“අපව මෙතරම් අවමානයට පත් කරනවා වෙනුවට කරුණාකර අප ඇතුළත් කර ගන්නා විටම අපට වස ටිකක් දෙන්න.”
තවත් විටෙක ඔහු දලිත් සිසුන්ගේ නේවාසිකාගාර කාමරවලට ගෙල ලා ගැනීමට සුදුසු රැහැන් ලබා දෙන්නැයි පරිපානයෙන් ඉල්ලා සිටියේය. ශිෂ්‍ය ගැටුමකට මුවා වී රෝහිත් ඇතුළු සිසුන් පස් දෙනෙකුට විශ්ව විද්‍යාල නේවාසිකාරගාරය තහනම් කලාපයක් බවට පත් කරන ලදි. ලේඛණ කටයුතු වල ප්‍රමාද දෝෂයක් නිසා යැයි කියමින් 2016 ජනවාරි වන විට රෝහිත් ගේ ශිෂ්‍යාධාරය ලැබීම ද නවතා තිබුණි.
රෝහිත් වෙමුලා මානව හිතවාදියෙකි. හැඟීම් වලින් පිරිණු මිනිසෙකි. තමන් තුළ වූ දැහැනකට වැදී ඔහු ඔහුට දැනෙන දේවල් ගැන ඔහු ලීවේය.
අප්‍රියෙල් 15, 2012
මගේ වචන තුළ සැඟවුණු අරුත් ඇත. මගේ නිහඬ බවට මනා හේතු ඇත. අවසානයේදී, සියල්ල පර්පුරණ ලෙස අරුත් ගැන්වෙනු ඇත. හුදෙක් මා ගැන විශ්වාසයෙන් සිටින්න.
ජූනි 17, 2012
මම ගෘහස්ථ හිංසනයට විරුද්ධය. මා මගේ අම්මාගේ විඳවීම් ඕනෑ තරම් දැක තිබේ. මට අවශ්‍ය එය වෙනස් කිරීම සඳහා කොටස්කරුවෙකු වීමටය . සැබෑ පිරිමිකම ඇත්තේ ගැහැණියක බලෙන් තමා වෙත රඳවා ගැනීම තුළ නොව ඔහු හා ජීවත් වීමට ඇය තුළ උවමනාවක් ඇති කිරීම තුළය.
මාර්තු 13, 2014
මම අම්මාගේ හොඳම මිතුරා, ‘කීටී’ ගේ පින්තූර කිහිපයක් ගැනීමට උත්සාහ කළෙමි. ඇය ඌට ‘තක්කඩියා’ යැයි කියයි. එහෙත් නිවසේ අම්මාට සවන් දෙන එකම ප්‍රාණියා ඌ පමණි. ඌ පලා ගොස් ඇත. ඌ කවදාවත් මා සමඟ සෙල්ලම් කලේ නැත.
අපිට ශීතකරණයක් ඇති අතර එය අපේ නිවස, අපේ කොලනියේ සියල්ලන්ටම ආදරණිය තැනක් බවට පත් කොට ඇත. “ඔය වතුර බෝතල් හැම එකම ගන්න එපා. ගොඩක් ඒවා වටේ පිටේ අයගෙ.පෙබරවාරි 23, 2013
අවට බලන්න. මෙවැනි( මහළු සහ දුගී) මිනිසුන් ඔබේ නෙත ගැටෙනු ඇත. ඔවුන් හා බෙදා ගැනීමට බාගවිට අප අත ඇති තරම් මුදල් නොතිබෙන්නට පුළුවන, නමුත් මුදු සිනහවක්, සිත් උණුසුම් කරන විකට කතාවක් ඔවුනට බලාපොරොත්තුවක් සහ සොම්නස ගෙන එනු ඇත. ඔබ වයස්ගත වුවන් හා කතා බස් කරන්න, ඔබට ඔවුන්ගෙන් දැනුම උකහා ගත හැකි වනු ඇත, එමෙන්ම ඔබේ කතා වලින් ඔවුන් සැනහෙනු ඇත. මහළු පුද්ගලයන් වු කලී ජීවන අත්දැකීම ලත් ළදරුවන් වැනිය. අපිට හැකි උපරිමයෙන් අපි ඔවුන්ව රැකබලා ගතයුතුය.ඔහුට ජිවත් වීමට අවශ්‍ය විය, දැනෙන සුළු ලෙස ජීවත් වීමට අවශ්‍ය විය. එහෙත් එයට ඉඩක් ලැබුනේ නැති සෙයකි. ඔහුට සුන්දර ළමා වියක් තිබුණෙ නැත. මතක් කිරීමට තරම් සුන්දර අතීතයක් තිබුණේ ද නැත. “මගේ උත්පත්තිය වනාහී මගේ මාරාන්තික අහම්බයයි. මගේ ළමා කාලයේ මා විඳි හුදෙකලාවෙන් ගැළවෙන්නට මට කිසි කලෙක නොහැකි ය. මගේම අතීතයේ සිටි අගය කිරීමකට පාත්‍ර නොවු සිඟිත්තා!” (උපුටා ගැනීම: මරණයට පෙර රෝහිත් වෙමුලා තැබු සටහන) ඔහු අවමන් වින්දේය. ප්‍රතික්ෂේප වීම්, පසෙකට තල්ලු කිරිම් අත්දැක්කේය. ඔහු ලියා ඇති සමහර සටහන් වලින් නික්මෙන්නේ ජීවිතය පුරා ගරුත්වය නොලැබූ මිනිසෙකුගේ ආත්ම විලාපයයි. සියළු ගතානුගතිකයන්ට එරෙහිව පෙරළා පහර දීම හෝ අතහැර දැමීම ඔහු ඉදිරියේ ඉතිරිව තිබු විකල්පයන් දෙකයි.
මාර්තු 12, 2012
ජීවිතය එක් කොණකින් දැල්වෙන සිගරට්ටුවක් මෙනි. ඔබ දුම් පානය කළද නොකළ ද එය අවසන් වෙයි. එසේම ජීවිතය ද ගෙවී යයි, ඔබ එය වින්දත් නැතත්, පසෙකට වී එය ගත වන සැටි ඔහේ බලා සිටියත්. තෝරා ගැනීම සම්පුර්ණයෙන්ම ඔබ සතුයි. බුද්ධිමත් ලෙස තෝරා ගන්න. ඒ කොයි හැටි වෙතත් මම හොඳ දුම් බොන්නෙක්.
මාර්තු 26, 2014
විටෙක පුංචි සිතුවිල්ලක් විත් අපේ
සිහි නුවණ කළඹයි. මට පුළුවන් නම් මගේ අතීතයට යන්න? යන්තමින් අවමන් විඳි ළමා
කාලයකුත් සහ විඩාබර යොවුන් වියකුත් ඇති
කෙනෙකුට එය සාමාන්‍යයෙන් පැන නැඟෙන ප්‍රශ්නයක්. මට සමහර මිනිසුන් මුණ නොගැසුණේ
නම්, ඔවුන් ඈතට ගසා ගෙන යන සැටි අහිංසක ලෙස බලා සිටියේ නම් පමණක් එසේ මා සිතන්නට
ඉඩ තිබුණි. මුළු ලෝකයම සුන්දර යැයි සිතුණු
කාලයට මට නැවතත් යාමට ඉඩක් ලැබිණි නම් මම
සියල්ල අළුතින් පටන් ගනීවිද? ඉර, හඳ, තාරකා, අහස, මල්, වර්ණ ඒ සියල්ලම ආදරයේ සෘතුව මුළුල්ලේ, මගේ ජීවිත සාදයේ හුදු ප්‍රේක්ෂකයන්
නොව සහභාගීවන්නන් විය.
හොඳ සිහියෙන් සිටින ඕනෑම අයෙකු එවැනි
නිමේෂයන් තුළ ආයෙමත් ජීවත් වීමට ආශා කරනු ඇත. එහෙත් මම එසේ නැත. මගේ අතීත ජීවිතයට
ආපසු ගමන් කිරීමේ අදහසට මම එතරම්
කැමැත්තක් දක්වන්නෙ නැත.
අද මම තැළී පොඩි වුණු අතීතයක්
හා ජීවත් වන නමුත්, කලකට ඉහත මතකයේ රඳවා
ගන්නට තරම් කිසිවක් මා වෙත තිබුණෙ නැත. අද මම වදකාර සිහින සමඟ අවදි වන නමුත්, එක්
කාලයක් විය, මට සිහින මවන්නට කිසිත් නොතිබුණ. අද රිදුම් දෙන මතකයන් ඇත, නරක සිහින
ද මට පෙනෙයි, මම සිටින්නේ දොම්නසිනි, නමුත් අතීතයේ එක් කලෙක මට ඒ කිසිත් දැනුනේ නැත.
මට ආදරය නොලැබුණි, පරික්ෂාවට ලක් නොකෙරිණි. රැවටිලිකාර සිතුවිලි සහ රවුම් තර්ක ද
සමඟ ඔබගේ වියවුල් සහගත මනස විසින් අසන මෙවැනි ප්‍රයෝගකාරී ප්‍රශ්නවලට කොතෙකුත්
වාර ගණනක් ඔබට පිළිතුරු දීමට සිදු වී ඇති
ද.........????!!!
ජූලි 3, 2015
ඇය හදවත් එකරැස් කරයි. පසුව ඇය ඒවා ගැන තැකීමක් කරන්නේ නැත. තෙත වැල්ලේ ඇඳින පියසටහන් මෙන්, දරුවන්ගේ සිනා පොකුරු මෙන් ඇය ජීවිත ආකර්ෂණය කර ගනියි. හුදකලා රාත්‍රියක මද සුළඟ මුසු වුණ වර්ෂාවක් මෙන් දවමින් සනහාලයි.
ඔබේ ජීවිතයේ අරුත ඉරා දමමින් ඇය ජීවිත පැහැර ගන්නා බව කවුරුත් දනිති, එහෙත් ඇයගෙන් පලා ගිය කෙනෙකුන් නැත. ඈ මරණ සේය. ආදරය සේය.මේ ජීවිතයේදී ඇයගේ මිතුරෙකු නොවීම ගැන මම පසුතැවිය යුතු ද? නැතිනම් තවත් ජිවිතයකට හේතුවක් ලැබීම නිසා මම සතුටු විය යුතුද?
මැයි 25, 2013
අවසාන වතාවට ඔබ තුළ සිටින යක්ෂයා ඔබට සම්මුඛ වූයේ කවදාද? - සමාජයෙන්, ඔබේ පවුලෙන් හෝ වෙනත් ඕනෑම පුද්ගලයෙකු ගෙන් ඔබ සඟවා ගෙන සිටින පුද්ගලයා - අඳුරු, ශක්තිමත්, ඔබගේ අභ්‍යන්තර පුද්ගලත්වයේ විකාර ස්වරූපය.අවසාන වතාවට එය සමාජ බාධක අභිබවමින්, ඔබගේ සිතිවිලි පරාජය කරමින් ක්‍රියා කලේ කවදාද? කවදාද?!
ඔහු, ඉන්දියාව තුළ සිය ආධිපත්‍යය පතුරා ඇති හින්දු පුරුෂ මූලික සමාජය සහ හින්දු ජාතිය මුල් කරගත් ජාතිවාදය හාස්‍ය උත්පාදනය කරමින් සියුම් ලෙස විවේචනයට ලක් කරයි. එමෙන්ම ආගම, විවිධ ඇදහිලි විශ්වාස සහ මිත්‍යා මත මෙන්ම කුල භේදය නිසා ඉන්දියානු නිර්ප්‍රභූ සමාජය කෙතරම් නම් පීඩාවට පත්වන්නේ ද යන්න ඔහු සංයමයෙන් යුතුව පෙන්වා දෙයි. එසේම ඒ මුල් බැසගත් ගතානුගතියන්ට කුඩා ගල් පහර ද එල්ල කරයි, ඒ අරගල කිරීමෙන් තොරව කිසිවක් දිනා ගත නොහැකි බව මතක් කරමිනි.
ජාතිය සහ ජාතිවාදය
අගෝස්තු 15, 2013
අපගේ දෛනික අල්ප ජීවිතය කිති කැවීමට තවත් නිදහස් දිනක් උදා වි ඇත. අප ‘ ඉන්දියානුවකු වීම නිසා ආඩම්බර’ විය යුතුය. නිදහසින් අවුරුදු 67 කට පසුත් පංති වෙනස සහ කුල භේදය පවතින නමුත් අප ‘අපගේ ජාතියට ආදරය’ කළ යුතුය. අපේ රටේ කාන්තාවන්ට නිදහස ඇත, නමුත් තරුණියක් වෙනත් කුලයකට අයත් තරුණයකු හා විවාහ වුවහොත් අප ඇයව මරා දමා අපගේ ‘ගෞරවය’ රැක ගන්නෙමු.
‘ප්‍රීතිමත් නිදහස් දිනයක්!’
අවුරුදු 67් ක් වයසැති දෙව්ලොවේ අලුත උපන් බිළිඳුන්ට ඕනෑම අයෙකු වීමට නිදහස ඇත, එහෙත් ඔවුනට අධ්‍යාපනය ලැබීමට ඕනෑ නම් ඔවුන්ව ඇතුළත් කරගන්නා පුද්ගලික අධ්‍යාපන ආයතන වලට 60,000 මුදල් ආධාරයක් ලබා දිය යුතුය. ඔවුන් රජයේ පාසල් වලින් හෝ විශ්ව විද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්නේ නම් රැකියාවක් ලබා ගැනීමේදී නිර්දේශීත ලිපියක් රැගෙන ආ යුතුය.
ඔබ මුස්ලිම් ජාතිකයකු නම් හින්දු ජාතකයකු හා කිසිම ආකාරයේ වාදයකට පැටලීමෙන් වැළකීම නුවණට හුරුය. ඔබ දලිත් කුළයේ නම් ස්වර්නා කුළයේ(හින්දු) පුද්ගලයෙකු හා ඇසට ඇස නොගැටිය යුතුය. මේවා සියල්ල අති දැවැන්ත ප්‍රචණ්ඩාකාරී තත්වයක් ඇති කිරීමට හේතු භූත වන දේය. ‘නිදහස් දිනයට සුබ පැතුම්!’ සැබෑ ලෙසම අපගේ නායකයන් පත් කර ගැනීමේ නිදහස, අතිශයින් සහ තරමක් දුරට දුෂ්ඨ වුන් අතරින් කෙරෙන තෝරා ගැනීමකි; සෑම වසරක පහකටම වරක් අපිව මෝඩයන් කිරීමට. ආගම තවමත් මැතිවරණයේ තීරණාත්මක සාධයකයකි.
අප දිවා ආහාරය සඳහා මැක්ඩොනල්ඩ් සහ ඩොමිනොස් යන දෙකෙන් කුමක් තෝරා ගන්නේ ද යන්න පිළිබඳ නිදහස අප සතුව ඇත. එමෙන්ම රට පුරා සිදුවන ගොවියන්ගේ දුංඛිත දිවි නසා ගැනිම් වල වගකීමෙන් නිදහස් වීමට ද අපට නිදහස ඇත.
ඔබ ඔබගේ රටට ආදරය කළ යුතුය, එමෙන්ම ඔබගේ රටට ඔබ කරන ආදරයේ තරම අනික් රටවල් පිළිබඳ ඔබේ ඇති වෛරයෙන් තක්සේරු වෙනු ඇත. ඔබ හුදෙක් පකිස්ථානු ජාතිකයෙකුට ශාප කරන්න, ඔබව හොඳම ඉන්දියානුවෙකු ලෙස සලකනු ඇත.
කෙසේ වතුදු, ඔබලා සියල්ලන්ටම සතුටුදායක නිදහස් දවසක් පතමි, අඩුම තරමේ අදවත් කිසියම් අප්‍රකට ජන කොට්ඨාශයකට අයත් වීම නිසා කිසියම් අහිංසකයකු ආරක්ෂක අංශ මඟින් සිදු කරන ඊනියා වෙඩි තැබීමකට භාජනය නොවනු ඇතැයි යන ප්‍රාර්ථනාව ද සමඟින්.
“ උත්තමයින් එයි යයි, එහෙත් හරි ජනයින් සැමදා හරිජනයින්ය. නීතිය විසින් කුමන ආකාරයේ නිදහසක් ඔබට ලබා දුන්නද ඔබ විසින්ම සමාජ විමුක්තිය ලබා නොගන්න තාක් කල් ඒ නිදහසින් ඔබට ප්‍රයෝජනයක් නොවනු ඇත.” - අම්බෙද්කාර්
මාර්තු 22, 2014
ජාතිවාදය අන් කිසිවක් නොව පරිකල්පනයේ අතුරු ඵලයකි. අනෙකුන්ට වරද පැටවීමට හැකි නිදහසට කාරණයකි. ‘අනෙකෙකු’ වු මිනිසෙකු ගේ පරාජය වෙනුවෙන් ප්‍රීති සාද පැවැත්ම සඳහා නිදහසට කාරණයකි. අප එම භයානක සෙල්ලමේ නිමැවුම් කරුවන් වු සුපිරි සතුන් වන අතරම අප දැන් එම ව්‍යාධියේ ගොදුරු බවට පත් ව ඇත. අප වාර්ගික බෙදීම් වලින් විලංගු නොවැටුණු විශ්වීය මානව විඥානයක් ගොඩනැඟිය යුතුය. මම විශ්වාස කරන ආකාරයට බලසම්පන්න අනාගතයක් අපට ගොඩනැඟිය හැක්කේ ජගත් පුරවැසිභාවය සම්බන්ධ මුලධර්ම වලින් පමණි.
... මම මගේ ප්‍රජාව ගැන කතා කරන විට මම දේශානුරාගියෙකු නොවෙයි. නමුත් ඔබ මගේ ප්‍රජාව පිටු දැක දේශානුරාගය ගැන කතා කරන විට එය කෙදිනක වත් ප්‍රශ්න කෙරන්නේ නැත. සීමා මායිම් සහ ලේබල වලට ඇති ආශාව යනු අපගේ මනසේ උද්දච්චකමින් රැගෙන යන අපරිස්සම්කාරී මිත්‍යාවකි...පෘථිවිය යනු උදෑසන අහසේ පාවෙන දූවිලි පොදක් මිස අන් කිසිවක් නොවේ.
මැයි 25, 2015
සත්‍යය නම් රාජ්‍යය ජනතාවගේ මිතුරෙකු නොවේ. අප එය ඉතා ඉක්මනින් දැන ගන්නා පමණින් අපට වඩාත් හොඳින් අරගල කළ හැකිය.
ජූලි 5, 2013
මගේ දර්ශනය ඉතාමත් සරලය.
මට හමු වූ වඩාත් මුග්ධ මෙන්ම අතිශයින්ම කුලප්පු කිරීමේ හැකියාව ඇති ‘වාදයන්’ ද්විත්වය: ආගම සහ ජාතිවාදය. ඈත ඉතිහාසයේ සිටම වඩාත් හොඳින් ඔප්පු වූ ප්‍රචණ්ඩත්වය සඳහා වු ප්‍රවේශ මාර්ගයන්ය.මා පිළිකුල් කරන චර්යාවන් ද්විත්වය: ලෝභය සහ සමාජීය පිටු දැකීම. ඒ දෙකම අධිරාජ්‍යවාදයේ හා ආධිපත්‍යයේ ලාක්ෂණික ගුණයන්ය.
මම මැරෙන තරම් ආශාවෙන් මා වටා දැකීමට කැමති වටිනාකම් ද්විත්වය - කරුණාව සහ හෘද සාක්ෂිය
මේ ලෝකයේ බලසම්පන්න බලයයන් ද්විත්වය - ආදරය සහ සොබා දහම
කුලය සහ හරක් මස්
මාර්තු 5, 2015
ආහාර පිසීම අපව මේ නිල් ග්‍රහලෝකයේ වෙන් කර හඳුනාගත හැකි ජීවි විශේෂයක් බවට පරිණාමය කළ එක් ලක්ෂණයකි. සෑම සංස්කෘතියක් තුළම ඒ හා බැඳුණු සූප වේදයක් හෝ විශේෂිත කෑම වට්ටොරු දක්නට ලැබෙයි.
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ගව මස් ආහාරයට ගැනීම කෙතරම් ප්‍රචලිත වී තිබුණේ ද යන්න අම්බෙද්කාර් ඉතා පැහැදිලිව සඳහන් කොට ඇත. දැනට දක්නට ඇති කලා නිර්මාණ වලට අනුව( එම කාලයට අයත්) ගවයාගේ පූජනීයත්වය ගොඬනැඟූ වටිනාකමක්ය යන්න හොඳින් පැහැදිලි වන කාරණයකි.මෑතක සිට මහරාෂ්ට්‍රාහි බලපැවැත්වෙන ගවමස් තහනම සම්බන්ධයෙන් දේශපාලනික සහ සංස්කෘතික දිශානතින් ඇත. ඔබ ජෝරජ් ඕවල් ගේ 1984 කියවා ඇත්නම් ඔබට 'Big Brother’ භාරතීය ජනතා පක්ෂය, නව කතාවේ එන රහස්‍පොලීසිය(‘thought police’) සහ නීති සම්පාදකයින් සහ ‘කාමර අංක 101 සහ මේ දේශයේ වත්මන් වාතාවරණයත් අතර කිසියම් සරල රේඛාවක් මතු කර ගත හැකිය. කුමක් කතා කළ යුතු ද, කුමක් සිතිය යුතු ද කුමක් ආහාරයට ගත යුතුද කුමක් අරඹයා සිහින මැවිය යුතුද යන්න පාලනය කිරීමේ ප්‍රයත්නය තුළින් මෝදි ගේ පාලනය, හින්දුත්වා මතවාදයෙන් පෝෂණය වු වෙනස් කොට සැලකිමේ ආගමිකත්වය මෙවලමක් කොට ගත් ඒකාධිපති පාලනයක් දක්වා ගමන් කරමින් සිටියි.
ඔවුන් විරෝධය දැක්වීමත් තහනම් කිරීමට ප්‍රථම අපි විරෝධය පාමු
ඔක්තෝබර් 27, 2014
කුලය පිළිබඳ නොබිණීම මඟින් කුලය මුලිනුපුටා දැමිය නොහැක. ඉන් සිදු වන්නේ වෙනස් කොට සැළකීමට නාමයක් නැති කිරීම පමණි!!! එසේම අපගේ ක්‍රියාකාරීත්වය අනන්‍යතා දේශපාලනයක් සඳහා නොව, වටිනාකමක් ලැබීම සඳහා අරගලයකි. මේ ක්‍රියාකාරීත්වය තොපගේ විකෘත වු ඉතිහාසය හරහා අප මත පටවන ලද විනාශකාරී අනන්‍යතාවට එරෙහිවය.
මක් නිසාදයත්
“මම හඬ නඟන්නේ නම්
මා හෙලා දකිනු ඇත
මම නිහඬ වන්නේ නම්
මා නින්දාවට පත් වනු ඇත
වික්ට්ර් හියුගෝ
යුද්ධය සහ මරණය
මියයාමත්, මැරීමත් තුළ උද්දාමයට පත් විය හැකි කිසිවක් නැත. යුද්ධය හෝ මරණය සැමරීමට විසිඑක් වැනි සියවස තුළ අවකාශ නැත. අප සතු එකම හැකියාව මැරීම නම් එය ශාපයකි.
ඔහු අදේවවාදියෙකි
මම ආගම් ප්‍රතික්ෂේප කිරීම පුද්ගලිකව භාර නොගන්න.... මම ඔබේ ආගම පමණක් නොව සියළුම ආගම් ප්‍රතික්ෂේප කරමි. ආගම යනු විකාරයකි. එය අධිරාජ්‍යවාදි සහ බලකාමි මතවාදයන්ගේ මරාන්තික දරුවාය.
රෝහිත් වෙමුලා සමාජයත් ලෝකයත් දෙස දෑස් හැර බැලු තරුණයෙකි. ඔහු සමාජවිද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය සඳහා හැදෑරුවත් ඔහු සාහිත්‍ය ලෝලියෙකු විය. විද්‍යාව, තාක්ෂණය, තාරකා විද්‍යාව ගැන බොහෝ සෙයින් උනන්දු විය. ඔහු ස්වභාවදහමට ආදරය කළේය. එමෙන්ම ඔහු දේශපලනය සිය ජීවිතයේ එක් ප්‍රධාන කොටසක් බවට පත් කර ගත්තේය. ඒ අනුව ක්‍රියාකාරි විය. ඔහු කිසිදු මතවාදයක අන්ධානුගාමිකයකු නොවුයේය. මාක්ස්වාදී අදහස් දරන්නෙකු වූ නමුත් ඉන්දියාව තුළ පැවති වෙනස් කොට සැළකීමේ ගතානුගතිකයන් වෙත ඉන්දියානු වමේ ව්‍යාපාරය තුල විසඳුම් නැති බව දැනගත් රෝහිත්, ඉන්දියාවේ සුළුතර ජනතාවගේ සුභ සිද්ධිය සඳහා සටන් කළ දේශපාලනඥයකු, සමාජ ප්‍රතිසංස්කරණ වාදියෙකු වු බි. ආර්. අම්බෙද්කාර් අනුාගමියකු වුයේය. ඔහු ඒ පිළිබඳ තබා ඇති සටහන් මඟින් ඔහු කෙතරම් තම අරගලයට අවංක වී දැයි තේරුම් ගත හැකිය.
අගෝස්තු 14, 2014
මගේ දේශපාලන අනන්‍යතාව මාක්ස්වාදයේ සිට අම්බෙද්කාර්වාදය දක්වා වෙනස් වීම වඩාත් මානුෂිය සහ වඩාත් අන්තර්කරණය වු සමාජයක පදනම් මත බිහිවන නව අනාගතයක් වෙනුවෙන් ගත් සවිඥානක වෙනස්වීමකි. අත්‍යවශයෙන්ම බහුජනවාදී සංස්කෘතික එකමුතුවේ හෝ ජාතිවාදයේ නිපැයුමක් වන, ප්‍රභූන්ගේ ත්‍යාගවන්ත බවේ සහ සහයෝගීතාවේ වෙස් මුහුණ ගලවා දැමීමට මේ ස්ථාරයනය වු සමාජයට බල කිරීමට මට අවශ්‍යය.
මගේ මූලිකම ඕනෑකම නම් මර්ධනාකරී ව්‍යුහයන් වන පංතිය, කුලය සහ ලිංග භේදය හා ලැජ්ජාවකින් තොරව සබඳකම් නඩත්තු කරන ඉහළ පංතියේ ප්‍රගතිශිලිබව වෙනුවෙන් කරන කුහක පෙනී සිටීම අභියෝගයට ලක් කිරීමත් එය හෙළිදරව් කිරීමත්ය.සංස්කෘතික අනුරාගයත්, ප්‍රජා දේශපාලනයත් අතර පවතින සහබැඳීමට එරෙහිවීමටත්, නිර්ප්‍රභූ ද්‍රාවිඩ ඉතිහාසය ජනප්‍රිය කිරීමටත්, නිදහසේ උද්දාමය මධ්‍යයේ රැඩිකල් යාථාර්වාදය ගැන සියුම්ව හඬගෑමටත් මට අවශ්‍යය. මාක්ස්වාදයෙන් තත්වාරෝපණය වූ මගේ ලෝක දැක්ම සමඟින් මා සිහින මවන්නෙ සහ ක්‍රියාකාරී වන්නෙ බාබ්සහෙබ්(අම්බෙද්කාර්) විසින් දකින්නට අපේක්ෂා කළ සමාජය නිර්මාණය කිරීමටය.
අම්බෙද්කාර් ගතානුගතික නොවූ සාමාජවාදියෙකි. ඔහු ඒකාධිපතිවාදී, අධිපතිවාදී පාලනයට සහ ධනපති පාලනයටද එරෙහි විය. ඔහු ස්වභාවික සම්පත් සුුරැකීම සම්බන්ධයෙන් රජය සතු වගකිම වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු පුරවැසියන් රැක ගන්නා රජයක් වෙනුවෙන් පෙනී සිටියේය. එසේ කරන අතරවාරයේම ඔහු සෝවියට් පන්නයේ සමාජවාදී රජයක් වෙත නැඹුරු වන ඒකාධිපති ප්‍රවණාතාවන් පිළිබඳවද අනතුරු ඇඟව්වේය.
ඔහු ධනවාදයට එරෙහි විය. ඔහු සූරා කනු ලැබෙන, අයුක්තිසහගත වැඩවසම් ලක්ෂණ වලට එරෙහි වූයේය. ඔහු කම්කරු සමිති ගොඩ නැඟුවේය. ඔහුගේ පළමු දේශපාලන පක්ෂය වුයේ ‘නිදහස් කම්කරු පක්ෂයයි’. ඔහු අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරන වකවානුවේ දී පැය අටේ වැඩ මුරය සහ ප්‍රසූත නිවාඩු සඳහා වන පනත් සම්මත කර ගැනීමට ඔහු සමත් වුයේය.
ඔහු සමාජවාදයේ ඇලි ගැලී සිටියේ නැත. ඒ ඔහුගේ අධීක්ෂක ෆේබියන් සාමාජිකයකු වු නිසා නොව, ඔහු ඉන්දියාව් බිම් මට්ටමේ යථාර්තයන් හොඳින් අධ්‍යනය කළ නිසාය. ඔහු මාක්ස්වාදී ව්‍යාපාර වල ක්‍රමවේදයන් පිළිබඳ සැක කළ අතර ඒවා විවේචනය ද කළේය. එමෙන්ම ඔහු මාකස්වාදී ව්‍යාපාර ආරාජිකවාදයට පත් විය හැකි පහසු වියහැකියාව පිළිබඳවද අවධානය යොමු කළේය. මේ සියල්ලටම මත්තෙන් ඉන්දියාව තුළ ඇති පීඩාව ආර්ථිකමය පමණක් නොව සංස්කෘතිකමය ස්වරූපයක් ද ඇති බව ඔහු වටහා ගත්තේය.
දේශපාලන අර්ථ ක්‍රමයන්, මතවාදයන්, ආගමික අදැහිම් හා ගතානුගතියකයන් සමාජයේ එක් ප්‍රභු පැළැන්තියට පමණක් සේවය කරන්නේය සහ එයට වෙනත් විකල්ප නැතය, යන්න සමාජ යථාර්තයක් ලෙස පිළි ගන්නා ලෝකයක් තුළ රෝහිත් වෙමුලා වැන්නවුන් පිටස්තරයන්ය. නමුත් රෝහිත් සතු විකල්ප දෙකම ඔහු කඩිනමින් භාවිතාවේ යෙදවීය. පළමුව ඔහු සංවිධානාත්මකව ක්‍රියාත්මක වීය. එය මේ සමාජයට දැනුනේ නැත. ඒ ඔහුගේ වරද නිසා නොව, අනෙකුන් ඔහු හා අවදි ව නොසිටි නිසාය. අනතුරුව ඔහු දෙවැනි විකල්පය ද වේලාසනින්ම ක්‍රියාත්මක කලේය. ඒ අත්හැර දැමීමය. ඔහු දැන් අප අතර නැත. එහෙත් ඔහුගේ හඬ අප අතර දෝංකාර දෙයි. කිසිවෙකු අවධිව සිටින්නේ නම් ඔහුව අනිවාර්යෙන්ම ඇසෙනු ඇත.
පෙබරවාරි, 24, 2013
අප ජීවත් වන්නේ මිනිස් පැවැත්මේ මුග්ධම වකවානුවකය. අප මෙහෙයවනු ලබන්නේ උද්යෝගය විසින් නොව අනාරක්ෂිත බව විසින්ය. ලාලසාව විසින් නොව මුදල් විසින්ය. අප ජීවත්වීමට පුරුදු වී ඇත්තේ කෙසේදැයි අපට අමතකව ගොස් ඇත. අප පුරුදු ව සිටියේ අදට වඩා දහගුණයක මුදල් අඩුවෙන් හම්බකිරීමටය, ඉතින් අපට හවස් යාමයේ ප්‍රීතිමක් නින්දක් ගැනීමට කාලවේලා තිබුණි. අප දයාබරිත බව සහ අවංකභාවය පිළිබඳ සැළකිලිමත් වු නිසා අප කීර්තිය සහ ප්‍රසිද්ධියට ලොබ බැඳ ගත්තේ නැත.
අප නපුර ප්‍රශ්න කිරිමටත් එයට එරෙහිව සටන් කිරීමටත් බිය වුයේ නැත. අප අන් අයට උදව් කිරීමට හෝ මුදල් වැය කිරීමට බිය වුයේ නැත. අප සියල්ලන්ම එක පවුලක් සේ අප හඟින්නට වු නිසා අප එකිනෙකා හා තරඟ කළේ නැත, අපට කෑදරකම් කිරිමට අවශ්‍ය වුයේ නැත.අප අපගේ ධනය, ආහාර සහ ආදරය එකිනෙකා හා බෙදා ගත්තෙමු. අපි දේශප්‍රේමීන් වීමු, නමුත් ඉන් අන්ධ නොවීමු. අප සාද පැවැත්වුයේ සියල්ලන් එක් රොක් වීම සඳහා මිස දේශපාලන හේතු නිසාවත්, සංඛ්‍යාත්මක ශක්තිය පෙන්වීමටත් වත් නොවෙයි.
අපි කුමක් කරමින් සිටිමු ද? අප ඇත්තටම ජීවත් වෙනවාද නැත්හොත් මළ කඳන් මෙන් කාලය ගෙවා දමනවාද?
✎ සුභාෂිණි චතුරිකා
මෙම ලිපිය පළමුවරට 2016 වසරේ දෙසැම්බර් මස 04 වැනි දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.
Comments
Post a Comment