Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

මම කැමතියි නැවුම් දේ සොයා යන මනසත් එක්ක කාර්ය බහුල වෙන්න - ඔර්හාන් පමුක්


“සංස්කෘතික ගැටුමත්, එක්ව බැඳී සිටීමත් පිළිබඳ නව සංකේතයන් සොයා යාම නිසා” තුර්කි ජාතික ගත් කතුවර ඔර්හාන් පමුක් 2006 වසරේදී, නෝබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ඉස්තාන්බුල් නගරයේ ජීවත් වෙමින් සාහිත්‍ය කටයුතුවල නියැලෙන පමුක් දැනට ලොව පුරා විසිරී සිටින සාහිත්‍ය ලෝලින් අතර ඉමහත් ප්‍රසාදයටත් ගෞරවාදරයටත් පත්ව ඇති ලේඛකයෙකි.

ඔහුගේ සාහිත්‍ය නිර්මාණ ලොව පුරා විවිධ භාෂා 64කින්, මිලියන 12කට අධික සංඛ්‍යාවක් අලෙවී වී ඇත. The White Castle, The Black Book, The New Life, My Name Is Red, Snow, The Museum of Innocence සහ A Strangeness in My Mind ඔහුගේ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ සහ වැඩිමනත් ලෙස අලෙවි වූ කෘති කිහිපයකි. සාහිත්‍ය විචාරකයින්ට අනුව ඔහුගේ බොහෝමයක් කෘති තුළින් සමකාලීන තුර්කියේ මර්ධනකාරි දේශාපලනය, අදහස් ප්‍රකාශකිරීමේ නිදහස සීමා කිරීම, කුර්දිවරුන් වැනි තුර්කියේ සුළු ජාතින්ට සිදුවන අඩත්තේට්ටම්, රජය සහ ආගම වෙන්කිරීමේ අසමත්කම සහ ඓතිහාසික සත්‍යය පිටු දැකීම පිළිබඳ කියැවෙයි. ඔහු 2016 වසරේ තුර්කියේ එහි ජනාධිපති රෙසෙප් තයිප් අර්දෝවන් ගේ පාලනයට විරුද්ධව සිදුවූ හමුදා කුමණ්ත්‍රණය ආසර්ථක වීම පිළිබඳ සිය ප්‍රසාදය පළ කරන අතරම, මේ වන විට එම හමුදා කුමණ්ත්‍රණය හේතුවක් කොට ගෙන අර්දෝවන් ගේ පාලනය විසින් සිය ප්‍රතිවිරුද්ධ දේශපාලකයන් සහ ආණ්ඩුව විවේචනය කරන්නන් ප්‍රජාතන්ත්‍රවිරෝධි ලෙස මර්ධනය කිරීම පිළිබඳ ඉතාමත් ප්‍රසිද්ධියේ සිය විරෝධය දක්වමින් ඒ පිළිබඳ ආණ්ඩුවට බලපෑම් කරන චරිතයක් බවට ද පත්ව ඇත.

ඔර්හාන් පමුක්, ඔහුගේ දහවැනි නවකතාව වන The Red-Haired Woman අගෝස්තු මාසයේ(2017) එළි දැක්වීය. තුර්කියේ කුඩා නගරයක, එකිනෙකා අතර වූ සමීප සබඳකම් දෙ‍දරා ගිය ළිං කනින්නකු හා ඔහුගේ අත් උදව් කරුවකු වටා එම කතාව ගෙතී ඇත. ඔහුගේ මෙම කෘතිය විසින්ද කියා පාන්නේ, ඔහුගේ පෙර සාහිත්‍ය නිර්මාණවලදි සේම, තුර්කියේ ගිනි ගත් ඉතිහාසය, තුර්කි නාගරික සහ ගැමි සමාජයන්ගේ බෙදීම, ස්ත්‍රී පුරුෂ සබඳකම් වැනි තේමා ඇතුළත් විෂය ක්‍ෂේත්‍රයන් හා ගනුදෙනු කිරීමට ඇති පමුක් ගේ ඇති නොසංසි‍ඳෙන කැමැත්තයි.

මේ සංවාදය තුළ පමුක් ඔහුගේ රට තුළ, එනම් තුර්කිය තුළ සිදුවන දේශපාලනික මර්ධනය, ඔහුගේ ලිවීමේ කාර්යය කාලයත් සමඟ වෙනස් වු ආකාරය සහ ඔහුගේ ලිවීමේ දින චර්යාව පිළිබඳව කතා බහ කරයි.

  • ඔබ වරක් සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබෙනවා ඔබ දවසට පැය දහයක් වැඩ කරනවා කියලා. එය තවමත් ඇත්තක්ද?

ඔව් සහතිකව . මම වැඩකිරීමෙන් සතුටු වෙනවා. ප්‍රබන්ධ නිර්මාණකරණය මම දකින්නේ නැහැ කිසියම් බරපතල කාර්යයක් විදියට, මට එය දැනෙන්නේ ‍කුඩා දරුවෙක් නිතර දෙවේලේ ඔහුගේ සෙල්ලම්බඩු සමඟ කෙළිදෙළින් ගත කරනවා වැනි හැඟීමක්.

  • ප්‍රබන්ධ නොවන කෘතියක් සම්පාදනය කිරීම ඔබට කාර්යයක් ලෙස දැනෙනවද?

නැහැ. මම දැන් ලියන්නෙ ප්‍රබන්ධ. ප්‍රබන්ධ නොවන කෘතියක් තුළට යථාර්ථය හසු කරගන්නවාට වඩා නැවුම් දේ සොයා යන මනසත් එක්ක කාර්ය බහුල වෙන්න මම කැමතියි.

  • ඔබගේ දහවැනි පොත ලීවීමේ ක්‍රියාවලිය ඔබගේ ලේඛණ වෘත්තියේ ආරම්භක කාලයට වඩා වෙනස් වෙන්නෙ ක‍ොහොමද?

ආරම්භයෙදී, ඒ කියන්නෙ මීට අවුරුදු 40 කට පමණ ඉහතදී, මගේ නිර්මාණ විර කාව්‍ය වගේ, සියල්ල ආනාවරණය කරනවා, ඒ වගේම පර්යේෂණාත්මකයි. නමුත් මේ වතාවේ මට ඕනෑ වුනේ පාරභෞතිකවිද්‍යාව සහ දර්ශනය ඇතුළත් කෙටි නවකතාවක් ලියන්න. ඒ වගේම මට ඕනෑ වුනා ළිං කනින්නෙක් සහ ඔහුගේ ගෝලයා ගැන යථාර්තවාදී කතාවක් ලියන්න.

1988 වසරේ ගිම්හාන කාලයෙදි මම ජීවත් වූ නිවෙසට ආසන්න බිම් කඩක සිටි එවැනි මිනිසුන් පිරිසක් මම නිරීක්ෂණය කළා. එයත් කුඩා දිවයිනක්, මම කුමක් හෝ මගේ පොතක් ලියමින් සිටියේ. ඔවුන් පරණ තාලෙට ළිං කනින්නන්. ඔවුන් තවමත් ඒ කාර්යය ඉස්තාන්බුල් නගරය අවට සිදු කරමින් ඉන්නවා,මොකද ආණ්ඩුව සපයන ජලය මිනිසුන්ට ප්‍රමාණවත් වුණේ නැහැ, විශේෂයෙන් හැත්තෑව අසූව දශක වල. ඒ නිසා ඔවුන් හැම කෙනාම ‍වගේ පෙළඹුනා තමන්ගේ වත්ත තුළ ළිඳක් තනා ගන්න. මම දුටුවා ඔවුන් ළිං ඉසිද්දී, එහි වැඩිමහළු ප්‍රධාන ශිල්පියා සහ ඔහුට අත් උදව් සපයන ආධුනිකයා අතර ඇතිවන පිය පුතු සම්බන්ධය. වැඩිමහල්ලා ඔහුට ශිල්ප ඥානය ලබා දෙමින් ඔහුට බැණ අඩ ගසන නමුත් මුදු මොළොක් ලෙස ඔහුව ආරක්ෂා කරයි, ඔහු ගැන සැලකිලිමත් වෙයි. දිනපතාම රාත්‍රිකාලයට නගරයේ සක්මනේ යෙදෙන විට එය මම දුටුවා. ඔවු‍න්ගේ සබඳතාව මා චංචල කළා, ඒ බො‍හෝදුරට මා වටා එතරම් නොරැඳුණ, මාව කෙදිනකවත් පාලනය කිරීමට වෑයම් නොකළ පියෙකු ඇසුරේ උස්මහත් වු නිසා වෙන්න ඇති.



  • සවිඥානික ලෙස ඔබ ඔබගේ නිර්මාණ......, මට ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ ඒවා පෙරදිග සහ අපරදිග යා කරනවා කියලා..

ඔව් මට තේරෙනවා ඔබේ ප්‍රශ්නය

  • හරි!

මට ඒ ගැන සවිඥානික වෙන්න උවමනාවක් නැහැ. ඔය කතාව ඔය විදියටම පැතිරුණා මගේ පොත් මුලින්ම ජ්‍යාතන්තරව පරිවර්තනය වෙන්න පටන් ගත් වකවානුවෙදි, ඒ කියන්නෙ 1990 සහ 2000 මුල් භාගයෙදි. බොහොමයක් මාව හැඳිනුවේ “පෙරදිග අපරදිග යා කරන පාලම” විදියට. මම එයට කැමති නැහැ. ඇයි? මම මගේ රට ගැන අනික් අයට පහදා දෙන්න පොත් ලියන්නේ නැති නිසා. මම ලියන්නෙ - මම බොළඳ එකෙකු ලෙස මාවම රවට්ටා ගනිමින් - වඩාත් ගැඹුරු හේතු නිසා. ඉස්තාන්බුල් වල ලේඛකයකු වීම නිසාත් මට ඒ කතාව අහන්න සිදු වුණා. ඔව් ඇත්තෙන්ම මම ඉස්තාන්බුල් ගැන ලියනවා තමයි. මම මුළු ජීවිත කාලෙම ජීවත් වෙලා තියෙන්නෙ ඉස්තාන්බුල් වල. මට දැන් වයස 65යි, ඒ කියන්නේ මම මේ නගරයේ වසර 65ක්ම ජිවත් වෙලා තියෙනවා. මම ලියන කතා ඉස්තාන්බුල් නගරය ගැන වීම නොවැළැක්විය හැකියි, ඒත් එය මා විසින් බලකොට පවරා ගත් කාර්යයක්ද නොවෙයි. මම ලියන්නෙ මම හොඳින් දන්නා මිනිසුන් ගැන, අනික් හැම ලේඛකයෙක් වගේම. නමුත් ඔව් මම මනුෂ්‍යත්වය ගැන ලියනවා, ඔව් මම ඉස්තාන්බුල් නගරයේ මනුෂ්‍යත්වය සිසාරා ගමන් කළා, වක්‍රාකාරයෙන් මම ඉස්තාන්බුල් ලේඛකයෙක්. වසර 2000 මුල් භාගයේ දි මුලින්ම මා පාලමක් ලෙස හැඳින්වූ විදෙස් විචාරකයින් ගැන මම දන්නවා, ඒ ගැන කතා නොකර ඉමු. ආයෙත් ඉස්තාන්බුල් ලේඛකයා! ඉතින් ඒක මගේ ව්‍යාපෘතියක් නෙමෙයි. නමුත් මම ඒ දේවල් වලින් ඉගෙනගත්තා. පාලමක් වීම නිසා, මා ජිවත් වන ලෝකයේ දේවල් සෙසු ලෝකයේ අයට පැහැදිලි කරනවා. ඉතින් මම කතා ලියනවා. අවසානයේ ඒවා සාර්ථක වුනාම එය යමක් පැහැදිලි කරනවා, නමුත් මගේ උත්තේජනය එය නොවෙයි, මගේ පෙළඹවීම පාලමක් වීම නොවෙයි.

  • ඔබ හිතනවාද ඔබ යුරෝපීය ජාතිකයෙක් කියලා?

ඔව්. අනෙක් ඕනෑම තුර්කි ජාතිකෙයක් වගේම මමත් යුරෝපියානුවෙක්, ඒ වගේම මම අයිති තුර්කියට. මම අනාගමිකයි වගේම මුස්ලිම් සංස්කෘතියේ නවීන පැවැත්මේ කොටසක්. මම ආගමට නැඹුරු පුද්ගලයෙක් නෙමෙයි, ඔව් මම අනාගමික පුද්ගලයෙක්, නමුත් මම අයිති ඒ ශිෂ්ඨාචාරයටයි.

ඔව්! මම 2000 වසරේදී තුර්කිය යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලැබීම උදෙසා මැදිහත් වෙමින් කාලය ගත කළ සහ සමහරවිට කාලය කා දැමූ ආඩම්බරකාර යුරෝපියානුවෙක්. එය යහපත් කාලයක්. දැන් තත්වය වඩාත් නරක අතට හැරිලා. දැන් වෙද්දි තුර්කිය බරෑරුම් ලෙස යුරෝපිය සංගමයේ සාමාජිකත්වය ඉල්ලා සිටින අයදුම් කරුවෙක් නොවෙයි. දැන් තුර්කිය යුරෝපය සමඟ ආරවුල් වල පැටලිලා. මට ඒ ගැන කණගාටුයි.



  • පසුගිය වස‍රේ තුර්කියේ හමුදා කුමණ්ත්‍රණයක් සිදුවුණා, ඒ සම්බන්ධයෙන් ඔබේ පළමු භාවාත්මක ප්‍රතික්‍රියාව කුමක්ද? වර්තමාන ආණ්ඩුවට විරුද්ධව තවදුරටත් කුමණ්ත්‍රණ සිදු වෙමින් යනවා.

මම එය සිදුවෙමින් පැවති මොහොතේ සිට නැරඹුවා. එය රාත්‍රී 9.20 ට විතර ඇරඹුනේ. මම ඒ වෙද්දිත් මාධ්‍ය මඟින්, අන්තර් ජාලයෙන්, වැඩිමනත් ලෙස රූපවාහිනියෙන් එය දකිමින් හිටියේ. මම පුදුමයටත්, සංත්‍රාසයටත් පත් වුනා. මම අලුයම තුන විතර වෙනකල් නැරඹුවා. හමුදා කුමන්ත්‍රණය සාර්ථක නොවන බව වැටහුණු නිසා මම නිදි පෙත්තක් බීලා නිදා ගන්න ගියා. මට පිස්සු වගේ, ලොකු පීඩනයක් දැනුනා. මට තේරුනා මට නින්ද යන්නේ නැහැ කියලා. මට අපිරිමිත සතුටක් දැනුනා ඒ කුමන්ත්‍රණය අසාර්ථක වීම ගැන, මම කෘතඥ වුණා ඒ රාත්‍රියේ වීදි වල‍ට බැහැලා, යුධ ටැංකි නවත්වපු නිර්භිත ජනතාවට. එයාලා, ඔයා මම වගේ බටහිර ‍යුරෝපියානු අර්ථයෙන් ලිබරල් නැහැ. නමුත් ඔවුන් තමයි තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් අර්දෝවන් හෝ නැතිනම් ඔවුන්ගේ පක්ෂය ‍හෝ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරපු ජනතාව. ඔවුන් මා විශ්වාස කරන ලිබරල් වටිනාකම් ආරක්ෂා කලේ නැහැ, ඒත් ව්‍යංගයෙන් ඔවුන් තුර්කි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා.

  • එම සිදුවීමෙන් වසරක් ගෙවී ගිය පසුත් ඔබට එය ඒ ආකාරයෙන්ම දැනෙනවද?

නැහැ. මට ඒ ආකාරයෙන්ම දැන් දැනෙන්නෙ නැහැ. මම ඒ මිනිසුන්ට කෘතඥ වෙනවා. ඒත් ආණ්ඩුව හමුදා කුමන්ත්‍රණය පාවිච්චි කරගත්තා බොහෝමයක් ලිබරල්වාදින් මර්දනය කරන්න. ආණ්ඩුව විවේචනය කළ බොහෝ අයව රජයේ රැකියා වලින් නෙරපා දමලා. 40,000 කට අධික පිරිසක් අත් අඩංගුවේ, ජනමාධ්‍ය වේදීන් 140 ක් පමණ හිරකූඩුවල. ප්‍රබන්ධ නිර්මාණය තුර්කියට ගැටළුවක් නොවෙයි. ඒත් ඔබ දේශපාලනයට පැටළුනොත් ජනමාධ්‍යවේදීන්, දේශපාලන විචාරකයින් වගේම, ඉන් ඔබත් කරදරයට පත් වෙනවා.

  • ඒ අනුව තමයි ඔබ කරදරයට පත් වුණේ, දේශපාලනය සහ ඉතිහාසය ගැන කතා කරලා.

ඔව්. මට ආණ්ඩුවෙන් ගොඩක් කරදර වුණා, ඒ මගේ නවකතා නිසා නෙමෙයි, මා කළ සම්මුඛ සාකච්ඡා නිසා, මම කියූ දේවල් නිසා. මගේ දේශපාලන අදහස්, ඔවුන් නිතරම මගෙන් විමසන දෙයක්. ඔබ දන්නවා, ලේඛකයන්ව පීඩනයට පත්කරන ගැටළු සම්බන්ධයෙන් ඇති පරණතාලේ, ගතානුගතික, හණමිටි අදහස් බොහෝමයක්ම පැරණි සෝවියට් දේශයත්, තිස් ගණන් වල ජර්මනියත් පසුබිම් වු අදහස්. ඔබට කෆ්කා තරම් හොඳට නවකතාවක් ලියන්න පුළුවන්, ඔබ ආණ්ඩුව විවේචනය නොකරන තාක් කල් ඔබ ඒ ගැන වද වෙන්න ඕනෙ නැහැ. නමුත් ඔබ ආණ්ඩුව විවේචනය කරන්නේ නම් - මගේ මිත්‍රයෝ ඉන්නවා, සිර ගත වෙලා, ආණ්ඩුව විවේචනය කළ වරදට. තුර්කියේ ගොඩක් නිර්භීත මිනිසුන් ඉන්නවා. තුර්කිය කියන්නෙ එහි පාලක පක්ෂය, රෙසෙප් තයිප් අර්දෝවන් හෝ ඔහුගේ පක්ෂය(AKP) නෙමෙයි. එහි නිර්භීත ලිබරල්වාදින් ඉන්නවා පෙරළා සටන් වදින. පසුගිය මැතිවරණයේ ආණ්ඩුව ගත්තේ ඡන්ද 51%යි. විරුද්ධ පක්ෂවලට ඡන්ද 49% ක් හිමි වුණා. පාලක පක්ෂය සහ විපක්ෂය හිමි කරගත් ජන්ද අතර ලොකු වෙනසක් නැහැ. එය හරිම සිත් ගන්නා සුළු කාරණයක්. ඒ නිසයි මම මෙහෙම ඉන්න‍ෙ. සැබවින්ම ඒ මගේ රට.

  • කාලයත් සමඟ ඔබේ රට වෙනසකට භාජනය වන විට, ලේඛකයෙක් ලෙස ඔබේ ලේඛණ කාර්යය වෙනස් වුණේ කොහොමද?

හොඳ ප්‍රශ්නයක්. ලේඛකයෙක් විදියට, මම නියතවශයෙන්ම වෙනස් වෙමින් සිටිනවා. ඒත් ලිවිමේ අදිටන - ලිවීමට සහ ප්‍රබන්ධ කලාව හා සැබැදි සියල්ලටම ඇති ආදරය හෝ ලැබඳියාව තවමත් එසේමයි. මුල් දවස්වල මම ප්‍රබන්ධ ලිීවේ කවි වගේ. හැම අකුරු පේළියක්ම, වචනයක්ම, හැම වැකියක් ගැනම සිතමින් තමයි වැකියක් ලියා නිම කළේ. එසේම මම නිතරම උත්සාහ කළා පර්යේෂණාත්මක වෙන්න, පශ්චාද් නුනතවාදී, නුතනවාදි හෝ වෙන ඕනෑම ආකාරයේ පර්යේෂණාත්මක දෙයක් අත්හදා බලන්න. ඒවගේම මුල් සාහිත්‍ය නිර්මාණ වල මම වැඩි වශයෙන්ම ලිව්වේ මගෙ සංස්කෘතිය, මගේ ජනතාව, මැද පංතිය, ඉහළ මැද පංතිය, අනාගමික බටහරිකරණය වූ යුරෝපීය ඉස්තාන්බුල් හි තුර්කිවරුන් ගැන. මම උස් මහත් වුණේ මෙහෙ, මම වැඩිපුර ලියන්නෙත් මෙහෙ ගැන. මේ පොතේ පවා, ( The Red-Haired Woman) අර්ධ වශයෙන් ඔවුන් ගැන, අර්ධ වශයෙන් ඔවුන් නොවන අය ගැන - ඒ විශාල වට රවුම- මුළු තුර්කිය ගැනම. මම ඒ විශාල වට රවුම ගැන වැඩි වැඩියෙන් ලියන්න පටන් ගත්තා. මේ අලුත් පොත, කෙටි නවකතාව වෙනසක් සහිත, කාව්‍යාත්මක වෙනස් බවකින් යුත් පියවරුන්, පුතුන් සහ ඔවුන්ගේ පරම්පරා ගැන ලියවුණු කෘතියක්. සැබවිමන් පිටු 200කින් යුතු මේ කෘතිය පරම්පරා තුනක් ගැන කියවෙන නිර්මාණයක්.





  • නවකතාවක වඩාත් වැදගත් ආරම්භයද අවසානයද?

නවකතාවක දී එක සමාන ලෙස ඒ දෙකම වැදගත්. පළමු වැකිය සම්පූර්ණ කෘතිය තුළ අන්තර්ගත වන ස්වරය කුළු ගැන්විය යුතුයි. එය ඉදිරියට එළැඹෙන්නට නියමිත දේ සඳහා පඨකයා සූදානම් කරනවා. එය තමයි වදන් සාගරයකින් අපට හමුවෙන පළමු වදන් බිඳ, ඒ නිසා එය රසවත් මෙන්ම සිත් ගන්නා සුළු විය යුතුයි. ඒ ව‍ගේම තමයි අවසානයත්. එය තමයි අප එම පොත කියවීමේ මතකයන් වල පළමු වදන් බිඳ. අවාසනය, පොතේ සෙසු අන්තර්ගතය ඇඟවිය යුතුවාක් සේම ඒ හා සන්නිවේදනයද කළ යුතුයි, එසේම අවාසන වැකිය අවසාන මධ්‍යස්ත හැරවුම ද විය යුතුයි. සැබවින්ම පළමු හා අවසාන වැකි පොතේ මෘදු අයිකනයක් හෝ සංකේතයක් බවට පත් විය යුතුයි. මම මේ ප්‍රශ්නයට හරි කැමතියි මොකද අහම්බ‍යකින් වගේ The Red-Haired Women කෘතියේ අවසාන වැකි එහි පළමු වැකි වලට ඉඟි සපයනවා. “මට ඕනෑ වුනේ ලේඛකයෙක් වෙන්න. නමුත් මම විස්තර කිරීමට යන සිදුවීම් නිසා මම ඉංජිනේරු විද්‍යාව සහ භු විද්‍යාව ඉගෙනගෙන ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවෙක් වුණා.”


ඇසුරු කොට ගත් තොරතුරු මුලාශ්‍ර - The daily beast, Slate, The Newyorktimes, Paris review

✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට2017.09.03 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.

Comments