Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

නූතන ශිෂ්ඨචාරයේ බල වන්දනාව කෙතරම් භයංකාරද? - ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච්


 

1986 අප්‍රියෙල් මස 26 වැනිදා ‍ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය තුළ ලෝක ඉතිහාසයේ එතෙක් නොවු විරූ දැවැන්තම න්‍යෂ්ටික ප්‍රතික්‍රියක අනතුර සිදු වූ අතර, චර්නොබිල් මෙන්ම යු‍රෝපයේ හතරෙන් තුනක තරම් පැතිරුණු විශාල ප්‍රදේශයක වායුගෝලය දූෂණය වීමට එය හේතුවක් විය.

Voice of Chernobyl යනු එම ඛේදවාචකයට මුහුණ දුන් සාමාන්‍ය මිනිසුන් ගේ කතාව කියා පාන කෘතියකි. බෙලෝරුසියානු ජාතික, විමර්ශනාත්මක ජනමාධ්‍යවේදිනියක වන ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච් විසින් එම කෘතිය සම්පාදනය කර ඇති අතර එම කෘතිය ලීවීම සඳහා ඇය එම දැවැන්ත විනාශයට මුහුණ දුන් සහ ඉන් බලපෑමට ලක් වූ අහිංසක සිවිල් පුරවැසියාගේ සිට එම අනතුරරේ දී සුන්බුන් ඉවත් කිරීමට කැඳවනු ලැබූ හමුදා භටයා දක්වා විශාල පිරිසක් සමඟ සම්මුඛ සාකච්ජා පවත්වා තිබුණාය. එම මිනිසුන්ගෙන් මතුව ආ කතාන්දර තුළින් ඔවුන්ගේ ජීවිතය හා බැඳී ඇති බිය, කෝපය සහ අස්ථාවර බව ‍මොනවට ඉස්මතු වී තිබුණි.

මෙ‍ම කෘතිය තුළ සම්මුඛ සාකච්ජා මඟින් එක් රැස් කරන ලද ජීවිත කතාන්තර ආත්ම කථනයන් ලෙස ඉතාමත් අපූරුවට ඉදිරිපත් කොට ඇත‍. එය සැබවින්ම සාහිත්‍ය ශානරයක් ලෙස ගත්විට ද එක්තරා ආකරයකට නැවුම් ශෛලියකි. සාහිත්‍ය විචාරකයන්ට අනුව Voices of Chernobyl කෘතිය, එහි ගැබ් ව ඇති අමතක නොකළ හැකි සහ මඟහැර නොයා හැකි කුළුණු ගුණයේ ශක්තියත් අවංකභාවයත් නිසා එය චර්නොබිල් අනතුර පිළිබඳ ලියැවුණු අතිශයින් වැදගත් කෘතියක් ලෙස සලකනු හැකිවෙයි.

ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච් 1948 වසරේ මැයි තිස් එක් වෙනිදා යුක්රේනයේ උපත ලද්දාය, ඇයගේ පියා බෙලොරුසියානු ජාතිකයෙකු වූ අතර මව යුක්රේන කාන්තාවක් වූවාය.

ස්වෙත්ලානා උසස් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ප්‍රාදේශිය පාසලක ගුරුවරියක ලෙස සේවය කළත් පසුකාලයක ඇය තම වෘත්තිය ලෙස පුවත්පත් කලාව තෝරා ගත්තාය. ජනමාධ්‍යවේදිනියක ලෙස ක්‍රියාකරන කාලවකවානුවේ සිදුවීම් සහ තත්වයන් වාර්තා කිරිමේ සුදුසුම ආකාරය, හැඩය හෝ ශානරය කුමක් දැයි සොයා යාමට ඇය බොහෝ සේ වෙහෙසුණාය. පසු කලෙක ඇය කෙරෙන් විශේෂ ආකාරයේ සාහිත්‍ය ශානරයක් බිහි වන්නේ එහි ප්‍රථිපලයක් ලෙසය.

එක් සම්මුඛ සාකච්ඡාවක දී ඇය මෙසේ පැවසුවාය. “ සැබෑ ජීවිතයට හැකි උපරිමයෙන් සමීප වීමට හැකි සාහිත්‍යයික ක්‍රමය මම සොයමින් සිටියා. යථාර්ථය මාව ආකර්ෂණය කර ගත්තෙ කාන්දමක් වගේ, එය මට වද දුන්නා, මාව මෝහනයට පත් කළා, මට ඕනෙ එය කඩදාසියකට ග්‍රහණය කර ගන්න. ඉතින් මම මේ සැබෑ මිනිස් හඬවල්, පාපොච්චරාණයන්, සාක්ෂි ලබා දීම් සහිත සාහිත්‍ය ශානරයක් සකස් කොට ගත්තා. මෙහෙම තමයි මම ලෝකය දකින්නෙ සහ අහන්නෙ - තනි තනි හඬවල් එකතු වුනු සඡ්ජායනයක් හෝ හැම තොරතුරක්ම ඇතුළත් කොලාජ් චිත්‍රයක්. මෙහෙම තමයි මගේ ඇස සහ කන වැඩ කරන්නෙ. මේ ආකාරයෙන් මට එකම මොහොතකදි ලේඛිකාවක්, වාර්තාකාරියක්, සමාජ විද්‍යඥවරියක්, මනෝවිද්‍යාඥවරියක් සහ අනුශාසකවරියක් වෙන්න පුළුවනි.”

ඇය 1997 වසරේ ලියා පළ කළ Vocie of Chernobyl කෘතියට අමතරව 1985 වසරේදී, දෙවැනි ලෝක යුද්ධය සමයේ සෝවියට් කාන්තාවගේ ජීවිතය පිළිබඳව විමර්ෂණාත්මක අධ්‍යනයක් ලෙස සිදු කළ, The Unwomanly Face of War: An Oral History of Women in World War II නම් කෘතිය එළි දැක්වූවාය. එම වසරේදීම Last Witnesses: An Oral History of the Children of World War II නම් කෘතිය ද පළ කළ අතර එහි දැක්වෙන්නේ ළමුන්ගේ ඇසින් යුද්ධය දකින ආකාරය පෙන්වා දෙන කතන්දර ගොන්නකි.



ඉන් අනතුරුව 1990 වසරෙදී Zinky Boys: Soviet Voices from the Afghanistan War කෘතිය තුළින් ඇෆ්ගන් යුද්ධයට සෝවියට්වරුන්ගේ මැදිහත් වීම කියාපන සැඟවුණු කතාන්දර රාශියක් එම කෘතිය හරහා එළිදැක්වෙන ලදි. ඇය 2013 වසරේ Secondhand Time: The Last of the Soviets නම් කෘතිය ලියා පළ කරන ලද අතර එහි මූලිකව දැක්වෙන්නේ සෝවියට් සමුහාණ්ඩුව බිඳ වැටීමෙන් පසු එම රාජ්‍යයේ ජනතාව ගතකරන ගැටළුකාරි ජනජීවිතය පිළිබඳවයි.

මේ සියළු කෘති වල දී ඇය සිය අධ්‍යයනයට පාදක කරගන්නේ ඒ ඒ වාතාවරණය තුළ ජිවත් වූ ජනතාවගේ එදිනෙදා අත්දැකීම්ය, ඒ සුවිශේෂි තත්වයන් වලට මුහුණ දෙමින්, ජීවිතය රැකගැනීම සඳහා අරගල කරන ජනතාවගේ අත්දැකීම් කතන්දර ලෙස ඔවුන්ගේ වදන් වලින් කරන ලද විස්තර කිරීම්ය.

ඇය විසින් ඉටු කරන ලද එම සාහිත්‍යයික කාර්යභාරය වෙනුවෙන් ඇය 2015 වසරේ සාහිත්‍යය සඳහා වූ නෝබල් සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

මෙම සටහන Dalkey Archive press වෙබ් අඩවියේ පළවූ, ඇනා ලුවිස් නම් ජනමාධ්‍යවේදිනිය විසින් Vocie of Chernobyl කෘතියේ කතුවරිය, එනම් ස්වෙත්ලානා ඇලෙක්සියෙවිච් සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද්දකි.

ස්වෙත්ලානාගේ නැවුම් ජනමාධ්‍යවේදී ප්‍රවේශය සහ එහි ඇති අව්‍යාජ බව විසින්, මුළු මහත් සමාජයම කම්පිත කරමින් ද අතිශය දරුණු විඳවීම් වලට පාත්‍ර වෙමින් ද වරින් වර මිනිසා මුහුණ දුන් සහ මුහුණ දෙන ‍ඛේදවාචක එක සැනින් අමතක කර දමමින් කිසිවක් සිදු නොවුනා සේ ජීවත් විටම වඩාත් සමත් කමක් ‍‍පෙන්වන අපගේ වැනි සමාජයකට ද එහි ජනමාධ්‍යවේදීන්ට ද තම එකිනෙකාගේ වගකීම පිළිබඳ නැවත සිතා බලන්නට මෙම සටහන අවකාශ සපයනු ඇත.

  • ඔබගේ Voices from Chernobyl කෘතිය කියන්නේ පාඨකයාව සසල කරවන, හරිම කුළුණු බර නිර්මාණයක්. එය කියැවූ පාඨකයා තුළ කිනම් ආකාරයේ බලපෑමක්, චිත්තවේගයක් එම නිර්මාණය තුලින් ඇති කරනු ඇතැයි ඔබ බලාපොරොත්තු වුයේ ද?

ජනතාව අතර මතයක් තිබුණා, එම සිදුවීම වෙලා වසර ගණනාවකට පස්සේ, අපි චර්නොබිල් පිපිරීම ගැන හැම දෙයක් දන්නවා , දැන් ඒක අතීතයට අයිති දෙයක් කියලා, කිසිම කෙනෙකුට දැන් ඒ ගැන කතා කරන්නවත්, දැන ගන්නවත් උවමනාවක් නැහැ කියලා.

නමුත් ඇත්තටම ඒක කාටවත් අමතක වෙලා නැහැ වගේම, චර්නොබිල් සිදුවීම හා බැඳුණු සිංසිද්ධිය අප මනාව වටහා ගෙනත් නැහැ.

  • Voices of Chernobyl ගැන ජනතාව වැඩිමනත් ලෙස දක්වන ප්‍රතිචාරය කුමක්ද?

බහුලව ලැබුණු ප්‍රතිචාරය වුනේ එහි හෙලිදරව්වීම සම්බන්ධයෙන්. “ඇත්තටම මොකද වුනේ කියලා මට නම් කිසිම අදහසක් තිබුණෙ නැහැ. විශේෂයෙන්ම පුද්ගලික මට්ටමින්.” වගේ දේවල් තමයි ගොඩක් අය කිව්වෙ. මේ පොතින් කියන්නේ චර්නොබිල් බේදවාචකය සිදු වුනේ කොහොමද, ඇයි පිපිරුවේ කියන ගැන නෙමෙයි, නමුත් ඉන් කතා කරන්නේ චර්නොබිල් පිපිරුමට පසු ලෝකය ගැන. මිනිසුන් තනි තනි පුද්ගලයෝ විදියට ඒකට ප්‍රතිචාර දැක්වුයේ කොහොමද, එයට මුහුණ දුන්නේ කොහොමද යන කාරණා ගැන. මෙම කෘතියෙන් චර්නොබිල් ‍‍පිපිරුම නිසා කෙතරම් පරිසර හානි වුනාද, මිනිසාගේ ජාන වලට කෙතරම් බලපෑම් සිදු‍වුනා ද යන්න ගැන කතා කරන්නෙ නැහැ. නමුත් ඉන් අවධානය යොමු කරන්නේ, එම අත්දැකීම් අපගේ ජීවිත වලට සහ සවිඥානයට කෙතරම් බලපෑමක් කර ඇද්ද යන්න පිළිබඳවයි.

චර්නොබිල් අලුත් භීතින් සහ සංවේදීතාවන් නිර්මාණය කරද්දී, එය පැවති සමහර පැරණි සංවේදතාවන් සහ භීතින් අහෝසි කොට දමනවා. බොහෝදෙනක් තමන්ගේ පවුල අනතුරින් මුදවා ගෙන පලා යනවද නැත්නම් පක්ෂයට පක්ෂපාතී වෙලා චර්නොබිල් වල නවතිනවා ද කියන තෝරාගැනීමට මුහුණ දීමෙන් පසු, එම ප්‍රදේශ අත්හැර දමා යාමත් සමඟ, ජනතාව තුළ කොමියුනිස්ට් පාලනයට තියෙන බය නිෂේධනය වුනා.

කිරණ වලට තියෙන බිය විසින්, ඔවුන් ගේ පක්ෂ නායකයින්ට සහ පක්ෂ අධිකාරියට ඔවුන් තුළ තියෙන බිය ලිහිල් කලා, යටත් පිරිසෙයින් ඒක ටිකක් හරි අඩු කළා. රජයේ අනුමැතිය නොලැබී තිබෙන තත්වයක් තුළ වුවත්, පක්ෂයේ ඉහළ නිල තල දැරූවන්, පලා යාම වෙනුවෙන් තම පක්ෂ සාමාජිකත්වය ඉවත දැමීමට කැමති වීම ම කියන්නේ, චර්නොබිල් ඛේදවාචකයේ දරුණු බරපතලකම කියාපාන්නක්.

බොහෝ දෙනෙක් චර්නොබිල් ගැන කිසිවක් ම දැන හිටියේ නැහැ. මම එය ලියන විට මගේ මනසේ මැවුණු ප්‍රතිචාර සැබවිමන්ම ප‍ොතට අනුපාණය සැපයූවා: මිනිසුන් ඔවුන‍්ගේ ජීවිතවලත්, පොදුවේ මිනිස් ජීවිතයෙත් ඇති අර්ථය පිළිබඳ හිතන්නට පටන් ගනීවි; අප සියල්ලන්වම ආරක්ෂා කරන නව ලෝක දැක්මක් අවශ්‍ය බව දැනෙන්නට පටන් ගනීවි.


  • ඔබ කොච්චර කාලයක් තොරතුරු එකතු කිරීම සහ සාක්ෂිකරුවන් හා සම්මුඛව සාකච්ඡා කිරීම සිදු කළාද ? පොත වෙනුවෙන් ඔබ කොච්චර කාලයක් මිඩංගු කළා ද? ඒ වගේම ඔබ එකතු කරගත් අමුද්‍රව්‍ය වලින් කෙතරම් ප්‍රමාණයක් ඔබ පොතට ඇතුළත් කළා ද?

ම‍ගේ කෘති සියල්ලේම ඇතුළත් වෙලා තියෙන්නෙ ඇසින් දුටුවන්‍ගේ සාක්ෂි, මිනිසුන් ගේ ජීවමාන හඬ. මම සාමාන්‍යයෙන් කෘතියක් නිම කරන්න අවුරුදු තුන හතරක් ගත කරනවා. ඒත් මෙම කෘතියට මම අවුරුදු දහයකට වඩා ගත කළා.

චර්නොබිල් වල මම ගත කරපු පළමු මාස කීපයේ, විවිධ රටවලින් පැමිණි ජනමාධ්‍යවේදීන් වූ අප කණ්ඩායමක් විදියට වැඩ කළා, සිය දහසක් ප්‍රශ්න ඇහුවා.

නමුත් මට ඉක්මනින්ම ඒත්තු ගියා, අප එදිනෙදා දන්න සාමාන්‍ය සුපුරුදු වදන් සහ පාරිභාෂික වචන වලින් අප එය වාර්තා කරන්න උත්සාහ කළත්, අපි ගැටෙමින් සිටියේ, අප කිසිවක්ම නොදන්න, අද්භූත ප්‍රපංචයක් සමඟ කියන එක.

අප කොමියුනිස්ට් ක්‍ර‍මයේ වැරදි, මිනිසුන් ව රැවටීමට ලක් වූ සැටි, මෙවැනි තත්වයකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳ ජනතාව දැනුවත් කර නොතිබීම වැනි දේ පිළිබඳ කතා කළා.

ඒවා සැබවින්ම ඇත්ත. නමුත් ඒ සියළු ප්‍රශ්න කිරීම් මට තරමක් මතුපිටින් සිදු වු දේ ලෙසයි දැනුනේ. මුළුමනින්ම දේශපාලනික සහ මුළුමනින්ම විද්‍යාත්මක පිළිතුරු මට ප්‍රමාණවත් වුනේ නැහැ. කිසිවෙක් ඒ මෙ‍ාහොතෙ ප්‍රශ්නය දිහා ගැඹුරින් බලන්න උත්සාහ කලේ නැහැ.

ම‍ට තේරුණා, මට එහිදී මුණ ගැහුණු අනික් ජනමාධ්‍යවේදීන් කළා වගේ මටත් එකම ආකා‍රයේ පොත් ගොඩක් ඉක්මනින්ම ලියලා ඉවර කරන්න පුළුවන්කම තියෙන්න ඉඩ තිබුනා කියලා.

ඒවගේ පොත් සිය ගණනින් තියෙනවා. ඒ නිසා මම තෝරා ගත්තා වෙනස් ප්‍රවේශයක්. මම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවන් සමඟ සම්මුඛ සාකච්ජා කිරීම ආරම්භ කළා, පන්සියයකට වඩා වැඩි පිරිසක්. මට ඒකට අවුරුදු දහයකට වඩා වැය කරන්න සිදු වුනා.

මට හදිසියේම අලුත් යථාර්ථයක් එක්ක ගනුදෙනු කරන්න සිදු වුණු නිසා, ඇත්තටම තමන්ට සිද්ධ වුනේ මොකක්ද, ඔවුන්ගේ ලෝකයේ පැරණි ක්‍රම හා ගැටෙන විට අලුත් ලෝකය තුළ සිදු වන්නේ කුමක්ද වැනි දේ සිතමින් සිටි, එම අත්දැකීමෙන් ජීවිතය සුණු විසුණුව ගිය මිනිසුන් මම ගැන විපරමින් හිටියා.

උදාහරණයක් විදියට, මට මතකයි සෝවියට්- ඇෆ්ගන් යුද්ධයේ යුධ යානා පැදවූ ගුවන් නියමුවන් ගිනි දැල්වෙන ප්‍රතික්‍රියකය උඩින් තම යානා පදවමින් සිටියා, ඔවුන්ගේ මැෂින් තුවක්කු වලින් මොනවද කරන්නෙ කියලා කිසිම අදහසක් නැතිව.

එහෙම තමයි හමුදා ක්‍රමයක් ක්‍රියාත්මක වුනේ: ඔවුන් විශ්වාස කළා, දැවැන්ත හමුදා භටයන් සංඛ්‍යාවක් සහ යුධ තාක්ෂණය ඕනෑම ප්‍රශ්නයක් විසඳාවි කියලා. නමුත් ඔවුන්ට සිදු වෙලා තිබුණ‍ෙ අධිශක්ති ‍භෞතික විද්‍යාව, න්‍යෂ්ටික අංශු සහ විකිරණ සමඟ ගනුදෙනු කරන්න. කිසිම කෙනෙක් දැන ගෙන හිටියේ නැහැ මොකක්ද සිද්ධ වෙන්නේ කියලා.

මම අන්තිමයා දක්වාම දත්ත එකතු කළා. පන්සියයකට හෝ ඊට වඩා වැඩි පුද්ගලයින් සංඛ්‍යාවක් හා කළ සම්මුඛ සාකච්ඡා වලින් පොතේ අන්තිමට සංස්කරණයට සම්මුඛ සාකච්ඡා 107 අඩංගු වුනා, දළ වශයෙන් පහට එකක්.

මෙය තමයි මගෙ අනිත් කෘති සම්බන්ධයෙන් ද සිදු වු‍නේ - මම සෑම සම්මුඛ සාකච්ඡා පහකින් එකක් තෝරා ගත්තා, එය මුද්‍රිත ප‍ොතක් බවට පත් වුනා. මම එක් පුද්ගලයෙක් සමග ටේප් පට හතරක් විතර පටිගත කරනවා, එය මුද්‍රිත පිටු 100-150 අතර ප්‍රමාණයක් බවට පත්වෙනවා, ඔවුන්‍ගේ හ‍ඬේ තීව්රතාවය අනුව. අන්තිමේ කෘතියට ඇතුළත් වෙන්නෙ පිටු දහයක් වැනි ප්‍රමාණයක් පමණයි.


  • කොහොමද ඔබ තීරණය කළේ Voices of Chernobyl ලියන්න. එයට බලපෑ ප්‍රධාන උත්තේජනයන් පැන නැඟුනේ කොතැනකින් ද?

චර්නොබිල් විනාශය අපට පෙන්වා දෙනවා නූතන ශිෂ්ඨාචාරයේ ‘බල වන්දනාව’ කෙතරම් භයංකාර ද, සියල්ලටම ඉහළින් ඇති බලය සහ බලහත්කාරය පිළිබඳ ඇති ගොඬ නැඟී ඇති වැරදි සහගත විශ්වාසය කෙතරම් ඇස් නිලංකාර කරවන සුළු ද කියලා. අපගේ ‍නව ලෝක දැක්ම අපටම කෙතරම් හානිකරද. මනුෂ්‍යත්වයේ මිනිසා ඉන්නෙ තාක්ෂණික මිනිසාට ‍ කෙතරම් පිටුපසින්ද කියන එක අප මේ සිදුවීමෙන් තේරුම්ගත්තා.

මෙ‍ම ව්‍යසනය අපගේ හිස් මත පාවෙමින් තිබූ මුල් ම දින වල සිට, - එය විකිරණ වළාවක් ලෙසින් පමණක් නොව - හුදු ප්‍රතික්‍රියකයේ වහලය පුපුරා යාමක් ලෙසින් පමණක් නොව - සැබවින්ම චර්නොබිල් ව්‍යසනය අප‍ගේ සමස්ත‍ ‍ලෝක දැක්ම ම පුපුරුවා හැරියා. මුල් වර‍ට සෝවියට් ඇෆ්ගන් යුද්ධයෙන් හෙල්ලුම් කෑ සෝවියට් ක්‍රමයේ මූලික පදනම ඉන් බිඳ වැටුනා.

එය අපේ ජීවිත සුනුවිසුණු කළ දැවැන්ත පිපිරීමක්. මට තාමත් මතකයි, පොදු ජනතාව ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව පතා බෙලෝ රුසියාවේ සිය දහස් ගණනක් දෙනා ආණඩුවට විරුද්ධව පෙළපාළි ගියා. මට ඒ සුවිසල් අත්දැකීම ගැන කතා කරන්න ඕනෑ වුනා. පුරුෂ මූලික සහ සම්ප්‍රදායික සංස්කෘතියක් තිබුණු බෙලොරුසියාවට හදිසියේ ම සිදු වුනා අනාගතය පිළිබඳ ඇති වුණු බියක් හා සටන් කරන්න.


  • මාධ්‍ය සහ නිල වාර්තා මඟින් ප්‍රචාරය වුනු දේ සහ ඔබ ජනතාවගෙන් ඇසුව කතාන්දරය අතර කොපමණ වෙනසක් තිබුනාද?

ඒ කතන්දර එකිනෙකට හරිම වෙනස්. නිල වාර්තා වල සාමාන්‍ය මිනිසුන් ගැන තිබුණෙ හරිම අල්ප වශයෙන්. පාලන අධිකාරියේ ප්‍රධාන අරමුණ මොකක්ද? ඔවුන් නිතරම තදබල ලෙස උත්සාහ කලේ තමන්ව ම රැක ගන්න. දරදඬු පාලකයන් එය මොනවට ප්‍රදර්ශනය කළා. ජනතාව නොසන්සුන් වනවාට ඔවුන් බයයි, සත්‍යය ට බයයි. වැඩි පිරිසකට කිසිම අවබෝධයක් තිබුණේ නැහැ ඔවුන් වටා මොනවද සිද්ධ වෙන්නෙ කියලා.

පාලන අධිකාරිය තමන්ව රැක ගන්න දරපු උත්සාහයෙදී ඔවුන් ජනතාව රුවටුවා.

පුංචි දරුවන් මිදුලේ පාපන්දු සෙල්ලම් කළා, ඔවුන් පාරට වෙලා හිම කිරම කෑවා, දණ ගාන‍ ළමා ළපටියන් වැලි සෙල්ලම් කළා, බො‍හෝ අය වෙරළේ අව් රස්නය පවා වින්ඳා. අද වෙද්දි ඒ ළමයින්ගේ වැඩි දෙනෙක් ‍රෝගතුර වෙලා, නැත්නම් මියැදිලා. ඒ ‍කාලේ, න්‍යෂ්ටික ව්‍යසනයකට මුහුණ දෙමින් සිටි ඒ ජනතාව තේරුම් ගත්තා ඒ ප්‍රශ්නෙත් එක්ක ඔවුන් තනි වෙලා කියලා.

ඔවුන් දැක්කා ඇත්ත ඔවුන්ගෙන් වසන් වෙලා, ‍විද්‍යාඥයන්ට, වෛද්‍යවරුන්ට තියා වෙන කාටවත් ඔවුන්ව බේර ගන්න බැරි විත්තිය.

උද්ගත වුණු තත්වය මුළුමනින්ම ඔවුන්ට අලුත් දෙයක්. උදාහරණයක් විදියට, ගිනි නිවන භටයින්ගේ සිරුරු කුඩා ප්‍රතික්‍රියක බවට පත් වුනා. වෛද්‍යවරු ඔවුන්ගේ ඇඳුම් ඉවත් කර ඔවුන්ව තමන්ගේ අත් වලින්ම පරීක්ෂාවට ලක් කළා. ඒ වෛද්‍යවරුන්, ගිනි නිවන භටයන් මඟින් මාරාන්තික විකිරණ වලට හසු වුනා. පසුකළෙක ඒ ගිනි නිවන භටයන් සහ වෛද්‍යවරුන්ගෙන් බො‍හෝ දෙනෙක් මරණයට පත් වුනා.

ගිනි නිවන භටයන්ට ආරක්ෂිත ආවරණ තිබුණේ නැහැ. ඔවුන් එතනට ළංවුනේ සාමාන්‍ය ගින්නක් කියලා හිතාගෙන. කිසිම කෙනෙක් ඒවගේ තත්වයකට මුහුණ දෙන්න සූදානම් වෙලා හිටියේ නැහැ. මා හා සම්මුඛ සාකච්ඡා කළ අය මට ඒ ජීවිත වල ඇත්ත කතාව කිව්වා. උදාහරණයක් විදියට ප්‍රිප්යාට් නගරයේ, ජනතාව සිය මහල් නිවෙස් වලින් ඉවත් කිරීමට ප්‍රථම ඔවුන් සිය නිවසේ බැල්කනි වලට වී ඉහළට නැඟුණු ගිනි දැල් නරඹමින් සිටියා. ඔවුන්ගේ මතකයට අනුව එය දීප්තමත් රත් පැහැයෙන් දිදුළන ලද අපුරු දර්ශනයක්. “ එය මරණයේ දසුනයි. අපි කවදාවත් හිතුවේ නැහැ, මරණය ඒ තරම් සුන්දරව දර්ශනය වෙන දෙයක් කියලා.” ඔවුන් තමන්ගේ දරුවන්ට පවා ඒ දර්ශනයේ සුන්දරත්වය නැරඹීමට ඉඩ සැලසුවා. “ ඇවිත් බලන්න, ඔයාලට මේක මැරෙන මොහොත දක්වා අමතක වෙන එකක් නැහැ.” ඔවුන් ඔවුන්ගේ මරණයේ දර්ශනය රස විඳිමින් හිටියා. මම කතා කරපු ගොඩක් ජනතාව ඒ ව්‍යසන‍යේ දසුන ගැන එවැනි ගොඩක් තොරතුරු මට ලබා දුන්නා.

මම ජීවත් වුනේ ඒවා මම කොහොමහරි ලියා තියන්න ඕනෙ කියන අදහසකින්. සමහර විට මිනිස්සුන්ට තාම හරියට තේරෙන්නෙ නැහැ මොකක්ද වුනේ කියලා, ඒ නිසා හරිම වැදගත් ඇත්ත සාක්ෂි ලියා තබන එක. චර්නොබිල් වල ඇත්ත ඉතිහාසය, අද වෙනතුරුම වැළීලි නොගිය ඉතිහාසය.


  • ඔබ පැරිසියේ ජිවත්වන බෙලෝරුසියානු ලේඛිකාවක්. ඔබ කැමති, ඔබගේ සාහිත්‍යකරණය, එක් රටක‍ට අයිති දෙයක් ලෙස සලකනවාටද නැතහොත් කිසිම කලාපයකට හෝ රටකට සීමා නොවුවක් ලෙස සලකනවාටද?

මම නිදහස් ලේඛිකාවක්. මට කියන්න බැහැ මම ‍සෝවියට් ලේඛිකාවක් කියලා, ඒ වගේම රුසියානු ලේඛිකාවක් කියලාවත්. මම ‘සෝවියට්’ කියලා අදහස් කළේ, පැරණි සෝවියට් රාජ්‍යය, එනම් සෝවියට් යුතෝපියානු රාජ්‍යය.

මම බෙලෝරුසියානු ලේඛිකාවක් කියලා මම හඳුන්වා ගන්නෙත් නැහැ. මම කැමති මාව හඳුන්වා දෙන්න, සෝවියට් යුතෝපියාව පැවති යුගයට අයත්, එ් යුගය පිළිබඳ පොත් ලියන ලේඛිකාවක් විදියට.මම පැරිසියේ ජිවත් වෙන්නෙ තාවකාලිකව. මෙහි වාසය කිරීම බෙලොරුසියවේ දේශපාලනික වාතාවරණයත්, පවතින පාලනයට මගේ ඇති විරුද්ධත්වයත් හා බැඳී පවතිනවා.

මගෙ පොත් බොහොමයක් විදෙස් රටවල ප්‍රකාශයට පත් වෙලා තියෙනවා, නමුත් බෙලෝ රුසියාවේ පළ වුනේ නැහැ. ලුකෂෙන්කෝ ග‍ෙ අවුරුදු දහයක පාලන කාලය තුළ මගෙ එකම පොතක් වත් එහි ප්‍රකාශයට පත් කරන්න ඉඩ දුන්න‍ෙ නැහැ. නමුත් මම මේ දැවැන්ත යුතෝපියාවට එරෙහි පුංචි මිනිසා ගැන නොනවත්වාම ලිව්වා. මම විස්තර කලා ඒ යුතෝපියාව බිඳ වැටුණු ආකාරය සහ එය පොදු ජනතාවට බලපෑ ආකාරය.

  • ඔබේ පොත් වල දක්නට තියෙන්නෙ, සම්මුඛ සාකච්ඡා සහ ප්‍රබන්ධකරණ ශිල්ප ක්‍රම වල සංයෝජනයක්. එය මට පේන හැටියට හරිම සුවිශේෂි ආකාරයක ශානරයක්. තවත් වෙනත් ලේඛකයො ඉන්නවාද එවැනි ශෛලියක් භාවිතා කරන?

වාචික කතාන්දර, ජීවමය කටහඬ පටිගත කිරීම ආධාරයෙන් කතා කීමෙහි කලාව මට කලින් රුසියානු සාහිත්‍ය තුළ පැවතුණ දෙයක්. මම අදහස් කළේ, දනිල් ග්‍රැනින් සහ ඇල්ස් ඇඩොමොවිච් ලෙනින් ග්‍රාදය යටත් කරගැනීම සම්බන්ධයෙන් කළ කෘති සම්බන්ධව.

උදාහරණයක් විදියට, මම පැවත එන්නේ ගිනිගත් ගම්මානයකින්. මෙම කෘති මට අනුප්‍රාණය සැපයුවා මගෙ ස්වතන්ත්‍ර කෘති වලට. එකම සිදුවීමකට ජීවිතය විසින් ප්‍රබන්ධ හෝ වාර්තා නොවන, විවිධත්වයක් සහිත බොහෝ ස්වරූපයන් සහ අර්ථ නිරූපණයන් ලබා දිය හැකි බව මට අවබෝධ වුණා. එය මා පොළඹවනු ලැබුවා වෙනස් ආකාරයේ ආඛ්‍යාන විධියක් සොයා යන්න.

මම තීරණය කලා, මං මාවත් වල මුණ ගැ‍හෙන පුද්ගල හඬ, මා වටා මා අසලම ඇති අමුද්‍රව්‍ය එක්කාසු කරන්න. එක් එක් පුද්ගලයා මට ලබා දෙන පෙළ ඔවුන‍්ගේම එකක්. මම තේරුම් ගත්තා ඉන් මට පොතක් ලියන්න හැකියාව තියෙනවා කියලා. ජීවිතය දරා ගත නොහෙන තරම් ‍වේගයෙන් වෙනස් වෙනවා- සාමුහිකව විතරයි අපිට පුළුවන් බහු මානයන් සහිත තනි දර්ශනයක් නිර්මාණ කරගන්න.

මම මගේ කෘති පහම ‍කලේ මේ විදියට. මගෙ කෘතිවල වීරයින්, හැඟීම් සහ සිදුවීම් සියල්ලම ඇත්ත. මම ගොඩාක් ප්‍රශ්න අහනවා, කතාංග තෝරා ගන්නවා, මම මගේ කෘති නිර්මාණයට දායකත්වය දුන්නේ ඒ ආකාරයට. මගේ භූමිකාව වුනේ මහ මාවතේ සිදුවන දේවලට කන් දී ගෙන සිටීම පමණක් නොව, නිරීක්ෂකයෙක් සහ චින්තකයෙක් ලෙසද ක්‍රියා කිරීමයි. පිටතින් බලන කෙනෙක් ට හිතෙන්න පුළුවන් ඒක හරිම සරල ක්‍රියාවලියක් කියලා: මිනිස්සු මට එයාලගේ ජීවිත කතාන්දරය කියනවා, ඒක එච්චරයි කියලා. ඒත් ඒක ඒ තරම් සරල නැහැ.

එතැනදි වැදගත් ඔබ අහ‍න දේ , අහන විදිය, ඔබට ඇහෙන දේ වගේම එම කතා බහෙන් ඔබ පොතකට තෝරා ගන්නෙ දේ මොනවද කියන එකත්.

මම හිතනවා ජීවිතය විහිදෙන පුළුල් පරාසය ගැන ඇත්තටම ගැඹුරින් සිතා බලන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ, තොරතුරු ඒක් රැස් කර ඒවා පිළිබඳ වාර්තා තැබීමක් සිදු කරන්නේ නැතිනම්, මානව සාක්ෂ්‍ය නැත්නම්.

  • ඔබ සඳහන් කර තිබෙනවා, ඔබ පවසන ආකාරයට ඔබගේ කෘතියේ “ සමාප්තිය වෙනුවට” නම් කොටසේ ඔබ අනාගතය වෙනුවෙන් ලියනවා කියලා ඔබට දැනෙනවා කියලා. ඔබ ඒ ගැන යමක් කීවොත්?

මම චර්නොබිල් කලාපය පුරා සැරිසැරූ වසර දහය පුරාවට මට දැනෙමින් තිබුණ‍ෙ මම අනාගතය වෙනුවෙන් සටහන් තබනවා වැනි හැඟීමක්. මිනිසුන් නැවත නැවත කියන්න වුනා, “ මම මීට ඉස්සර මේ වගේ දෙයක් දැකලා තිබුණේ නැහැ. වෙන කොහේදි වත් කියවලා තිබුණෙ නැහැ‍. මම මීට කලින් චිත්‍රපටියකවත් මේ වගේ දෙයක් දැකලා ‍තිබුණෙ නැහැ වගේම කවුරි හරි ඒ වගේ දෙයක් විස්තර කරනවාත් ඇහිලා නැහැ.” වගේ දේවල්.

චර්නොබිල් පෙර නොවු විරූ හැඟීම් නිර්මාණය කළා, එනම් ආදරය කිරීමට ඇති වූ බිය, ජනතාව දරුවන් හදන්න බිය වුනා; වගකීම් පිළිබඳ නව සංවේදනයන් නිර්මාණය කළා; අලුත් ප්‍රශ්න අසනු ලැබුවා. උදාහරණයක් විදියට, අපේ දරුවන් ආබාධ සහිතව ඉපදුනොත් මොකද වෙන්න‍ෙ? වසර තුන් දහසේ සිට, වසර සියක් දහසක් දක්වා පැතිර යන පරමාණු බිඳී යාමේ කාල පරාසයක් ලෙස පමණක් අප එවන් වූ හැඟීම් අර්ථ ගන්වන්නේ කොහොමද?

එය ජිවිතය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ දැක්මක් ලබා දෙනවා. ඔබට හිතා ගන්න පුළුවන්ද කිසියම් පුද්ගලයෙකුට, ඔහුගේ හෝ ඇයගේ නිවස හෝ උපන් ස්ථානය සදාකල් එලෙසම තිබියදී, ආපිට එන්න නොහැකි වග දැන දැනම එය අත් හැර දමා යද්දි ඔහුට හෝ ඇයට සිතෙන දේ කුමක් ද කියන එක?

එය ඔවුන්ට සම්පූර්ණයෙන්ම අලුත් ඇත්දැකීමක් වුනා. උදාහරණයක් විදියට මෙහෙම ගනිමු, විකිරණ වලට හසුවුණ ගම්මාන පිළිබඳව ගැටළුව. ඒවා කොහොමද වල දාන්නෙ? මුලින්ම එම ස්ථාන වලින් ජනතාව ඉවත් කරනවා, ඉන් පසු තමන්ට අයිති දේවල් වලින් තවමත් පිරී පවතින ඒ එකිනෙක නිවස වටා ගැඹුරු අඟල් තනනවා. ඔවුන් සියළුම සතුන්ව මරලා වල දානවා. මිනිසා ඒ ආකාරයෙන් තමන්ගේ ගෘහශ්‍රිත සතුන්, ඉඩම් සහ නිවාස අත්හැර දමනු ලැබුවා.

ඔබ දැන් නැවත එම ගම්මාන වෙත යන්නේ නම්, ඉපැරණි සොහොන් බිම් හැරෙන්නට ඔබ දකිනු ඇත්තේ සතුන් වල දැමූ ‍ගොඩැලි සහිත නිවාස පමණයි. එම දසුන සැබවින්ම ඒ සියල්ලම වෙනත් යුගයකට අයත් ය යන භංයාකාර සිතුවිල්ල ඇති කරවන්නක්.


  • අවසාන වශයෙන්..., ඇමරිකාව මෙම කෘතිය කුමන ආකාරයෙන් පිළි ගනීවිද?


ඇමරිකාව සිත් ගන්නා සුළු රටක්. ඒත් මම හිතනවා 9/11 න් පස්සේ එය වෙනස් රටක් බවට පත් වුනා කියලා.


ඇමරිකාව මේ වන විට තේරුම් ගන්න ඕනෙ කියලා මම හිතනවා, දැන් ලෝකය කොපමණ අවදානම් සහගත ද අපි එකිනෙකා කෙතරම් ‍ අනෙකා මත රඳා පවතිනවා ද කියන එක.
මම හිතන්නේ පෙරට වඩා 9/11 සිදුවිමෙන් පසු ඇමරිකානුවන් මේ කෘතිය පිළි ගනීවි කියලා. මට දැනෙනවා එහිදි මට මේ අත්දැකීම වැදගත් යැයි කියලා හිතන පිරිසක් සොයා ගැනීමට හැකි වේවී කියලා. නවීන ලෝකය තුළ අනිත් මිනිසුන් ගේ විඳවීම් නොසලකා හැරීම අතිශයින්ම භයානකයි.


රුසියාව සහ බෙලෝරුසියාව කියන්නෙ ඒ පැත්තෙන් ගත්තොත්, විඳවීම් සහ බිහිසුණු අත්දැකීම් වල ශිෂ්ඨාචාරයක්. අපට ඇහෙනවා බටහිර, රුසියාවේ ඛේදවාචක ගැන අපහාසාත්මක ලෙස කතා කරන සැටි: ‘රුසි‍යානුවන් ගේ හැම තිස්සෙම මොකක් හරි වැරැද්දක් තියෙනවා’. ඇත්තම කාරණය නම් අද මුළු ලෝකයම අවදානමක තියෙන්නෙ. අපේ ජීවිත වල වැඩිමනත් කොටසක් අරක් ගෙන තියෙන්නෙ බිය- ආදරයටත් පවා වැඩියෙන්.

එහෙයින් රුසියානුවන් ගේ විඳවීම් විශේෂ වටිනාකමක් අත්පත් කර ගන්නවා. අපි සියල්ලන්ටම ජීවත් වෙන්න ධෛර්යය අවශ්‍යයි. මම විශ්වාස කරනවා එම‍ ධෛර්යය අප සතුව ප්‍රමාණවත් තරම් තිබෙනවා කියලා.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2016/08 දින සිලෝන් ටයිම්ස් වෙබ් අඩවියේ පළවෙන ලදි.


Comments