Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

වසර දෙසීයකට පසු ජේන් ඔස්ටින්

 


ජේන් ඔස්ටින් මෙලොවින් සමුගෙන දෙසීය වැනි අනුමස්රණය යෙදී තිබුණේ මෙම වසරේ(2017) ජූලි 18 වැනිදාටය. ඒ නිමිත්තෙන් ඇයගේ මව්බිම වන එක්සත් රාජධානියේ පමණක් නොව, ලොව පුරා සිටින සාහිත්‍ය ලෝලීහු විවිධ උත්සව, ප්‍රදර්ශන සහ අධ්‍යයන කව සංවිධානය කරමින් මීට වසර දෙසීයකට ඉහතදී අප අතරින් වියෝ වූ සුප්‍රසිද්ධ ලේඛිකාවගේ ජීවිතය සහ නිර්මාණ නැවත කියවීමකට උත්සාහ දරමින් සිටිති.

වසර දෙසීයකට පසු ද ඇය වර්තමානයේ ලොව පුරා විසිර සිටින සාහිත්‍ය ලෝලීන්ට දුරස් නොවූ, ඔවුනට හොඳින් අවබෝධ කොට ගත හැකි ලෝකයක් ගැන ලියූ ලේඛිකාවක් ලෙස සැලකිය හැකිය. ඒ නිසා ඇය ගැන කිසිවකුට විශේෂයෙන් හඳුන්වා දිය යුතු නැති අතර ඊට පරස්පර ලෙස, ඇය ගැන විශේෂයෙන් සිහිපත් කරන මේ මොහො‍තේදීත් සාහිත්‍ය විශාරදයන්, ජේන් ඔස්ටින් සහ ඇයගේ නිර්මාණ විෂය පද්ධතියක් කොට ගෙන පර්යේෂණ සිදු කරන, ඇය ගැන පොත් ලියා පළ කරන විද්වතුන් මතු කරන ප්‍රශ්නය වන්නේ, වසර දෙසීයක් ගත වී තිබියදීත් ඇය ගේ නිර්මාණ නව පරම්පරාවන් විසින් ‍එකසේම උණුසුමින් වැළඳ ගන්නේ ඇයි ද යන්නයි.

ජේන් ඔස්ටින් 1817 වසරේ මොලොවින් සමු ගත්තේ, ඇයට වයස අවුරුදු හතළිස් එකක්ව සිටියදීය. නමුත් ඇයගේ ඉතා කෙටි ජිවිත කාලයේදි ඇය බ්‍රිතාන්‍ය සාහිත්‍යය සහ සංස්කෘතිය මත ඇති කළ බලපෑම ඇයට වඩා දෙගුණයක් තරම් කාලයක් ජිවත් වූ වෙනත් සාහිත්‍යධරයින්ට වඩා ඉතා ප්‍රබලය.


ඇය විසින් ලියන ලද ප්‍රධාන නව කතා හය තුළින්(Sense and Sensibility — 1811, Pride and Prejudice — 1813, Mansfield Park — 1814, Emma — 1815, Persuasion — 1817, Northanger Abbey — 1817) ඇය, 1700 අගභාගයේ එංගලන්තයේ ජන ජීවිතය දෙස විවේචනාත්මක සහ උපහාසාත්මක බැල්මක් හෙලයි. ජිවිතයත් ආදරයත් ගැන ඇය ලියූ කතා තුළ හාස්‍ය ද උපහාසය ද පිරී පවතියි, ඇයගේ නිර්මාණ වලට පාදක වුණු යුගයත් එහි චරිතත්, කිසියම් යාථාර්තවාදී එළඹුමක් තුළ විකාශනය වෙයි. ඇය මිය ගොස් වසර දෙසීයක් ගෙවෙන මේ මොහොතේදී, ඩිජිටල් ලෝකයක් තුළ ජීවත් වන ඇයගේ නවකතා කියවූ වර්තමාන පාඨකයින් ඇයගේ ජිවිතය සහ නිර්මාණ විසින්, ලෝක සාහිත්‍යය තුළ කළ අනගි බලපෑම නිමිති කොටගෙන Twitter සමාජ ජාලා වෙබ් අඩි‍වියේ "janeausten200" යන ශීර්ෂපාඨයෙන් යුතු සංවාද පවා ආරම්භ කර ඇත්තේ ඒ නිසයි.

“ජේන් ඔස්ටින් ගේ නිර්මාණ අද කාලයටත් හොඳින්ම ගැලපෙනවා.” ජේන් ඔස්ටින් පදනමේ උතුරු දිග ශාඛාවේ සභාපතිවරිය වන මැරිලින් ජොයිස් කියා සිටියි.

“ඇය ලිව්වේ ඇය ජීවත් වුණු සමාජයේ ගැහැණු මිනිස්සු ගැන, ඔවුන්ගේ ප්‍රශ්න ගැන, දුෂ්කරතාවන් මධ්‍යයේ ජීවත්වන පවුල් ගැන, ගැහැණියකගේ විවාහය ගැන, ඇය විවාපත් විය යුත්තේ ඇයිද කියන එක ගැන. මේ දේවල් අදටත් අදාළයි, එදා වගේම.”

නවීන පන්නයේ ප්‍රසාංගික ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය කලාව, සමාජ වෙබ් අඩවි, අන්තර්ජාලය විසින් බොහෝ සමාජ සම්මතයන් පාලනය කරනු ලබන වර්තමන මිනිසාත්, ඇයගේ කෘති තුළින් නිරූපණය කළ සමාජයේ ඉඩම් හිමි පැළැන්තියත් එකිනෙකට වෙනස් වන නමුත් ඇය විසින් නිර්මාණය කළ පුද්ගල ප‍ෞරෂයන් අද සමාජයේ ද දකින්නට ලැබෙයි.

“ඔවුන් පොදු අවකාශයක ගැවසෙයි, ඒ ඔවුන් එකිනකාගේ සමානකම් ඇති නිසා. ඇය නිර්මාණය කළ චරිත බොහෝමයක් වර්තමානයේ අප ජීවත්වන සමාජය තුළ ද අපට මුණ ගැසෙයි” ජොයිස් මහත්මිය පවසයි.

ලන්ඩනයේ යුනිවර්සිටි කොලේජ් හි ඉංග්‍රීසි සාහිත්‍ය මහාචාර්ය‍ ‍ජෝන් මලන්ට අනුව ඇයගේ නිර්මාණ වෙත ඇති සදා නොවෙනස් වන සුළු පාඨක ආකර්ෂණයට හේතුව ඇයගේ සුවිශේෂී ලිවීමේ ශෛලියයි.

“බුද්ධිමත් කාන්තාවන් තමන්ට ගැලපෙන ස්වාමියා සොයා ගැනීමට දරන වෑයම පිළිබඳ නවකතා බොහොමයක් ඒ කාලයේ ලියැවී තිබෙනවා. එම කෘති තුළ ද ඔස්ටින් ලියුවාක් මෙන් එක සමාන දේවල් පිළිබඳ සඳහන් ව තිබෙනවා - ධනය, මහන්තත්වය, ආගම, සදාචාරය සහ පංතිය. ඒ සියල්ල එකට තැබුවත් ඒ කිසිවක් ඔස්ටින් ගේ එක වැකියක් තරම් වටින්නේ නැහැ. ඒ ඇයගේ ලේඛණ ‍ශෛලියේ ඇති ප්‍රතිභාව නිසා. එහෙයින් ඇත්ත වශයෙන්ම ඇය ලියන්නේ කුමක්ද යන්න මත නොවෙයි ඇයගේ නිර්මාණ අපූර්වත්වයට පත් වෙන්නෙ, ඇය එය ලියන්නේ කෙසේද යන්න මතයි. අප ඇයව මධ්‍යස්ථ සහ සාම්ප්‍රදායික පුද්ගලයෙකු ලෙස හැඳින්වුවත් ඇය සැබවින්ම ශිල්පීය වශයෙන් විප්ලවීය ලේඛිකාවක්"


2011 වසරේදී ඇයගේ පළමු නවකතාව වන Sense and Sensibility ප්‍රකාශයට පත් වී වසර දෙසීයක් පිරීමේ සැමරුමෙන් ආරම්භ වී, ගත වූ වසර කිහිපය පුරාම ඇයගේ නිර්මාණ ජීවිතය අනුස්මරණය කිරීම ලෝකය පුරා විසිරී සිටින ඇයගේ සාහිත්‍ය ලෝලීන් අතින් සිදු විය.

ඇයගේ බොහොමයක් නවකතා මෙන්ම Sense and Sensibility කෘතියද 1980 වසරේ ටෙලි නාට්‍ය මාලාවක් ලෙසද, 1995 වසරේ චිත්‍රපටයක් ලෙස ද ප්‍රතිනිර්මාණය විය. එම වසරේදීම Pride and Prejudice කෘතිය ද BBC රූපවාහිනි නාලිකාව තුළ ටෙලි නාට්‍ය මාලාවක් ලෙස විකාශනය වීම ආරම්භ විය. ජේන් ඔස්ටින් ගේ කෘති පසුබිම් කොට ගත් නිර්මාණ ඉතා කෙටි කාලයක් තුළදී ජනතාව අතර ජනප්‍රියත්වයට පත් වන්නට විය.




ඒ ආකාරයෙන් එතෙක් මෙතෙක් ලොව පුරා ඔස්ටින් ගේ කෘති විවිධ නිර්මාණ සඳහා එනම් කතාන්දර, චිත්‍රපට, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය සඳහා පසුබිම් වි ඇති වාර ගණන නොගිණිය හැකි තරම්ය. ප්‍රථම වරට ඇයගේ ජිවිත කතාව සහ නිර්මාණ පොතකට පසුබිම් කර ගත්තේ, ඇය ජීවිතයෙන් නික්මී වසර 16 ගෙවුණු 1833 වසරේදීය. එතැන් පටන් මේ වන විටදි ඇයගේ නිර්මාණ විවිධ හැඩ ගැන්වෙමින්, විවිධ අර්ථ කතනවලට ලක් වෙමින් කලා ලොව තුළ නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වෙමින් පවතියි.


“එම තත්වය ඇය තුළ තිබූ ප්‍රතිභා සම්පන්න ලේඛන හැකියාව විදහා දැක්වෙන කිසියම් ආකාරයක දර්ශකයක් වනවා. ඇය තමයි ඉංග්‍රීසි භාෂාවේ සංවාද නිර්මාණකරණයේ විශිෂ්ඨතම ලේඛිකාව” මහාචාර්ය මලන් පවසයි.

“සැබෑ ලෙසම ඇය ඇඳුම් පැළඳුම්,ගෙවල් දොරවල් හෝ මිනිසුන්ගේ පෙනුම ගැන විස්තර කරන්න වද වුනේ නැහැ. ඇය සැලකිලිමත් වුනේ මනස ගැන, භාහිර පෙනුම ගැන නෙමෙයි”

ඇය ජීවත් ව සිටි කාල‍යේදී ඇයගේ නවකතා ප්‍රකාශට පත් වුයේ වෙනත් නමකින් වන අතර, ඒවා ඇය ජීවතුන් අතර සිටින කාලෙයේදී තරමක් ජනප්‍රියත්වයට පත් වුවත් ඇය එම කෘතිවල කතුවරිය ලෙස හෙළිදරව් වුයේ නැත.

ජේන් ඔස්ටින් 1817 වසරෙදී ‍රෝගාතුර වී වින්චෙස්ටර් හි දි මිය ගිය අතර මීසම් ප්‍රධාන දෙව් මැදුරට අයත් ‍සුසාන භුමියෙදී ඇයගේ දේහය මිහිදන් කළේ කතෝලික පූජකයෙකුගේ දියණියක ලෙසින් පමණි. නමුත් වසර දෙසියකට පසු ඇයගේ මරණය ලොව පුරා විවිධ වැඩසටහන්, ප්‍රදර්ශන, සංගීත සැදෑවන් සහ ‍ ක‍තෝලික දේවස්ථානවල පැවැත්වෙන විශේෂ අනුස්මරණ පූජාවන් පැවැත්වීමට පවා තුඩු දෙන සිදුවීමක් බවට පත්ව ඇත.

“විශාල ජනතාවක් ආවා ඇයට ගෞරවය පුද කරන්න, එය ඔවුනට ප්‍රීති දායක කාරණයක් වගේම සැබවින්ම එය ගාම්භීර කාර්යයක්” වින්චෙස්ටර් ප්‍රධාන මීසම් දෙව් මැදුරේ පූජකවරියක් වන ගරු කැතරින් ඕගල් පවසයි.

“ඇය හොඳින් දන්නා ගීතිකා මෙන්ම ඇය විසින්ම ලියු යාච්ඥාවන් ද සමඟින් කෙරෙන සැන්දෑ ගීතමය පූජාවන් සැබවින්ම සුන්දර මෙන්ම ගෞරවනීය අත්දැකීමක්”

ලොවම ආදරය කරන ඉංග්‍රීසි ජාතික ලේඛිකාව අනුමස්රණය කිරීමේ වැඩ සටහන් එංගලන්තය පුරා විවිධාකාරයෙන් සංවිධානය වී තිබුණි.

‍ටෝකි නගරයේ කෞතුගාරයක ඔස්ටින් විසින් සිය එකම සොයුරිය කැසැන්ඩ්‍රාට ලියූ ලිපියක් ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට තබා ඇත. ඒ ඇයගේ මරණීන් සිව් වසරකට පසු ප්‍රකාශයට පත් වුණු සහ ඇයගේ ඉතාමත් ජනප්‍රිය නවකතාව වන Pride and Prejudice පිළිබඳ ඇය ඒ ලිපියේ ප්‍රථම වරට සඳහන් කොට ඇති නිසාය.

 ඒංගලන්තයේ බේසින්ස්ටෝක් නගරයේ ඉඳිවුනු ජේන් ඔස්ටින් ගේ පිළිරුව

ඇයගේ උසට සමාන ලෝකඩ වලින් තැනූ පිළිරුවක්, බේසින්ස්ටෝක් නගර මධ්‍යයේ නිරාවරණ වීම පසුගිය දවසක උත්සවාකාරයෙන් සිදු විය. ඔස්ටින් ඇයගේ ජීවිතයෙන් වසර විසිපහකට අධික කාලයක් බේසින්ටොක් නගරයට ආසන්න ස්ටීවන්ටන් හි ගත කොට ඇති අතර ඇය සිය විද්වත් සමාජ ඇසුරටත් සිය මිතුරු මිතුරියන් මුණ ගැසීමටත් බේසින්ට‍ොක් වෙත නිතර පැමිණියාය.

ඊට අමරතව, විලියම් ශේක්ස්පියර් සහ චාල්ස් ඩිකන්ස් ට පසුව එංගලන්ත පවුම් දහයේ නෝට්ටුවක් මත, මුහුණේ ඡායාරුවක් මුද්‍රණය වීමේ ගෞරවය හිමි කර ගත් ප්‍රථම සාහිත්‍යවේදිනිය ඇයයි. එම නෝට්ටුව ඇයගේ මරණ සංවත්සරය යෙදී තිබුණ පසුගිය 18 වැනිදා නිකුත් කළ අතර එහි සඳහන් කොට ඇති Pride and Prejudice කෘතියෙන් උපුටා ගත් වැකියක් සම්බන්ධයෙන් එංගලන්තයේ ජේන් ඔස්ටින් ලෝලිහු ඉමහත් ප්‍රසාදයට පත් ව සිටිති. එම වැකිය නම්: “මේ හැම දේකටම පස්සෙත් මම කියන්නෙ කියවීම තරම් වෙනත් රසාස්වාදනයක් නැහැ කියලා"


ඇය මෙලොවින් සමුගෙන වසර 200 ක් නික්ම යාම පිළිබඳ අනුස්මරණ උත්සව සහ විවිධ වැඩසටහන් සංවිධානය වුයේ එංගලන්තයේ පමණක් ‍නොව, ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව වූ ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව වැනි රටවල් පමණකුත් නොව ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන භාෂාව ලෙස කතා නොකරන රටවල් ද ඇය පිළිබඳ විවිධ ලිපි පළකරමින්, විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිය ආදරණිය සාහිත්‍යවේදනියට ආදරය ගෞරවය පුදකරමින් සිටිති.

ආචාර්ය මලන් මහතා ද ජේන් ඔස්ටින් පිළිබඳ දේශන පැවැත්වීමට රුසියාව සහ කැනඩාව වැනි රටවල ද සංචාරය කර ඇත.

“වෙනත් රටවල, විශේෂයෙන් යුරෝපයෙන් සහ ඇමරිකාවෙන් පිටත ඉංග්‍රීසි කතා නොකරන රටවල පාඨකයින් හිතනවා ඔවුන්ට අපිට වැඩිය ජේන් ඔස්ටින් ගේ පොත් තේරුම් ගන්න පුළුවන් කියලා.” ඔහු කියයි. “වඩාත් සිත් ගන්නා සුළු දේ තමයි, ඇයගේ පොත් වල යටි පෙළ සමාජ සම්මතයන් බොහෝමයක් අන්තර්ගත වි ඇති නමුත් ඇය ඕනෑම පාඨකයෙකුට ඇයගේ නවකතා කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් ලිවීමයි. ඇයගේ කෘති කියවන සෑම වාරයක් පාසාම ඔබ කිසියම් නව්‍යත්වයක්, එනම් මින් පෙර අත් නොදුටු කිසියම් සියුම් විඳීමක්, සැබැඳියාවක් දැනෙන්නට ගනියි. එය ඔබට නොසන්සිදෙන රසයක් ගෙන දෙන්නක්”

“විවාහය, මුදල්, සමාජය, ආදරය සහ මිනිස් ස්වභාවයේ ඇති අඬු ලුහුඬු කම් ගැන පොත් කිහිපයක් පමණක් ලියූ මේ අවිවාහක ලේඛිකාව ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ශේක්ෂ්පියර් සේම කීර්තියෙන් ඉහළ තලයේ වැජඹෙන්නියකි.” The Genius of Jane Austen: Her Love of Theatre and Why She Works in Hollywood නම් ග්‍රන්ථය සම්පාදනය කළ බ්‍රිතාන්‍ය ජාතික ලේඛිකාවක් වන පෝලා බර්න් පවසන්නීය.

“මා ඇයව නැවත නැවතත් කියවද්දී, මම තව තවත් පරිණත වෙද්දී මට ඇයගේ ප්‍රතිභාසම්න්න ලේඛණ හැකියාව වඩාත් හොඳින් අවබෝධ වෙනවා.” පෝලා බර්න් 2013 වසරේදි The Real Jane Austen නමින් ජේන් ඔස්ටින් ගේ ජීවන තොරතුරු අළලා කෘතියක් ද සම්පාදනය කර ඇත. “ ඇය තුළ ශේක්ස්පියරියානු කිසිවක් ගැබ්ව ඇත. ඔබ ඇයව කියවන සෑම විටම ඔබ මින් පෙර නොදුටු වැකියක් ඔබ නෙත ගැටෙයි.”

ජේන් ඔස්ටින් ජීවත් වූ හැම්ෂ්ර්, චෝටන් හි පිහිටි නිවෙස දැන් ඇයගේ ජිවිතය කියාපාන කෞතුකාගාරයක් බවට පත් කොට ඇත.


The Philosophers mail වෙබ් අඩවියේ ජේන් ඔස්ටින් පිළිබඳ පළවුණු ලිපියක සඳහන් ව ඇති පරිදි, ජේන් ඔස්ටින් ජීවත් වු යුගයට අනුව ඇයගේ නව කතාවලින් කිසියම් පණිවුඩයක් දීමට නිරන්තරයෙන් ඇය උත්සාහ කළාය. උදාහරණයක් ලෙස ඔබගේ ආදරණියයාට ඔබට උගැන්වීමට ඉඩ දිය යුතුය, අප අ‍න් අයව විනිශ්චය කිරීම නතර නොකළ යුතු වනවා පමණක් නොව අපි ඔවුන්ව වඩාත් සැළකිල්ලෙන් විනිශ්චය කළ යුතුය, අප මුදල් ගැන බරපතල ලෙස සිතිය යුතුය, මන්ද අප මුදල් පිළිබඳ ක්‍රියා කරන ආකාරය අපගේ මුළු ජීවිතයටම බලපාන නිසාය, අහංකාර නොවිය යුතුය, එය ජිවිතයට විනාශය ගෙන දෙන්නකි. මෙවැනි ආකාරයේ සරල ඉගැන්වීම් කිහිපයක් ඇයගේ නවකතා තුළින් මතු කර ගත හැකිය. ඔස්ටින්ට මෙවැනි දේ සමාජයට ඉගැන්වීමට අවශ්‍ය වුවද ඇය දේශනා ලියා තැබුවේ නැත, ඒ වෙනුවට ඇය නවකතා ලීවාය. නමුත් ඔස්ටින්ට ඕනෑ වූ විලාසයෙන් අප දැන් ඇයගේ නවකතා කියවන්නේ නැත. ඇයගේ නවකතා තුළ ඇය අන්තර්ගත කීරිමට උත්සාහ කළ සාදාචාරාත්මක අපේක්ෂා නවීන පාඨක සමාජය විසින් බල රහිත කොට ඇත. නවීන සමාජය ඇයගේ නවකතා තේරුම් ගන්නේ සහ රස විඳින්නේ ඇය අයත් වූ සමාජයට වඩා බෙහෙවින්ම වෙනස් ආකාරයටය. එහෙත් තවමත් අප ජේන් ඔස්ටින්ගේ නවකතාවක් කියවන විට අපට කිසියම් රසයක්, තෘප්තියක් දැනෙන්නේ, ලෝකය මේ ආකාරයෙන් විය යුතු යැයි යන ඇයගේ අපේක්ෂා කළ ආකාරය සැබවින්ම ළගන්නා සුළු වන නිසාය. එය ඕනෑම අයකු තුළ එක සමාන ආකාරයේ ස්පන්දනයක් ඇති කරන නිසාය. එයයි බොහෝ අය හඳුනා නොගත් රහස, ඇයට ලේඛිකාවක් ලෙස ලොවම මෙතරම් ආදරය කිරීමට!

(The Philosphers mail, London reviews of Books සහ  USA Today යන වෙබ් අඩවි වල ජේන් ඔස්ටින් පිළිබඳ ලියැවුණු ලිපි ඇසුරෙන් සකස් කරන ලද්දකි.)

✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2017.08.06 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.


Comments