Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

අප ලොකු කාලයක් ගත කළා අප සමලිංගිකයන් බවට අපටම ඒත්තු ගන්වන්න - නැන්සි ගාර්ඩ්න්

 




නැන්සි ගාර්ඩ්න්, යනු සාහිත්‍ය ලෝක‍යේ කිසියම් ආකාරයක නව මාදිලියක් බිහි කිරිමට පුරෝගාමි වු සාහිත්‍ය වේදීනියකි. සංස්කාකරවරියකි. LGBT (සමරිසි කාන්තා සහ පිරිමි, ද්විත්ව ලිංගික සහ සංක්‍රාන්තික) ලිංගිකත්වය දරන්නවුන්ගේ ශුභ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ ක්‍රියාධාරනියකි. ඇය වැඩිමනත් ලෙස සාහිත්‍ය නිර්මාණයේ යෙදුනේ නව යෞවන යෞවනියන් වෙනුවෙනි. ඇය නව යොවුන් වියේ පසු වුණ සමරිසි ගැහැනු දරුවන් වෙනුවෙන් පමණක් නොව එවැනි දරුවන් සිටින මව් වරුන් පියවරුන් වෙනුවෙන් ද ලිව්වාය.


ඇය පොත් 35ක් පමණ ප්‍රකාශයට පත් කොට ඇති අතර සාහිත්‍ය ලෝකය තුළ වඩාත් ආන්දෝලනයකට ලක් වූ ඇයගේ නිර්මාණය වන්නේ 1982 වසරේ ප්‍රකාශයට පත් කරන ලද Annie on my mind නව කතාවයි. එය නව යොවුන් වියේ පසුවන ගැහැණු දරුවන් දෙ‍දෙනෙකු එකිනෙකා හා ආදරයෙන් බැ‍ඳෙන අයුරු කියැවෙන සුන්දර ආදර කතාවකි. සම රිසි කාන්තාවක් ලෙස ඇයගේ ද අත්දැකීම් වලින් අනුප්‍රාණය ලබමින් නිර්මාණය වු එම කෘතිය, එකල එනම් එක්දහස් නවසිය පනහ දශකයේදී, සමකාමින්ගේ ජීවිත අළලා ලියැවුණු ප්‍රීතිදායක අවසානයක් සහිත පළමු නවකතාව බවට පත් විය. එය කෘතිය කියවා ගෙන යෑමේදි, සමකාමීන් යනු විෂම ලිංගකයන් මෙන්ම ආදරය කරන, ආදරය විඳින සාමාන්‍ය ජීවිත ගත කරන පිරිසක් ය යන පණිවුඩය පාඨකයාගේ මනසට කිසිදු වෙහෙසකින් තොරව එම කතාන්දරය හරහා සන්නවේදනය වෙයි.


නැන්සි ගාර්ඩ්න් විසින් එය කෘතිය නිර්මණය කිරීමේ අරමුණ වරෙක මෙසේ සඳහන් කර සිටියාය.


‘මම එය ලිව්වෙ සමකාමි තරුණ ජනතාවට කිසියම් සහනයක්, අස්වැසීමක් ලබා දීම සඳහා. ඔවුන් තනි වී නොමැති බවත් ඔවුන්ටත් සමාජයට අනුගතව ප්‍රීතිමත් ජීවිත ගත කළ හැකි බව පෙන්වා දෙන්න. එමෙන්ම මට උවමනා වුනා සමකාමි ගැහැණු මිනිස්සු යනු අද්භූත සතුන් කොට්ඨාශයක් නොවන බව විෂමලිංගික දරුවන්ට පැහැදිලි කර දෙන්න.”



එම කෘතිය 1993 වසරේ ඇමරිකානු කැන්සාස් නගර පාසල් පද්ධිතය තුළ තහනම් කෙරනු අතර එහි පිටපත් ප්‍රසිද්ධියේ පුළුස්සා දැමිම ද සිදුවිය. ඒ කෙසේ වෙතත් 2014 වසරේදී Golden Crown Literary Society විසින් පිරිනැමෙන Lee Lynch Classic Award නම් සාහිත්‍ය සම්මානය Annie on my mind කෘතිය හිමි කරගත්තෙ එය සමකාමි කාන්තා සාහිත්‍යයේ වඩාත් වැදගත් සාහිත්‍ය කෘතියක්ය යන හේතු පාඨය උදෙසාය.


එක්දහස් නමසිය තිස් අට‍ වසරේ මැයි මස 15 වෙනිදා උපත ලද නැන්සි ගාර්ඩ්න්, සමාකාමි දරුදැරියන්ගේ ජීවිත පහසු කරනු වස් මුළු ජීවත කාලය පුරම වෙහෙසවී සිය පෑන හසුරුවා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදී 2014 වසරේ ජූනි 23 වැනිදා හෘදයාබාධයකින් මෙලොව හැර ගියාය.


පහතින් දක්වා ඇත්තෙ, 2007 නැවත ප්‍රකාශයට පත් කළ Annie on my mind කෘතියට ඇතුළත් කර තිබූ ඇමරිකාවේ විස්කොසින් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත සාමුහික ළමා පොත් කවයේ අධ්‍යක්ෂිකා කැත්ලීන් ටී. ‍හෝර්නින් විසින් නැන්සි ගාර්ඩ්න් සමඟ කරන ලද දිර්ඝ සම්මුඛ සාකච්ජාවේ සංක්ෂිපත සංස්කරණයකි.


  • කවදාද ප්‍රථමයෙන්ම තමන් සම රිසි කාන්තාවක් බව දැනගත්තේ? ඔබට එය අවබෝධ වුනේ කුමන ආකාරයෙන්ද?

එය සෙමින් සිදුවුණ ක්‍රියා දාමයක්. මා කුඩා කාලයේදී මට දැනුනා නොතේරෙන යම් විදියකින් මම අනිත් ගැහැණු ළමයින්ට වඩා වෙනස් කියලා. මම වයසින් වැඩෙද්දි, මම හිතුවෙ මම පිරිමි ළමයෙක් වුණා නම් හොඳයි කියලා. මට හරිම අමාරු වුණා මම කාන්තාවක් වීම සහ පිරිමියකු සමඟ විවා පත් වීම ගැන පැහැදිලි චිත්‍රයක් මගේ හිතේ මවා ගන්න. මට පිරිමි ළමයි මුණ ගැසීමටවත් ඔවුන්ව ඇසුරු කිරීමටවත් ආසාවක් තිබුණේ නැහැ‍. එසේ වුවත් මම උසස් පාසලට යන තුරු සමරිසි ලිංගිකත්වය ගැන කිසිවක්ම දැන සිටියේ නැහැ. සිදුවීම් වල ගැස්ම ගැන මට නිවැරදි මතකයක් නොතිබුණත්, උසස් පාසලෙදී මට ඉහළ පංතියක ගැහැණු ළමයකු සහ මා අතර ප්‍රබල ආදරණීය සම්බන්ධයක් ගොඩ නැ‍‍ඟෙමින් තිබුණා, හැබෑවටම කිව්වොත් අපි පෙමින් වෙළුණා. මේ අතර වාරයේදි වෙන්නැති මට සමරිසි පිරිමින් ගැන ලියවුණු ලිපියක් සඟරාවකින් කියවන්න ලැබුණෙ. ඉන් වැඩි කලක් ගතවීමට මත්තෙන් මම මගේ මිතුරියට ලියු ලිපියක් කියැවු ඇයගේ මව, මා සම රිසි කාන්තාවක් යැයි අනුමාන කළ බව මගේ මිතුරිය මා සමඟ පැවසුවා. මේ හැමදේම, ඒ කියන්නෙ මගේ මිතුරිය සැන්ඩි පිළිබඳ මා තුළ ඇති වෙමින් තිබූ ආදරය, සඟරාවේ මා කියවූ ලිපිය, ළමා කාලයේ සහ නව යොවුන් වියේ මට දැනුණු හැඟීම් වැනි දේ එක් තැනකට ගොනු කළාම මම තේරුම් ගත්තා මම බාගවිට සම ලිංගිකයෙක් වෙන්න ඇති කියලා. එය මා විෂම ලිංගකයෙකු වීමට වඩා කිසියම් අර්ථාන්විත බවක් මගේ ජීවිතයට සැපයුවා.

සඟරාවේ ලිපියත්, සැන්ඩිගේ මවගේ ප්‍රතිචාරත් වලින් මම තේරුම් ගත්තා සම ලිංගියෙක් වීම මිනිස් සමාජය තුළ එතරම් පිළිගැනීමට ලක් වන දෙයක් නෙමෙයි කියලා. ඒත් මම ඒ ගැන එච්චර හිතු‍වේ නැහැ. මම කලින් කිව්වා වගේ එය මගේ ජීවිතයට අර්ථයක් ලබා දුන්නා. නමුත්එ වැනි මොනතරම් ඉඟි තිබුණත්, මම යම් තරමකට මා සමලිංගිකයකු බවට තේරුම් අරන් සිටියත්, ‍දිගු කාලයක් ගත වන තුරු මම එය සම්පූර්ණයෙන්ම පිළි ගත්තේ නැහැ. මට කිසියම් ගුඪ සළකුණක් එනම් දේවමය හඬකින් ‘නුඹ සමලිංගිකයෙක්!’ යැයි පැවසීම වැනි යමක් මට අවශ්‍ය වෙලා තිබුණා.

සැන්ඩි සහ මම, සදාතනික ආලයක් සම්බන්ධයෙන් ගිවිස ගෙන, එකිනෙකාට හාදු දීම් ස්පර්ෂ කිරීම් අප අතර සිදු වුණා වුණත් අප ලොකු කාලයක් ගත කළා අප සමලිංගිකයන් බවට අපටම ඒත්තු ගන්වන්න. අප එකිනෙකාට ආදරය කළත්, අපි සත්තකින්ම නිවැරදි බව දැන සිටියත් අපට එම හැඟීම මහත් වේදනාවක් වුණා. සම ලිංගිකයකු වීම විසින් අතීතයේ සහ වර්තනමානයේ මා තුළ නිරන්තරයෙන් හට ගත් වෙනස් හැඟීම් සමුදායට සහ මගේ හැසිරීමට කිසියම් නිර්වචනයක් සැපයුවත්, මම සැන්ඩිට ආදරය කරන බව තේරුම් අරන් සිටියා වුවත්, සමලිංගයකු වීම සදාචාර විරෝධි හෝ කිසියම් රෝගයක් නොවන බව මම දැන සිටියා වුවත්, අනෙක් ගැහැණු ළමයින්ගෙන් මම වෙනස් වීම ගැන මම එතරම් වද නොවුනා වුනත්, මට තදබල සාක්ෂියක් අවශ්‍ය වුණා. මම දන්නෙ නෑ ඒ මගේ චිත්ත අභ්‍යන්තර‍යේ ගැඹුරු තැනකින් මට දැනුන ඒ හැඟීමට විරුද්ධව මම සටන් කල නිසාද කියලා. නැතිනම් මට සමීප වෙන්න උත්සාහ කළ තරුණ හාදයින් දෙදෙනෙක් මා වික්ෂිප්ත කළ නිසාද කියලා. සමහර විට මම ‍ නොදැනුවත්මව ‘සාමාන්‍ය’ කෙනෙක් විදියට හැසිරෙන්න උත්සාහ කරන්න ඇති. ඒත් උසස් පාසල් අවධියේ සිට ඇය ගැහැණියක පිරිමියකු හෝ වෙන ඕනෑම කෙනෙකු වුවත් මගේ ලෝකයේ වැදගත්ම පුද්ගලයා වුයේ සැන්ඩි විතරයි. මට හැමදාමත් ජීවත් වෙන්න ඕනෑ වුයේත් ඇය සමඟ පමණයි.


  • ඔබ නව යෞවනියක්ව සිටි කාලයේදි, සමරිසි කාන්තාවන් සහ පිරිමින් ව සෙසු සමාජය විසින් පිළිගනු ලැබ‍ුවේ කෙසේද?


එතරම් සතුටුදායක නැහැ. මගේ නව යොවුන් විය ගෙවුණු එක්දහස් නවසිය පනස් ගණන් වලදි, සමරිසි මිනිසුන් ගැහැණුන් සිටියේ අප්‍රකටව සැඟවිලා. ප්‍රසිද්ධියේ පිටතට පැමිණීම සලකනු ලැබුවේ තදබල අවදානමක් ගැනීමක් ලෙසයි: එවැන්නන් සමහරෙකු පාසල් වලින් නෙරපනු ලැබුවා. සමහර දෙමව්පියන් තම සමරිසි ලිංගිකත්වය සහිත දරුවන්ව අත්හැරියා, නැත්නම් මනෝවෛද්‍යවරුන් ගාවට දක්කා ගෙන ගියා ඔවුනට ‘ප්‍රතිකාර’ ලබා දෙන්න. වැඩිහිටියන් ඔවුන් සමරිසි ලිංගිකයින් ලෙස ප්‍රසිද්ධ වීම හෝ ඔවුන් එසේ හැසිරෙන්නේ යැයි කිසියම් සැකයකට පාත්‍ර වුවහොත් ඔවුන්ව රැකියාවලින් නෙරපනු ලැබුවා. වඩාත් නරක තත්වය තමයි, සමලිංගිකත්වය සලකනු ලැබුවේ මානසික ආබාධයක් විදියට නැත්නම් කිසියම් පාපිෂ්ඨ, අසභ්‍ය සාපරාධි ක්‍රියාවක් විදියට. කිසියම් දරුවෙක් සමලිංගියෙක් බව අනෙක් දරුවන් විසින් යම් හෙයකින් හඳුනාගත් විට, ඔවුන් එම දරුවාගේ ජීවිතය අපායක් බවට පත් කළා.


වැඩි කාලයක් ගියේ නැහැ, සැන්ඩි ගේ දෙමාව්පියන් පාසලෙන් පිටතදී මා මුණ ගැසීම සැන්ඩිට තහනම් කළා, ඒ මම සමලිංගකයෙකු නිසා මම ඇයට ‘නරක බලපෑමක්’ ලෙස කියමින්. නමුත් අපි එකිනෙකාට ආදරය කළා. අපි මුණ ගැසෙමින්, හසු වෙමින්, නැවත නැවතත් හසුවෙමින් වුවද අපි එකිනෙකාව දැකීම නතර ‍කළේ නැහැ. එය ඉතාමත් දුංඛිත වේදනාකාරී කාලයක්. එවැනි ඛේදනීය තත්වයකින් මිදී අපට සදාකල්ම එකට ජීවත් වීමට හැකි වේයැයි පතමින් අප වරෙක අපගේ දිවි තොර ගැනීමට පවා ආසන්න තත්වයකට පත් වුණා. සෑහෙන කාලයක් පුරා එක්ව ජීවත් වෙමින්, නැවත වෙන් වෙමින් අවසානයේදි අපට හැකි වුණා ස්ථිරව එකට ජීවත් වෙන්න. 2004 වසරෙදි අපි නීත්‍යානුකූලව විවාහ වුණා, ඒ තිස් පස් වසරක් එකට ජීවත්වීමෙන් අනතුරුව.

  • ඔබට ඒ කාලයේ සමලිංගික ජීවිත ගැන කියැවෙන පොත් පත් හෙම සොයා ගැනීමට හැකි වුනාද?


ඒකාලේ, පනස් ගණන් වල එවැනි පොත් පත් ඉතාමත් දුර්ලභයි. ඒවගේම තමයි එවැනි පොතක් මිලදි ගැනීම වගේම පුස්තකාලයෙන් පොතක් පිටතට රැගෙන ඒම පවා අවදනාම් සහගත කාර්යයක් වුනා. කවුරුහරි දැක්ක‍ොත් මොකද වෙන්නෙ? විශ්වකෝෂවල සඳහන් වෙලා තිබුණේ අප වගේ අයට තියෙන්නෙ කිසියම් ආබාධයක් කියලා හෝ එය අසැබි දෙයක් කියලා. අවසානයේදි මම මහජන පුස්තකාලයේ පොත් නාමාවලිය තුළ සමලිංගිකත්වය ගැන ලියැවුණු පොත් සෙවීම සඳහා අවශ්‍ය තරම් ධෛර්යය ඇති කරගෙන පොත් කිහිපයක් ආමරුවෙන් සොයා ගත්තා, නමුත් ඒවා කවදාකවත් මට බැහැර ගෙනියන්න තියා පුස්තකාලය තුළදි ඇහට දකින්නවත් හැකියාව තිබුනේ නැහැ. එය සැබවින්ම සියුම් ආකාරයේ වාරණයක්.


ඊට මඳක් පසු කාලයකදි මේරි රනෝල්ට් විසින් රචිත වැඩිහිටියන් සඳහා වු ප්‍රබන්ධ වල සමලිංගකයැයි අනුමාන කළ හැකි චරිත දකින්නට හැකි වුනා. නමුත් එම තත්වය පැහැදිලිව කතාව තුළ තහවුරු කලේ නැහැ. සමහරවිට පොත් ප්‍රකාශයින් හිතන්න ඇති ඒ විදියට විතරයි එවැනි පොතක් ප්‍රකාශයට පත් කරන්න පුළුවන් සහ ලේඛකයිනුත් නිර්භය වුයේ එපමණික් ලියා සෑහිමකට පත් වීමට විතරයි. වරෙක මට ගමේ බස් නැවතුම්පළ අසල කුඩා පොත් කඩයක තිබී සමලිංගික කාන්තාවන් ගැන ලියැවුණු ලාබ ගණයේ පොත් කිහිපයක් සොයා ගැනීමට හැකි වුනා, ඒත් ඒ හැම පොතකම පාහේ කතාව අවසන් වුනේ එම සමරිසි කාන්තාවන් හදිසියේ මරණයට පත්වීමෙන්, නැතිනම් මානසික රෝහලට ඇතුළත් කිරීමෙන් හෝ විෂමලිංගික පුද්ගලයෙකු විමෙන්.

නමුත් අවසානයෙදි මට හම්බ වුනා 1920 දි එංගලන්තයේදී පළ කල, Radclyffe Hall විසින් රචිත Well of Loneliness නම් කෘතිය. එය තරමක් සාධනීය උත්සාහයක්. පිරිමියෙකු ලෙස හැසිරෙන සමරිසි කාන්තාවකගේ උපතේ සිට දිගහැරෙන ඇයගේ ජීවිත කතාව කෘතියේ පිළිඹුබු වුනා. එය අශ්ලීල නිර්මාණයක් ලෙස බැහැර කිරීමට ඇමරිකාව සහ එංගලන්තය තුළ කිසියම් උත්සාහයක් තිබූ නිසා එම කෘතිය ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වුණා, අවසානයේ එංගලන්තය තුළ වසර ගණනාවක් පුරා එම කෘතිය නිල වශයෙන් තහනම් කරනු ලැබුවා. මම එම කෘතිය එකවර ගිල දැමුවා ( එය යන්තමින් වත් අශ්ලීල නිර්මාණයක් නොවෙයි) එහි අවසානය තරමක් භාවාතිශය සහ දුක්මුසු එකක් වුවත්. නමුත් එහි අවසානය විසින් යුක්ති සහගත භාවය සහ තේරුම් ගැනීම උදෙසා කිසියම් උද්වේගකර ආයාචනයක් කරනවා. ඉන් ලැබු අනුප්‍රාණය තමයි මා මෙහෙයවූයේ ම‍ා ද අයත් වන ජන සමුහය වෙනුවෙන් Annie on my mind වගේ ප්‍රීතිමත් අවසානයක් සහිත කෘතියක් නිර්මාණය කරන්න.

  • එසේනම් Annie on my mind කෘතිය නිර්මාණය කිරීමට උත්තේජනය සැපයූවේ...


Well of Loneliness නම් කෘතිය. උසස් විද්‍යාලයේ ගතවුණු මාගේ පාසල් ජීවිතය. සමලිංගික ගැහැණුන් සහ මිනිසුන් ගැන ඇත්ත කීමට මා තුළ තිබූ ආශාව- අප ‍රෝගීන් හෝ පාපකාරින් නොවෙයි, ආදරය කරමින් ප්‍රීතිමත්, සෞඛ්‍යසම්පන්න සාරවත් ජීවිතයක් අපටද ගත කලහැකි බව කියන්නට ම‍ා තුළ තිබු ආශාව.


  • ඔබ Annie on my mind කෘතිය නිර්මාණය කරන කාලය වන විට සමරිසි ගැහැණුන් සහ මිනිසුන්ගේ ජීවිත කෙබඳු විද?


මම Annie on my mind ලීවේ හැත්තෑව දශකයේ අගභාගය සහ අසූව දශකයේ මුල් භාගය අතර කාලයේදි. ඒවනවිට පනස් ගණන්වලදීට වඩා තත්වය තරමක් යහපත් අතට හැරෙමින් තිබුණා. සමලිංගක අයිතින් සම්බන්ධ ව්‍යාපාර සක්‍රිය වෙමින් තිබුණා, 1969 ස්‍ටෝන්වෙල් සටන එම ව්‍යාපාර තව තවත් බලපෑම් සහගත ශක්තිමත් ඒවා බවට පත් කළා. අප වැනි අය ටිකෙන් ටික ප්‍රසිද්ධියේ පෙනී සිටීම ආරම්භ වුනා.


ඒ වන විටත් ඇමරිකානු ‍මනෝචිකිත්සකයින්ගේ සංගමය සහ ඇමරිකානු ම‍නෝවිද්‍යා සංගමය විසින් සමලිංගිකත්වය ‍ රෝගයක් නොවන බව ප්‍රකාශයට පත් කොට තිබියදීත් පනස් ගණන් වල වගේම කුඩා දරුවන් සම්බන්ධයෙන් වාතාවරණය එතරම් වෙනසකට භාජනයවි තිබුනේ නැහැ, ඒ කාලයේ සමලිංගිකයින් විෂම ලිංගිකයන් අතර සංහිදියාවක් තිබුණේ නැහැ, එසේම සමලිංගික දරුවෙකු මුහුණ දෙන අඩත්තේට්ටම් ගැන පැමිණිලි කිරීමට සුදුසු යාන්ත්‍රණයක් තිබුනෙ නැහැ. ඇත්ත වශයෙන්ම ජනතාව වටහා ගන්නේ නැහැ නැතිනම් පිළි ගන්න කැමති නැහැ නව යොවුන් දරුවන් ද සමලිංගකයින් විය හැකියි කියලා. ඔවුන් එය බොහෝ විට තේරුම් ගන්න නැඹුරු වෙන්න දරුවන්ගේ වර්ධනයේ එක් අවධියක් හෝ අවවර්ධිත තත්වයක් විදියටයි.

  • Annie on my mind කෘතිය පළමුවෙන්ම ප්‍රකාශයට පත් වු මොහොතේ, ඉන් වසර දහයකට පසුව, වසර විස්සකට පසුව ජනතාව දක්වන ප්‍රතිචාර කුමන ආකාරද?


 මා පුදුමයටත් ප්‍රීතියටත් පත් කරමින් Annie on my mind ප්‍රකාශයට පත් වුණු පළමු මොහොතේම එයට යහපත් තත්වයේ විචාරයක් ලැබුණා. මම තරමක් බියට පත් වෙලා සිටියේ කෘතියට පාදක වුනු විෂය කේෂ්ත්‍රය නිසා, නමුත් මට ලැබුණු බහුතරයක් ප්‍රතිචාර ධනාත්මකයි. නමුත් විවිධ අභියෝගයන් ද නොතිබුණා නොවෙයි. වරෙක මට අසන්නට ලැබුණා 1988 දි එම කෘතිය පෝර්ට්ලන්ඩ් පුස්තකාලයෙන් ඉවත් කළ බව.


එක් වඩාත් සිත් ගන්නා සුළු සිදුවීමක් තමයි, කෘතිය ප්‍රකාශයට පත් වුණු කාලයේදිම එක් විචාරිකාවක් මා සමඟ පැවසුවා ඇය එම කෘතිය තම දහසය හැවිරිදි දියණියට කිියවිමට දුන් බව. නමුත් එම දියණිය කෘතිය දුටු පළමු මොහොතේම “ අනේ අම්මේ මට ඕනේ නැහැ ‘මේ වගේ’ අය ගැන කියවන්න” යැයි කියා තිබුණා. නමුත් ඇය කෘතිය කියවා අවසානයේදී පවසා ඇත්තේ මෙහෙමයි. ‘ අනේ... ඒ අයත් අනිත් හැම ගැහැණු ළමයෙක් වගේම තමයි”

විවිධ බාධක මධ්‍යයේ වුවද එම කෘතිය සම්මාන ලබමින්, විවිධ ගරු නාමයන් ලබමින් පාඨකයන් අතර ජනප්‍රසාදයට පත් වුනා. Annie on my mind සමහර විද්‍යාල සහ උසස් පාසල් වල යොවුන් සාහිත්‍ය කෘතියක් ලෙසින් සහ විවිධයත්වය අගයන කෘතියක් ලෙස පංති කාමරවලදි ඉගැන්වීම සඳහා භාවිතා කර තිබෙනවා. එය බිබිසි රේඩියෝ සේවයේ ගුවන් විදුලි නාටකයක් ලෙස ප්‍රතිනිර්මාණය කර ඇති අතර මේවන විට චීන භාෂාවද ඇතුළුව භාෂා කිහියපකට ද පරිවර්තනය වී තිබෙනවා.

  • වසර විස්සකට පසුවත් ඔබ හිතන විදියට ඇයි ජනතාව තවමත් Annie on my mind කියවන්නෙ?


එයට පිලිතුරු දීමට සුදුසුම පුද්ගලයා මම නෙ‍ාවෙන්න පුළුවන්. නමුත් මට හිතෙන හැටියට ගොඩක් අය කැමතියි ආදර කතා කියවන්න. ඒකයි හේතුව. Annie on my mind කෘතියෙ මුලික සාරය එයයි. එය පළමු කොටත් දෙවැනි කොටත් මුළුමනින්මත් ආදර කතාවක්.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017.01.29 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.




Comments