑයමක් - මම හිතන්නෙ මම එය කළා. එය එම කෘතිය තුළ සැමදා පවතිනවා. මගේ දියණිය මිය ගියාට පසු හැම දේම අඳුරු වුණා. මගේ ජීවිතයේ තිබුණු හැම වර්ණයක් ම මගෙන් පලා ගියා. මගේ හැම දවසක්ම එක වගේ වුණා. ඇය අවුරුද්දක් විතරම හිටියේ කෝමා තත්වයේ, මම ඇයව ගෙදර තියා ගෙන රැකබලා ගත්තා. මාසෙකට පස්සෙ මගෙ අම්මා මට ආපසු දුන්නා, ඒ වසර පුරා මම ඇයට යැවූ ලිපි 180ක්. ඉන් පසු මම ආයෙත් ලියන්න පටන් ගත්තා. එය ඉතාමත් වේදනාකාරයි, ඒ වගේම සුවපත් කරවන සුළුයි, මොකද මට පුළුවන් වුණා මොකක්ද සිදුවුනේ කියලා ඒ පත් ඉරුමත සටහන් කරන්න, ඉන් මට ඉඩ ලැබෙනවා මා අවට නැවතත් දකින්න. මගේ මුණුබුරන් ඉපදුණා. මට හිටියා මට ආදරය කළ ස්වාමිපුරුෂයෙක්. හැම තැනම තිබුණේ ජීවිතය.
- ඔබ හරිම පහසුවෙන් ඔබගේ පෞද්ගලික ජීවිතය අනිත් අය හා බෙදා ගන්නවා..
මම පෝලා ලියද්දි මගේ අම්මා මට කිව්වා “ ඔයා ඔයාගේ ජීවිතයේ සැඟවුණු ගොඩාක් දේ ගැන ලියලා තියෙනවා, ඔයා ඒ නිසා ලේසියෙන්ම අනිත් අයගේ විවේචනනයට ලක් විය හැකියි කියලා. මම ඇයට කිව්වෙ, “අම්මේ, විවෙචනයට ලක් වෙන්නෙ මම ඇත්ත කියන නිසා නෙවෙයි, මම හංඟගෙන ඉන්න රහස් නිසා” කියලා. මගේ ජීවිතයේ අනික් කිසිම කෙනෙක් ගෙන් වෙනස් නැහැ. මම තව කෙනෙක් එක්ක කියන්න බැරි තරම් අසැබි කිසිම දෙයක් කරලා මම නැහැ. මම මගේ ජීවිතය අනික් අය එක්ක බෙදා ගනිද්දි ඒ අයත් එයලාගේ ජිවිතය ගැන මට කියනවා. එය කතාන්දර සහ හැඟීම් හුවමාරුවක්.
- ඔබ කීවා ඔබේ පොත් බොහොමයක්
විදෙස් රටවල පළ වෙලා තියෙනවා කියලා. ඔබගේ කෘති වෙනස් සංස්කෘතින් තුළ කිසියම් දෝංකාරයක් නඟන බව ඔබ ඇයි හිතන්නෙ?
අපි මිනිසුන් ගේ වෙනස්කම් කියලා හැම විටම අවධානය යොමු කරන්නෙ හමේ පාට, සංස්කෘතිය, භාෂාව, ජාතිය වගේ දේවල් වෙත. ඒත් ලෝකෙ ජීවත් වන මිනිසුන් එකිනෙකා හරි සමානයි. ඔවුන් බය වෙන්නෙ එක වගේ දේවල් වලට, ඔවුන්ගේ අවශ්‍යතාත් එක වගේ. ඇතුළතින් ඔවුන්ගේ මුලාරම්භය එක සමානයි, එකම මනස, එකම සිහින. ඒ නිසා සාන්ත ප්‍රැන්සිස්කො වල දිගහැරෙන කතාන්දරයක් තුර්කියෙ දි අනුනාද නඟන්නෙ ඒ නිසයි.
- ඔබ නිතරම වැඩ කිරිම වෙනුවෙන් කැප වුණු කෙනෙක් බව කීවා. ඒ ඇයි?
ඒ මට මටම අත්වැලක් වෙන්න ඕනෑ වු නිසා. මගේ ජීවිතය වෙනස් කළ එක් සාධකයක් තමයි මගේ අම්මා විනාශයට පත් වුණු කෙනෙක් හැටියට දැකීම. ඇය ලාබාල වයසින්ම වැරදි මිනිහෙක් හා විවාහ වී වසර හතරක් ඇතුළත දරුවන් තුන් දෙනෙක් බිහිකර අනතුරුව ඒ මිනිහා විසින් අත් හරිනු ලැබූ සුන්දර කාන්තාවක්. ඊට පස්සේ ඇය ජීවත් වුනේ මගේ සීයාගේ නිවසේ. ඇයට විධිමත් අධ්‍යාපනයක්වත්, හැකියාවන්වත් තිබුණේ නැහැ. ඇය මුළුමනින්ම ඇයගේ පියා මත යැපුණා. මම මගේ අම්මාට ගොඩාක් ආදරෙයි, මුළු ජීවිත කාලෙදිම අපි එකිනෙකාට ඉතා සමීපව කල් ගත කළා. ඒත් මට ඇය වගේ වෙන්න ඕන වුණේ නැහැ. ඒවගේම මම ගෙදරට වෙලා ඉන්න සමත්කම් පෙන්නපු කෙනෙක් නෙමෙයි. මම මගේ දරුවන් දෙදෙනාටත් ආදරෙයි, ඒත් මගේ දරුවන්ව හදා වඩා ගැනීම සම්බන්ධයෙන් මම මගේ නැන්දම්මා සහ මට උදව් දුන් අත්තම්මා කෙනෙක් මත සම්පුර්ණයෙන්ම විශ්වාසය තැබුවා,. මොකද මට ඕනෑ වුණා ඒ ලෝකයෙන් එළියට එන්න.
- 2011 දි ඔබ විශ්‍රාම ගැනීම ගැන කතා කළා. ඒ අදහස තවමත් තියෙනවා ද ?
එය නරක කාලයක් මට, මම විඩාපත් වෙලා හිටියේ. මම ගොඩාක් සංචාරය කළා. මගේ යාළුවෝ සේරම විශ්‍රාම ගිහින් බොහොම ලස්සන ජීවිත ගත කරමින් හිටියේ. ඉතින් මමත් හිතුවා, ‘ඇයි මටත් බැරි?’ කියලා. නමුත් දැන් මට තේරෙනවා මට එහෙම විශ්‍රාම ගන්න බැහැ කියලා. ඇයි මම එහෙම කරන්න ඕනැ? මම කරන දේට මම කැමතියි. මම නියැළිලා ඉන්න වෘත්තියට ශාරිරික යෝග්‍යතාවවත්, තරුණ වීමමත් අවශ්‍ය නැහැ. මගේ මනස හොඳින් වැඩ කරන්න විතරයි ඕනෙ.
- ඔබේ ජීවිතයේ ඔබට කිසියම් ආදර්ශයක් ඔබට සපයන කෙනෙක් සිටිනවාද ?
මගේ ආයතනය(Isabelle
Allende Foundation) හා එක්ව වැඩ කරන විශ්මයජනක කාන්තාවන් - උදාරහණයක් විදියට ආයේ
ඇවිද ගන්නවත් බැරි තරමට දූෂණය වීමට ලක් වී එහෙත් නැවතත් ශක්තිමත්ව ඔවුන්ගේ ප්‍රජාවගේ
නායිකාවන් බවට පත්වූ කොන්ගෝවේ කාන්තාවන්, ගණිකා නිවාස වලට විකුණු ලැබ අනතුරුව
ඉන් පැන ඒමට සමත්ව දැන් අනික් අයට උදව්
කරමින් සිටින කුඩා ගැහැණු දරුවන්,
ඔවුන් තමයි මගේ ජීවිතයේ ආදර්ශමත් චරිත.
- ඔබ චීලී රටේ දේශපාලනික වශයෙන් වැදගත් කමක් දරන පවුලකින් පැවත එන්නියක්. ඔබ කවදාහරි හිතුවෙ නැද්ද රජයේ රැකියවක් කරන්න ?
නැහැ. මට ඉන්නවා මගේම නම
තියෙන ඥාති සෙහොයුරියක් - ඇය තමයි අපේ පවුලේ දේශපාලනය කරන්නෙ, මම නෙමෙයි. මට ඒකට සමත්කමක්
නැහැ. මම ලේඛිකාවක්. මම කැමති නිහඬව හුදකලාව ඉඳගෙන මගේ මනසේ සහ හදවතේ තියෙන කතන්දර
ලියමින් ඉන්න. මට බැහැ එළියට බැහැලා දේශපාලකයින් එක්ක වාද කරන්නයි, ගනුදෙනු කරන්නයි වගේ දේවල් කරන්න. ඇත්තටම මට පිස්සුද
එහෙම කරන්න. නැහැ. කොහෙත්ම නැහැ.
✎ සුභාෂිණි චතුරිකා
මෙම ලිපිය පළමුවරට 2017.02.19 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.
Comments
Post a Comment