Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

බොබ් ඩිලන් හොඳම ආකා‍රයේ සම්ප්‍රදායික නොවන තෝරා ගැනීමක්

 


පසුගිය ඔක්‍තෝබර් 13 වැනි බ්‍රහස්පතින්දා(2016) දින නිමා වුයේ නෝබල් සාහිත්‍ය ත්‍යාගය කාට නම් ලැබේවී දැයි මහත් විපරමින් බලා සිටි, සාහිත්‍ය ලෝලීන් දැඩි සේ විශ්මයට පත් කළ සහ සාහිත්‍ය ලෝකයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිවේදනයක් ප්‍රකාශයට පත් වෙමිනි.

“ශ්‍රේෂ්ඨ ඇමරිකානු ගීත සම්ප්‍රදාය තුළ නව කාව්‍යාත්මක ප්‍රකාශනයන් නිර්මාණය කිරීම” වෙනුවෙන් ඇමෙරිකානු ජාතික ගායකයකු සහ ගීත රචකයෙකු වන බොබ් ඩිලන්ට, 2016 වසරේ සාහිත්‍ය සඳහා වූ නෝබල් ත්‍යාගය පිරිනැමෙන බව ස්විඩන ඇකඩමියේ ස්ථිර ලේකම්වරිය වන සාරා ඩෙනියස් විසින් එදින දැනුම් දුන්නාය.

එම තීරණය ප්‍රකාශයට පත් කළ ක්ෂණයෙන් එය උණුසුම් පුවත් මවන විවාදාත්මක සිදුවීමක් බවට පත් වීය. මෙම ලිපිය ලියන මොහොත වන විට දී ද ඉන් මතුව ඇති ආන්දෝලනාත්මක ස්වභාවය සහ අවිනිශ්චිත තත්වය පහව ග‍ොස් නැතුවා සේය. එයට ප්‍රධාන හේතුව නම් එම තීරණය සම්බන්ධයෙන් ලොව පුරා සිටින විද්වතුන්, සාහිත්‍යවේදීන් දෙපිළ බෙදී සාහිත්‍ය සඳහා පිදෙන විශිෂ්ඨතම සම්මානය, ගායකයෙකු සහ ගීත රචකයෙකු වූ පුද්ගලයෙකුට පිරි නැමීම කෙතරම් සුදුසු ද නැද්ද යන්න සාකච්ජාවට බඳුන් කිරීම ආරම්භ වීමත්, එම නිසාම බොබ් ඩිලන් සහ ඔහුගේ කෘති ලොව පුරා සාහිත්‍ය පිළිබඳ උනන්දුවක් දක්වන්න‍න් ගේ අධ්‍යයන කේෂත්‍රයක් බවට පත්ව තිබීමත්ය.

නමුත් මේ සියළු ‍ඝෝෂාවන් මධ්‍යයේ එහි‍ කේන්ද්‍රීය චරිතය වන නෝබල් සම්මාන ලාභී බොබ් ඩිලන් මේ වන තුරුත් නෝබල් සාහිත්‍ය සම්මානය තමන්ට ලැබීම පිළිබඳ කිසිදු ආකාරයේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නැත. නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමෙන්නේ කාටද යන්න යන්න ප්‍රකාශ වී දින කිහිපයකට පසු එතෙක් පැවැති නිහැඬියාව බිඳ දමමින්, ඔක්තෝබර් 20 වැනිදා, බොබ් ඩිලන්ගේ නිල වෙබ් අඩවියේ, ‘නෝබල් සාහිත්‍ය සම්මානලාභියා’ ලෙස සරල සටහනක් දක්නට හැකිව තිබුණ ද මේ වන විට එය‍ ද එම වෙබ් අඩවියෙන් ඉවත් කොට ගෙන ඇත.

එසේම ස්වඩීන අකැඩමිය බොබ් ඩිලන්ව සම්බන්ධ කර ගැනීමට ගත් කිසිදු උත්සාහයකට ද ඔහු ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නැති අතර එළැඹෙන නොවැම්බර් මා‍සයේ එම සම්මානය ප්‍රදානය කිරීම සඳහා පැවැත්වෙන උත්සවයට සහභාගී වන්නෙ දැයි යන්න පවා එම ඇකැඩමියට තවම ඔහු දන්වා නැත.

එ‍හෙයින් 2016 වසරේ නෝබල් සාහිත්‍ය සම්මානය යනු ‍තවමත් ලොව පුරා ජනතාවගේ කුතුහලය වඩවමින්, සක්‍රිය සාකච්ඡාවකට උවමනාවටත් වඩා හේතු සැපයූ සිදුවීමක් බවට මේ වන විට පත්වී ඇත.

සාරා ඩේනියස් නෝබල් සාහිත්‍ය සම්මානය පිළිබඳව නිල වශයෙන් දැනුම් දීමෙන් අනතුරුව, එම සම්මානයට බොබ් ඩිලන් තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය අදහස් දක්වා සිටියාය.

“බොබ් ඩිලන් කියන්නේ විශිෂ්ඨ කවියෙක්, විශේෂයෙන් ඉංග්‍රීසි සාහිත්‍ය සම්ප්‍රදාය තුළ, ඔහු මා හැඟි ආදර්ශයක්. නොඉඳුල් ආදර්ශයක්. තමන්ව නැවත සොයා යමින්, නොනවත්වා නව අනන්‍යතාවක් නිර්මාණය කරමින්, ඔහු දැන් වසර පනස් හතරක් තිස්සේ සම්ප්‍රදාය මූර්තිමත් කරමින් ඉන්නවා.”

බොබ් ඩිලන් ගේ නිර්මාණ පිළිබඳ කිසිවෙක් ‍අධ්‍යයනය කරන්නේ නම්, සාරා ට අනුව,

“1966 දී නිර්මාණය කළ Blond on Blond නිර්මාණ එකතුවෙන් ආරම්භ කරන්න. එහි තියෙනවා සම්භාව්‍ය නිර්මාණ බොහෝමයක්. ඒවා ඔහුගේ රූපමය සිතිවිලි, පුනගැයුම් එක්කාසු කරමින් එළිසමය පිහිටුවන ශූර විලාසය කියාපාන අපූරු උදාහරණ.”



පසුගිය වසරේ ද නෝබල් සාහිත්‍ය සම්මානය මෙවර තරම් නොවුවත් සාහිත්‍ය ලෝකය තුළ කිසියම් ආකාරයක කැළඹීමකට තුඩු දුන් සිදුවීමක් විය. ඒ බෙලෝ රුසියනු ජනමාධ්‍යවේදිනියක වන ස්වෙත්ලානා ඇලෙක්සි‍‍යෙවිච්ට “අපේ කාලයේ විඳවිම් සහ ධෛර්යේ සිහිවටන වන බොහෝ හඬ වලින් සුසැදි ඇයගේ ලීව්ම්” වෙනුවෙන් නෝබල් සාහිත්‍ය සම්මානය පිරි නැමීම නිසාය. සාරා ඩේනියස් ට අනුව ස්වෙත්ලානා ජනමාධ්‍ය කලාව අතික්‍රමණය කරමින් නව පන්නයේ සාහිත්‍ය ශානරයක් නිර්මාණය කළ ලේඛිකාවකි. මේ අනුව නෝබල් සාහිත්‍ය සම්මානය පිරි නැමීමෙදී යොදා ගන්නා නිර්ණායක වල කිසියම් වෙනසක් සිදු වී ඇද්දැයි කිසිවකු අනුමාන කරන්නේ නම් එය එතරම් පුදුමයට කාරණයක් නොවනු ඇත.

ස්විඩන ඇකැඩමිය නෝබල් සාහිත්‍ය සම්මානය පිරිනැමීම සඳහා සැළකිල්ලට ගන්නා වපසරිය පුළුල් කර ඇත්දැයි මාධ්‍යවේදියකු නැඟු ප්‍රශ්නයකට සාරා මෙසේ පිළිතුරු දුන්නාය.

“කිසිවෙකුට එහෙම දකින්න පුළුවන්කම තිබුණත්, ඇත්තටම අපි එසේ කර නැහැ. ඔබ ගියොත් හෝමර්, සැෆෝ වැනි කවීන් කිවිඳියන් සිටි මිට වසර 2500 කට පමණ පෙර පැවති යුගයට. ඔවුන් වාද්‍ය භාණ්ඩ යොදා ගෙන ශ්‍රවණය කිරීමටත්, රංගනයේ යෙදීමටත් සුදුසු කාව්‍යමය පාඨ ලියනු ලැබුවා. බොබ් ඩිලන් ගේ විදියත් එයමයි. අපි ඔහුගේ කවි කියවනවා. ඉංග්‍රීසී සම්ප්‍රදායේ ශ්‍රේෂ්ඨ කවියා ඔහු. ඔහුව කියවන්න පුළුවන්. ඔහුව කියවිය යුතුයි.”



ඇමරිකානු ගායකයකු නෝබල් සාහිත්‍ය සම්මානය දිනා ගැනීම පිළිබඳ සමහර විද්වතුන් දරන අදහස් වලට අනුව එම තෝරා ගැනීම සාහිත්‍යයේ නිම් වළලු පුළුල් කිරීමකි. සාහිත්‍ය ලෝකයේ කීර්තිමත් ලේඛකයකු වන සල්මන් රුෂ්ඩි, බොබ් ඩිලන් ලද නෝබල් සාහිත්‍ය සම්මානය පිළිබඳ ඉත සිතින් ප්‍රීතිවන්නන් ගෙන් එක් අයෙකි.

“අපි ජීවත් වෙන්නේ, ලියනාඩෝ කොහෙන්, පෝල් සයිමන්, ජොනී මිෂෙල්, ටොම් වේට්ස් වැනි ශ්‍රේෂ්ඨ ගීත රචකයින් ජීවත් වුණු යුගයක. ඒත් බොබ් ඩිලන් ඒ හැම අයකුටම වඩා දැවැන්තයි. මා පාසල් යන වයසේ සිටියදී ඔහුගේ ගීත නිර්මාණ කණ වැකුණු පළමු මොහොතේ ම එම පදවැල් මගේ සිත ඇඳ බැඳ ගත්තා. මට හරිම සතුට‍ු වෙනවා ඔහු නෝබල් සාහිත්‍ය සම්මානය දිනා ගැනීම පිළිබඳව. සාහිත්‍යයේ සීමාවන් පුළුල් වෙනවා. නෝබල් සම්මාන කමිටුව එය තේරුම් ගැනීම හරිම ප්‍රමෝදමත් කාරණයක්.‍‍”

“මම එයට කැමතියි. සාහිත්‍යය විශාලනය වී ඇත” - තෙජු කොලේ    
(Known and Strange Things කෘතියේ ලේඛක)

“මම බොබ් ඩිලන්ගේ නෝබල් සම්මානය දිනා ගැනීම පිළිබඳ දැන ගැනීමෙන් ප්‍රීතියෙන් කුල්මත් වුනා. එය හොඳම ආකාරයේ සම්ප්‍රදායික නොවන තෝරාගැනීමක්. එය විශ්මය ජනක ලෙස නිවැරදි තීරණයක්” - මයිකල් කනින්හැම්, The Hours කෘතියේ කතෘ

“සිත කළඹන සුළු ‍තෝරාගැනීමක්. එය අතීතයේ විර කාව්‍ය කියවන්නන්, වීණාවත් ඇතැතිව තම ප්‍රජාව වෙනුවෙන් ගායනා කළ යුගය සිහි ගන්වන්නනක්” - රීටා ‍ඩෝව්, කිවිඳියක් - On the Bus with Rosa Parks කෘතියේ කතෘ.

The Oxford Book of American Poetry නම් ග්‍රන්ථයේ 2006 පළ වු ප්‍රකාශනයට බොබ් ඩිලන්ගේ “Desolation Row,” නම් ගීතය ඇතුළත් කොට ඇති අතර කේම්බ්‍රිජි යුනිවර්සිටි ප්‍රකාශන ආයතනය බොබ් ඩිලන්ගේ කැපි පෙනෙන සාහිත්‍යයික හැකියාව අගයමින් “The Cambridge Companion to Bob Dylan” නම් ලේඛණය 2009 දි ප්‍රකාශයට පත් කළේය. එසේ බලන කල බොබ් ඩිලන් ගේ ගීත නිර්මාණ ජනප්‍රිය සංස්කෘතියේ අංගයක් පමණක් නොව කිසියම් ශාස්ත්‍රීය වටිනාකමකින් යුත් කෘතින් ලෙස ද ඇගයිමට පාත්‍ර වි ඇත.

බොබ් ඩිලන් නම් සංගීතවේදියා


1941 මැයි මස උපත ලද‍, බොබ් ඩිලන් ඇමරිකානු ජාතික ගායකයෙකි, ගීත රචකයෙකි. ඔහු දශක පහකට අධික කාලයක් තිස්සේ ඇමරිකානු ජනප්‍රිය සංගීතය සහ සංස්කෘතික කේෂ්ත්‍රය තුළ බලපෑම් සහගත චරිතයක් ලෙස ප්‍රකට වි ඇත.

වඩාත් ප්‍රසිද්ධියට පත් ඔහුගේ නිර්මාණ බොහෝමයක් ඔහු අතින් නිමැවුනේ ඔහු වංශකථාකරුවෙකු සහ සමාජ කැළඹීම් වලට අනුප්‍රාණය සැපයූ කරදරකාර, තිරය පිටුපස නායකයකු ලෙස ක්‍රියා කළ, 1960 ගණන් වලදීය.




"Blowin' in the Wind" "The Times They Are a-Changin' “Subterranean Homesick Blues” සහ “Like a Rolling Stone” වැනි ගීත වල කැරලිකාරී, විරෝධාකල්පමය සහ නිදහස හැඟවෙන අදහස් කැටි වී තිබුණු අතර ‘ඔබගේ පුත්තු සහ දූවරු ඔබගේ අණ ඉක්මවා යන්නෝය’ යන සඳහන සහිත “The Times They Are A-Changin’ ” නම් ගීතය සිවිල් අයිතිව‍ාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක ජනතා ව්‍යාපාරවල සහ වියට්නාම් යුධ විරෝධි උද්‍ඝෝෂණවල උදාන ගීය බවට වීය. 1962 වසරේ නිර්මාණය කරන ලද “Blowin’ in the Wind,” ගීතය සලකනු ලබන්නේ එතෙක් මෙ‍තෙක් නිර්මා‍ණ වුණු වඩාත් විචිත්‍රවත් පදවැලකින් යුත් ජන ගී වලින් එකක් ලෙසය.

ජන සංගීතයේ පුනර්ජීවනයට අයත් සංස්කෘතිය ඔහුගේ නිර්මාණ වල පදනම වුවද 1965 වසරෙදී ඔහු සම්පාදනය කළ මිනිත්තු 6ක් පුරා දිවෙන "Like a Rolling Stone" ගීතය, ජනප්‍රිය සංගීතයේ නිර්ණායක විප්ලවීය ලෙස වෙනස් කිරීමට හේතුවක් විය. 1960 ගණන්වල මැද භාගයේද‍ි ඔහු රොක් සංගීතය ඇසුරින් නිර්මාණය කළ ගීත ඇමරිකා එක්සත් ජනපදයේ ගීත පෙළ ගැසුම් වල ඉහළින්ම රැ‍‍‍ඳෙන්නට හැකියාව ලැබුණ මුත් විවිධ පොදු ජන ව්‍යාපාර වල හෙළා දැකීම් සහ දරුණු විවේන වලට ද ඔහුට පාත්‍රවීමට සිදු වීය.

ඔහුගේ සංගීත දිවියට වසර පනහකට අධික කාලයක් ගත වී ඇති අතර ඔහු විවිධ ඇමරිකානු ගීත සම්ප්‍රදායයන් එනම්, ජන සංගීතය, බ්ලු ජන සංගීත සම්ප්‍රදාය, රොක් ඇන්ඩ් රෝල්, ඉංග්‍රීසි, ස්කොට් සහ අයිරිෂ් ජන සංගීතය ජෑස් සංගීතය ඔස්සේ සිය නිර්මාණ හැකියාව එළි දක්වා ඇත. ඔහු තම ගීත නිර්මාණ බොහෝ විට ඉදිරිපත් කරන්නේ ගිතාරය, ඕගනය සහ හාර්මොනිකාව යොදා ගනිමිනි.


1994 වසරෙ සිට ඔහු චිත්‍ර සහ සිතුවම් අඩංගු ග්‍රන්ථ හයක් ප්‍රකාශයට පත්  කර ඇති අතර, එම නිර්මාණ ප්‍රධාන කලාගාරවල ප්‍රදර්ශනයට ද තබා ඇත. සංගීතවේදියකු ලෙස ඩිලන් ගේ නිර්මාණ ඇතුළත්, මිලියන සියයකට අධික ඇල්බම් ප්‍රමාණයක් විකිණි ඇත්තේ ඔහුගේ කාලයේ නිර්මාණ වැඩිම සංඛ්‍යාවක් අලෙවි වන නිර්මාණරුවන් ගොන්නට අයත් වෙමිනි. 

එමෙන්ම ඔහු ග්‍රැමි, ගෝල්ඩන්, ඇකැඩමි යන සම්මාන කිහිපයකින්ම පුද ලද අතරම the Rock and Roll Hall of Fame, Minnesota Music Hall of Fame, Nashville Songwriters Hall of Fame, and Songwriters Hall of Fame වැනි ‍ගෞරව නාම රැසකට ද හිමිකම් කියයි. 2008 වසර‍ෙ පුලිට්සර් ජූරි සම්මානය ඔහුට පිරි නැමුනේ ‘විශිෂ්ඨ කාව්‍යමය ශක්තියකින් සුසැදි ගීත රචනා මඟින් ඔහු ජන සංගීතයටත්, ඇමරිකානු සංස්කෘතියටත් ඇති කරන ලද ප්‍රබල බලපෑම වෙනුවෙනි” යන හේතු පාඨය උදෙසාය. 2010 දී ඩිලන් නිදහස උදෙසා වන ජනාධිපති පදක්කම ද ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අතින් ලබා ගත්තේය.

සංගීතයේ එවන් ගෞරව සම්මාන වලින් පුද ලද ඔහු 2016 වසරේ නෝබල් සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ නිසා එතෙක් මෙතෙක් එම සම්මානයෙන් හිමි කරගත් සාහිත්‍ය‍ ලෝකයේ දැවැන්තයන් වන ටී. එස් එලියට්, ගාබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස්, ටෝනි මොරිසන් සහ සැමුවෙල් බෙකට් වැන්නවුන් හා සමතැන්හි ලා සැලකීමට සුදුසුකම් ලැබී ඇත.

එක් පසෙක විද්වතුන් සහ සාහිත්‍යධරයින් බොබි ඩිලන්ගේ ජයග්‍රණය පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන අතරම තවත් පිරිසක් එය කිසිසේත්ම නිවැරදි තීරණයක් ලෙස පිළිගන්නේ නැත.

නිව්යොර්ක් ටයිම්ස් වෙබ් අඩවියේ ඇනා නොර්ත් පළකල අදහසකට අනුව බොබ් ඩිලන් කිසිසේත්ම නෝබල් සාහිත්‍ය සම්මානයට පාත්‍ර වීමට සුදුසු නොවන්නෙකි. ඔහු ඇමරිකානු සංස්කෘතිය සහ ජන සංගීතය තුළ දැවැන්ත බලපෑමක් කළ ගායකයකු, ගීත රචකයකු සහ සංගීතඥයකු වුවත්, ඔහුගේ ගීත රචනා විශිෂ්ඨ නිර්මාණ වුවත් ඔහු විශිෂ්ඨ සාහිත්‍යධරයකු ලෙස සැලකිය නොහැකි බව ඇය පවසා සිටින්නීය. ඇයට අනුව ඔහුගේ ගීත රචනා සංගීතයෙන් වෙන් කළ නොහැකි ගණයේ නිර්මාණය. සංගීතයෙන් තොරව එම පද වැල් වලට වටිනාකමක් සහ පැවැත්මක් අතපත් කරගත නොහැකිය. කියැවීමේ නැඹුරුව ලොව පුරා සැළකිය යුතු අන්දමින් පහත වැටී තිබෙන තත්වයක් තුළ ‍නෝබල් සාහිත්‍ය සම්මානයක වටිනාකම වෙනදාට වඩා දැනෙන කාලයක, එය සැබවිමන් සාහිත්‍ය ක්ෂේත්‍රයේ ‍පෙළහර පෑ, ඒ වෙනුවෙන් කැප වුණු ලේඛකයකු හෝ ලේඛිකාවක ට ලබා නොදී, තම නිර්මාණ වෙනුවෙන් මේ වන විටත් ‍ගෞරව සම්මාන රාශියක් ලබා සිටින සංගීතවේදියකුට පිරිනැමීම සැබවින්ම සාහිත්‍ය ලෝලීන්ගේ අපේක්ෂා සිඳ දැමූ සිදුවීමකි. ඇය සිය ලිපියේ අවසාන වශ‍යෙන් මෙසේ සඳහන් කරන්නීය.

‘බොබ් ඩිලන්ට නෝබල් සාහිත්‍ය සම්මාන ත්‍යාග අවශ්‍ය නැත, නමුත් සාහිත්‍යයට නෝබල් සාහිත්‍ය සම්මානයක් අවශ්‍යය. මේ වසරේදී  එවැන්නක් නොලැබනු ඇත”

ඒ අනුව බොහෝ සාහිත්‍ය විචාරකයින් පෙන්වා දෙන්නේ බොබ් ඩිලන් විශිෂ්ඨ ගණයේ ගීත රචකයෙකු ගායකයකු වුවද, ඔහුගේ විචිත්‍ර ගී පදවැල් නිසා ලොව පුරා සංගීත ලෝලීන් ඔහුට ආදරය කළ ද ඔහුව කිසි විටෙක කවියකු, ලේඛකයකු, ප්‍රබන්ධකරුවෙකු හෝ අඩුම තරමේ ජන මාධ්‍යවේදියකු ලෙස හෝ සැලකිය නොහැකි බවයි. ඔවුන් ප්‍රශ්න කරන්නේ, ස්විඩන අකැඩමිය, අරාබියානු කාව්‍ය සම්ප්‍රදාය බිඳ දමමින් අපූරු සෞන්දාර්යාත්මක සංවේදනයක් දැනවූ සිරියානු කිවිවර ඇ‍ඩොනිස් ගේ කවි වලට වඩා, ‍තොරතුරු විපුල වුවත් පිළිතුරු අල්ප වන ලෝකයක ජීවත් වීම කුමන ආකාරයෙන් දැනෙන්නේද යන්න ශූර ලෙස චිත්‍රණය කළ හරුකි මුරකැමි ගේ නවකතා, කතාන්දර හෝ රචනා වලට වඩා බොබ් ඩිලන් ගේ ගීත රචනා තුළ නෝබල් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට තරම් විශිෂ්ඨ වු ලක්ෂණය කුමක් ද යන්නයි. ඒ අනුව නුගුගි වා තියන්ගෝ, ඒ. එස් බයට්, ඩොන් ඩෙලිලෝ සහ ෆිල්ප් රොත් වැනි මෙවර නෝබල් සාහිත්‍ය සම්මානයට සුදුසු යැයි විචාකරයින් නම් කල සාහිත්‍ය ලෝකයේ දැවැන්තයන්ට නොබල් සාහිත්‍ය සම්මානයක් පිළිබඳ සිහින මැවීමට තව සැළකිය යුතු කාලයක් බලා සිටීමට සිදු වනු ඇත.




ස්විඩන ඇකඩමියේ සාහිත්‍ය සම්මානය පිළිබඳ තීරණය දැ‍ඩි සේ විවේචනය කරනු ලබන සාහිත්‍යධරයන් හා විද්වතුන් එතැනින් නොනැනවති බොබ් ඩිලන්ට එම සම්මානය භාර නොගන්නා ‍ලෙස මේ වන විට ඉල්ලීම් කරමින් සිටියි. ඇමි කින්ග් සහ ඩැනියෙල් ස්කූන්බීක් යන සාහිත්‍යධරයින් ප්‍රසිද්ධියේම බොබ් ඩිලන්ට එය සම්මානය ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා ඇත.

“බොබ් ඩිලන්ට දැන් සාහිත්‍යට ට සත්‍ය වශයෙන්ම විශිෂ්ඨ යමක් ඉටු කිරීමට අවස්ථාවක් උදා වී ඇත: නොබල් සාහිත්‍ය ත්‍යාගය ප්‍රතික්ෂේප කරන්න” - ඇමි කින්ග්- කිවිඳියක්, The missing museum කෘතියේ කතෘ


එසේම ස්වඩින අකැඩමියේ තීරණය හාස්‍යට මෙන්ම දෝෂදර්ශනයට ලක් කරන ප්‍රකාශ ද මේ වන විට අන්තර්ජාලයේ බහුලව සංසරණය වනු දැකිය හැකිය.

“ මෙය වින්ස්ටන් චර්චිල් තෝරාගත්තාක් මෙන්ම මෝඩ තීරණයක්- රබී ඇලමෙදින් - නවකතාකරුවෙක්

“මම බොබ් ඩිලන් ගැන සතුටු වෙනවා. ඒත් මේකෙ තේරුම මටත් ග්‍රැමි සම්මානය දිනා ගන්න පුළුවන් කියන එකද?” - ජොදි පිකෝ - ප්‍රකට නවකතා කරුවෙක්.

මෙම ලිපියේ ආරම්භයේදී සඳහන් කළ පරිදි මේ දක්වා බොබ් ඩිලන් කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් නොබල් සාහිත්‍ය සම්මානය තමනට පිරිනැමීම පිළිබඳව දක්වා නැත. අතීතයේ මෙවැනි අවස්ථාවල ඔහු හැසීරී ඇති අන්දම සළකා බැලූ විට ඔහුගේ නිහඬතාව තේරුම්ගත නොහැකි එකක් නොවන බවද පසක් කොට ගත හැකිය.

උදාරහණ ලෙස, බොබි ඩිලන්ගේ ගීත නිර්මාණ තුළ ගැබ් ව පැවති සමාජ තත්වය සහ පාලන අධිකාරියේ හැසීරීම විවේචනයට ලක් කීරීම නිසා ඔහු නිතැතින්ම සමාජ ව්‍යාපාරයවල නිල නොලත් ප්‍රකාශක බවට පත් වි තිබුණි. 1960 දශකයේ ඔහු අතින් බිහිවුණු ගීත නිර්මාණ වලට පසුබිම් වුයේ ජාතිවාදය, දුප්පත්කම, දූෂණය සහ සීතල යුද්ධය වැනි කාරණාය. එම නිසාම ඔහුව “පරම්පරාවක හඬ” නම් විරුදාවලියෙන් හැඳින්ව‍ෙන්නට වූ නමුත් එය ඔහු එකහෙලාම ප්‍රතික්ෂේප කළේ මෙසේ කියමිනි.


“ මට තවදුරටත් ජනතාව වෙනුවෙන් ලියන්න උවමනාවක් නැහැ. මම කිව්වේ ජනතාවගේ ප්‍රකාශකයා වෙන එක ගැන. මෙතැන් සිට මම ලියන්නේ මගේ ඇතුළෙන් පැනඟින දේවල්. මම කිසිම ව්‍යාපාරයක සාමාජිකයෙක් නොවෙයි. කිසිදු සංවිධානයක් එක්ක මම වැඩ කරන්නේ නැහැ”

ගාර්ඩියන් පුවත් පතේ ව‍ාර්තාවකට අනුව, ‍නෝබල් සම්මාන කමිටුව මෝඩයින් ලෙස ක්‍රියා කිරීමට ප්‍රථම 2004 වසරේදි ඇන්ඩෘ විශ්ව විද්‍යාලය “ සංගීතමය සහ සාහිත්‍යයික සංස්කෘතියට ඔහුගෙන් සිදු වුනු කැපී පෙනුනු දායකත්වය” වෙනුවෙන් ඔහුට සංගීතය සඳහා ආචාර්ය පදවියක් පිරිනැමීමට යාමෙදී ලැබු අත්දැකීම සැළකිල්ලට ගත යුතුව තිබුණු බව සඳහන් කොට ඇත.

විනාඩි 90ක කාලයක් පැවැත්විමට නියමිතව තිබු උත්සවයට විනාඩි 50 ක් පමණ ප්‍රමාද වී සිය පිරිවර ද සමඟ පැමිණි බ‍ොබ්, හැඟීම් විරහිත බැල්මකින් වේදිකාව දෙස බලා සිටි අතර කථිකයා ඔහු පැබ්ලෝ පිකා‍සෝට සමාන කරමින් ඔහුගේ සංගීත දිවිය අගයන විට එයට සවන් දුන්නේ කීප විටක්ම ඈනුම් හරිමිනි. අවසානයේදී විශ්වවිද්‍යාල ගායක කණ්ඩායම Blowin’ in the Wind ගීතය ගායනා කිරීමට දැරූ උත්සාහයද නොතකා හරිමින් සහ ස්තූති කතාවක් හෝ නිල සමු ගැනීමක් නොකර ‘අභිනව ආචාර්යවරයා’ සිය පිරිස සමඟ සභාවෙන් නික්ම ගියේය.

මෙවැනි සිදුවීම් මඟින් තේරුම් ගත හැක්කේ බොබ් ඩිලන් තමන් කවුරුන් දැයි හරියාකාර අවබෝධයක පසුවන, තමන්ගේ නිර්මාණ වලට පමණක් වග කියන සහ අවංක වන නිර්මාණ කරුවෙක් බවය. ඔහුව ඕනෑම අයකු හෝ සංවිධානයකට කිසිදු වරදානයක් මඟින් නතු කර ගත නොහැකි බව ඉහත කී සිදුවීම් මඟින් යම් තරමකට තේරුම් ගත හැක. බොබ් ඩිලන් නොබල් සාහිත්‍ය සම්මානය ලැබීමට සුදුුසු ද නැද්ද යන්න තවමත් විවාදාත්මක කරුණක් වන නමුත් ‍මේ මොහොත වන විටත් වෙනසක් නොවී පවතින ‍බොබ් ඩිලන්ගේ නිහැඬියාවෙන් කියැවෙන්නේ ඔහුගේ ජීවිත‍යේ ස්ථාවරයන් නොබල් සම්මානයකින් පවා හෙලවිය නොහැකි බවද? එය අපට නුදුරු අනාගතයෙදී දැන හැකි වනු ඇත. ‍


✎ සුභාෂිණි චතුරිකා

මෙම ලිපිය පළමුවරට 2016 වසරේ ඔක්තෝබර් මස 30 වැනි දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.

  • පසු සටහන - 2017 වසරේ පැවැත්වුණු නෝබල් සම්මාන ප්‍රදානෝත්සවයේදී, බොබ් ඩිිලන් විසින්, ඔහු ‍වෙත ප්‍රදානය කළ 2016 වසරේ සාහිත්‍ය සඳහා වූ නෝබල් සම්මානය පිළිගත් අතර, එම සම්මානය පිළිගනිමින් ඔහු කරන ලද කතාව තුළ බොබ් ඩිලන්ගේ සංගීත නිර්මාණ සාහිත්‍ය සම්මානයක් උදෙසා සුදුසු වන්නේ කෙසේදැයි යන්න පිළිබඳ ඔහු ප්‍රත්‍යා‍වේකෂණයක් ද සිදු කළේය.

 

Comments