Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

ආසියානු රටවල ගැහැණිය සහ පිරිමියා අතර ඇති ගැටුම තවමත් දරුණු යි - දකුණු කොරියානු සිනමාකරු කිම් කි ඩුක්



දකුණු කොරියානු චිත්‍රප‍ට අධ්‍යක්ෂක, කිම් කි ඩුක් විරල ගණයේ පුද්ගලයෙකි. කලාව ‍හෝ සිනමාව පිළිබඳ විධිමත් අධ්‍යාපනික ඇසුරක් න‍ොලත් ඔහු, පාසල් ගමන නතර වීමෙන් පසු හමුදාවේ සහ කර්මාන්තශාලාවල වැඩකරමින් කාලය ගත කළ අතර පසු කලෙක ජ්‍යාතන්තර සිනමා උළෙලවලදි වැඩිමනත් ලෙස කතාබහට ලක් වූ සිනමා කරුවෙකු බවට පත් වීය.


ඔහුගේ පළමු චිත්‍රපටය ලෙස, සෝල් නුවර ‘හන්’ නදියට පැන සිය දිවි නසා ගන්නා අයගේ මළ සිරුරු එක්කාසු කරන අද්භූත මිනිසෙකු වටා ගෙතුණු, Crocodile නම් වෘත්තාන්ත චිත්‍රපටය, 1996 වසරේදී තනා නිම කළේය.

කොරියානු සමාජය පිළිබඳ ඔහුගේ නව්‍ය සහ රැඩිකල් යථා දෘෂ්ටිය විසින්, බොහෝමයක් ප්‍රේක්ෂකයින් ඔහුගෙන් දුරස් කොට තැබු නමුත්, ඒ වෙනුවට ඔහුගේ නිර්මාණ වලට පෙම් බැඳි උද්යෝගීමත් කුඩා කණ්ඩායමක් ඔහු වටා ගොඩනැඟුණේය. පසුකලෙක ඔහු නිර්මාණය කළ චිත්‍රපටවල විශේෂයෙන් ආන්තරීකරණය වූ ජනයා සහ අවකාශ මෙන්ම ප්‍රධාන දහරාවට ප්‍රතිපක්ෂ සෞන්දර්යය පිළිබඳ ඔහු අවධානය යොමු කිරීම පැහැදිලිව දක්නට තිබුණි.


ඔහුගේ සෑම සිනමා නිර්මාණයක්ම දකුණු කොරියාව තුළ ආදායම් ඉපයීම අතින් අසාර්ථක වුවද එම සිනමා නිර්මාණ චිත්‍රපට උළෙල වලදී නොකඩවා තිරගත වුයේ, පෙර කී ලෙස ඔහුගේ නිර්මාණ හඹා යන කුඩා කණ්ඩායමක් යු‍රෝපය තුළ නිර්මාණය කරමිනි.


1998 දි නිර්මාණය කළ Birdcage Inn චිත්‍රපටය, ඔහුගේ සිනමා නිර්මාණයක් ජාත්‍යන්තර අවධායනයට ලක් වූ පළමු අවස්ථාව වූ අතර ඉන් අනතුරුව වසර 2000 දී නිර්මාණය කළ The Isle නම් චිත්‍රපටයද සිනමා ලෝලීන් අතර කිසියම් ආන්දෝලනයකට තුඩු දුන් සිනමා පටයක් බවට පත් වීය. පිරිමි‍යා සහ ගැහැණිය අතර තිබෙන ‘සර්වාත්‍රික යුද්ධය’ පිළිබඳ කර තිබු දරුණු විමසුම සන්ඩාන්ස් සහ වැනිසියානු චිත්‍රපට උළෙල වල ප්‍රේක්ෂකයින් දැඩි කම්පනයට පත් කළේය. නමුත් එකී මොහොතේම, අනුපමේය සෞන්දර්යය, අධිතාත්වික රූප සහ අව්‍යාජ කාව්‍යමය සුන්දරත්වය නිසා එම සිනමා පටය බො‍හෝසේ ඇගයීමට ද ලක් වීය.


ඉන් අනතුරුව අධ්‍යක්ෂ‍ණයේ සකල ශිල්පයම කැටි වුණු, මිනිසෙකුගේ සැබෑ හෝ මනංකල්පිත මිනිමැරීම් සවාරියක් ගැන කියා පාන, විනාඩි 200 ක් තුළ, එකවර චලන චිත්‍ර කැමරා 10 ක් සහ ඩිජිටල් වීඩියෝ කැමරා 2ක් යොදා ගනිමින් රූගත කළ Real Fiction සිනමා පටය එළි දැක්විණි.


Address Unknown (2001) කිම් කි ඩුක් ගේ මේ තාක් වඩාත් කතා බහට ලක්වු දේශපාලනික චිත්‍රපටය වන අතර එය කොරියානු යුද්ධය විසින් සමාජය මත ඉතිරි කරන ලද කැළැල් සහ එමඟින් ඇමරිකානු හමුදා කඳවුර තුළ ඇති කළ තත්කාලීන නින්නාදය ගැන කියා පාන සිනමා නිර්මාණයකි.


ඉන් අනතුරුව තිර ගත වුණු Bad Guy චිත්‍රපටය අන්තර්ජාතිකව ජනප්‍රිය වුණු, දකු‍ණු කොරියානු සිනමාකරුගේ නිර්මාණයක් තම මව්බිමෙදී සාර්ථක වුණු මුල්ම වතාවය. එම සිනමා පටය මහත් ජනප්‍රියත්වට පත් වුවා සේම එය කොරියානු සමාජය තුළ කිසියම් අන්දෝලනයක් ඇති කිරීමට ද සමත් වු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ‘කොරියානු ‍සිනමාවේ නරක හාදයා’ නම් අන්වර්ත නාමයක් ද ඔහුට පට බැඳුණේය.

Bad Guy, ගොළු මැරවරයකු අහිංසක පාසල් සිසුවියක පැහැරගෙන ගොස් ඇයට ගණිකා වෘත්තියේ යෙදීමට බල කෙරෙන කතා වස්තුවක් පාදක කර ගත් චිත්‍රපටයකි. එහි නාරිද්‍වේශී ස්වභාවයත් සහ රූපරාමු වල ඇති ප්‍රබලතාව මඟින් ඇති කරවන හිස කකියන ක‍ඨෝර භාවයත් නිසා සමහර සිනමා ලෝලින්ගේ අප්‍රසාදයටත් එම චිත්‍රපටය හේතු විය.


හදිසි වෙඩි තැබීමකින් පසුව ආධුනික සෙබළෙකු තුළ ඇතිවන සන්තාපය කුළු ගැන්වෙන The Coast Guard (2002) චිත්‍රපටය, ඔහුගේ නාවික සෙබළ දිවියෙන් අත්දැකීම් උකහා ගැනීමක් ලෙස සැළකිය හැකිය.


Spring, Summer, Fall, Winter...And Spring නම් 2003 වසරේ එළි දැක්වුණ චිත්‍රපටය සිනමා විචාරකයින්ට අනුව කිම් කි ඩුක් ගේ කලාත්මක එළිදැක්වීම්වල පුදුම එළවන සුළු හැරවුම් ලක්ෂයකි. චමත්කාරජනක වටපිටාවක දිග හැරෙන, එම සිනමා පටය බෞද්ධ භික්ෂූන් දෙදෙනෙකුගේ ජීවිත සහ සැනසුමක් ස‍ොයා ඔවුන් වෙත එන මං මුලා වු ආත්මයන් පිළිබඳ විදහා දැක්වෙන නිර්මාණයකි. ඔහුගේ පෙර සිනමාත්මක පරිශ්‍රමයන්ට වඩා මහත් පරිණත බවක් ඉසිලූ මෙම චිත්‍රපටය මිනිස් ස්වභාවයේ මඟ හැරිය නොහැකි ම්ලේච්ඡත්වය ගැන සෝදිසි බැල්මක් හෙලයි. එය හික්මීමක් නැති, අතත්‍යන්තයෙන්ම සැබෑ ලෙස කුසලතා පිරි සිනමාකරුවෙකුගේ වෘත්තීය ජිවිතයේ නව අවධියක් සළකුණු කිරීමකි.


මේ එම විරල ගණයේ සිනමාකරුවා සමඟ කරන ලද පිළිසඳරකි.


  • ඔබ විවිධ වස්තූන් සහ චරිත ඇසුරෙන් කටෝර යථාර්තයන්(රළු පරළු බව නිසාම නිතරම මඟහරිනු ලබන වර්ගයේ යථාර්තයන්) මතට අධිතාත්විකවාදි මුලිකාංග එක් කරනවා. මෙය ප්‍රේක්ෂාගාරය උදාසීනත්වයෙන් මුදා ගෙන, සැබෑව සහ මායාව අතර ඇති සීමාව බොඳකරමින් ඔවුන්ව කම්පනයට පත් කරවන ඉතාමත් චිත්තාකර්ෂණීය සංකලනයක්. ඔබ හිතන්නේ, අප මේ මානයන් දෙකම සං‍යෝජනය කරමින් ලෝකය දෙස බැලිය යුතුයි කියලද? එසේම ඒ පිටුපස ඇති දාර්ශනික සහ ආගමික තත්වයන් ද සළකා බැලිය යුතුද?

නවීන සමාජය කියන්නේ හරියට, දකින දේ ගැන පමණක් විශ්වාසයට ගනිමින්, ධනය සහ කීර්තිය පසුපස‍ අනවබෝධයෙන් හඹා යන දුම්රියක් ‍වගේ. ගොඩක් මිනිසුන් දුර්වලයාව මඟ අරිනවා. ඒවගේම හිතනවා ඔවුන්ට මුදල් වලින් ඕනෙම දෙයක් මිලදී ගන්න පුළුවන් කියලා. ඔවුන් සීමාන්තිකව දේශානුරාගය හා බැ‍ඳෙනවා, නැත්නම් ඉතාමත් සුළු දේවල් නිසා එකිනෙකාට වෛර කරනවා. මේ සියළු සංසිද්ධීන් මාව අපහසුතාවටත් බියටත් පත් කරනවා. දැන් සීමාව ඉක්මවා තනි පුද්ගල මතයයන් නොසලකා හැරීම සහ ඒවා පරිභවයට ලක් කිරීම සිදු වෙනවා. එය සැබවින්ම ඉතාමත් කණගාටුදායක කාරණයක්. සංයුක්ත තත්වය නොනැසී පවතිනවා, වියුක්තනය නැති වෙනවා. බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් මේ ද්විත්වයේ සහජීවනයෙන් විතරයි.

  • ඔබගේ සිනමා නිර්මාණ වල නිතරම දකින්නට ලැබෙන්නෙ, අමනාපයට පත්වූ, සමාජයෙන් දුරස් වූ, හුදකලා මෙන්ම සමාජය තුළ ‘අනෙකා’ බවට පත් වුණු චරිත. නමුත් ඔබ අපිට හැඟීම් මාත්‍රයක් ලබා දෙනවා, ඔවුන්‍ගේ අභ්‍යන්තරය තුළ කිසියම් නිදහස් බවක සහ ආත්ම විශ්වාසයක සේයාවක් තැන්පත් වී ඇති බවට. ඔබ හිතනවාද ඔබගේ ම වචන වලින් හඳුන්වා දෙනවා නම්, ‘හීලෑ වුණු’ අය එනම්, වැඩිපුර කතා කරන, ජීවීතේ කිසිම අවධියකදී වේදනාවකට පත් නොවුණු අයට වඩා ඒ චරිත උසස් කියලා, නැත්නම් ඔබ විශ්වාස කරනවද ඒවගේ අයට කිසියම් සැලකීමක් අවශ්‍යයි කියන එක?

මම උසස් හෝ පහත් චරිත පිළිබඳ කතා කියන්න උත්සාහ කරන්‍නේ නැහැ. මම හිතන විදියට අපි එකිනෙකාට දැනෙනනවා අපිට අපි වටිනවායි කියන එක. අන් අය මත ඇති කළ හැකි කෘෘරත්වයේ ස්වරූපයක් තමයි යම් පුද්ගලයෙකු මේ ලෝක‍ෙ ‍ශෝචනීයම ජීවියා බවට පත් කිරීම. අනෙකාව නොසලකා හැරීම, පරිහාසයට ලක් කිරීම එවැනි කෘෘරත්වයන් ඉස්මතු කරන ආකාරයේ හැසිරීම්. අනෙක් අයගේ අයථා සැලකීම් වලට හෝ ස්වයං පීඩනයට ගොදුරුවූ අය ලෝකය පිළිබඳ පුළුල් දැක්මක් ඇතිව වැඩෙනවා. නමුත් දැන් වෙද්දි, මිනිසුන්ට ඕනෙ නැහැ අනික් අයගෙන් හෝ තමන්ගෙන් හෝ වේදනාවට පත් වෙන්න. ඒ වෙනුවට ඔවුන් වද වෙන්නෙ කොහොමද ඔවුන් අනික් අයව වේදනාවට පත්කරන්නෙ කියන එක ගැන.

  • ඔබගේ චිත්‍රපටවල ශෛලිය තීරණය වෙන්නේ, කැමරාව භසුරවන ආකාරය අනුව නොවෙයි. ඔබ අවධානය යොමු කරන්නෙ, කැමරාව තබා ඇති ස්ථානය ගැන නොව, රූපරාමු තුළ තිබෙන දේවල්, එනම් වස්තූන්, නළු නිලියන් ඒ ඒ රූප රාමු තුළ ස්ථානගත වීම සම්බන්ධව. ආකෘතිවාදය නියෝජනය වුනු මෙම ශෛලිය සැබවින්ම සිනමාව ආරම්භයේ මුල්කාලීනව භාවිතයට ගැනුනක්. නමුත් අද වන විට, කිසියම් ශෛලියක් නිර්මාණය කිරීමට ප්‍රබල ලෙස නැඹුර වෙලා තියෙන්නෙ කැමරාව භාවිතා කරලා. ඒ අනුව ඔබ අලුත් විදියක් නිර්මාණය කළ කෙනෙක් බවට පත් වෙනවා. ඔබ මේ වෙනස ඇති කළේ හිතා මතාද? වෙනත් වචන වලින් ‍කියතොත් එය ඔබ සැලසුම් කළ එකක් ද?

මම එක්ක‍ාලෙක උත්සාහ කළා ප්‍රේක්ෂාගාරයට රූප රාමු තුළ ඇති දේ පෙන්වන්න. නමුත් මම වඩ වඩාත් වැඩ කරන විට මට ඕනෑ වුනා, ඔවුන් තිරය දෙස බලා සිටින අතරවාරයේම තිරයෙන් පිටත දේ දකින්න ඉඩ සලස්වන්න. මුල් කාලයේ මම චිත්‍රපට හැදුවේ දැකීම යනු නිතරම විශ්වාසයට ගැනීම නො‍වේ යන තේමාවට අනුව. නමුත් දැන් සහ අනාග‍තයේදී මට ඕනෙ, වඩාත් අභව්‍ය නමුත් භව්‍ය සේ පෙනෙන චිත්‍රපට නිර්මාණය කරන්න. මම වර්ණ ‍‍ හෝ දර්ශන කැමරාවෙන් නිරූපණය කරන හෝ ප්‍රකාශ කරන තාක්ෂණය එතරම් වැදගත් යැයි සිතන්නේ නැහැ. වඩාත් වැදගත් දෙය තමයි මගේ පරිකල්පනය කෙතරම් දුරට විහිද යනවා ද කියන එක විතරයි.


Spring summer winter fall...and spring

  • මට ජිවිතය සම්බන්ධ ඔබගේ ප්‍රවේශය ඇසුරින්(ඔබගේ Spring, Summer, Fall, Winter...And Spring චිත්‍රපටයේ මෙන්, ඔබ විවිධ සෘතු දකින්නෙ මිනිස් ස්වභාවයේ විවිධ සංවර්ධන අවධීන් විදියට) මේ ප්‍රශ්නය අහන්න හිතුනා. ඔබගේ සිනමාකරණය ගැන හිතුවොත්, ඔබගේ සිනමා නිර්මණ ඔබගේ කිනම් ජීවිත සෘතු කියා පානවද?

මගේ හැම සිනමා නිර්මාණයක් ම කියන්නේ මගේ ජීවිතය සම්බන්ධයෙන් කිසියම් සටහන් තැබීමක්. එය මගේ ජීවිතේ සුවිශේෂි කාල වකවානුවක දින සටහන. එහෙයින් එය මට මකා දැමීමටවත්, නොසලකා හැරීමටවත් හැකියාවක් නැහැ. මට මගේ අතීතය මතක් වන විට මම ම‍ගෙ චිත්‍රපට නරඹනවා. මම දැන් ජීවත් වෙන්නෙ සිසිර සෘතුවේ...නමුත් මම හිතනවා, සිසිරය නිම වූ වහාම ග්‍රීෂ්ම සෘතුව උදා වෙයි කියලා.

  • ඔබ Bad Guy චිත්‍රපටයෙන් ලෝකය පිළිබඳ ගවේෂණය කිරීමට උත්සාහ කලේ කුමක්ද?

මම ඇසීමට උත්සාහ කළ ප්‍රශ්නය නම්, අපි එක සමානව, සමාන අයිතින් සහ සමාන ගුණාංග සහිතව ඉපදුණත්, අපි වයසින් වැඩෙද්දි අපි එකිනෙකා වර්ගිකරණය කරගනිමින් බෙදෙන්නෙ ඇයි කියන එක. අපේ හැඩරුව, පෙනුම අනුව ඇයි අපි විනිශ්චයට ලක් වෙන්නේ? අපි ලස්සන හෝ අවලස්සන වීම, අපිට මුදල් තිබීම හෝ නොතීබීම කොහොමද වැදගත් වෙන්නෙ? අප ඉපදුනාට පසුත් අප වැඩෙන විටත් අප මත පැටවෙන මේ ආකාරයේ ප්‍රමිතීන් නිසා අපට කිසිසේත් අදාළ නොවන තත්වයන් සහ සමාජ පංතීන් අනුව අප බෙදෙනවා. මට අවශ්‍ය වුනා අහන්න, ඇත්තටම මේ සමාජ පංති වලට අයත් අයට එකිනෙකා හා හොඳින් ජීවත්වීටත්, මේ වෙනස් ලෝකයන්ට එකිනෙකා හා පෑහීමටත් ඇත්තටම බැරිද කියන එක.

Bad Guy

  • ඔබට ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලැබුණද?

මගෙ පිළිතුර තමයි, මිනිස් වර්ගයා, පංතිය පෙනුම හෝ සල්ලි නොසලකා එකිනෙකාට ගරු කළ යුතුයි කියන එක. එය මගේ පිළිතුර වුනත්, මගේ අභිප්‍රාය තමයි එම ප්‍රශ්නය ප්‍රේක්ෂකයින්ට සම්මුඛ කිරීම සඳහා චිත්‍රපට නිර්මාණය කිරීම. මට හොඳටම විශ්වාසයි, හැම කෙනාම එකිනෙකාට අවේණික උත්තරයක් සොයාගනීවි කියන එක.

  • ඔබේ චිත්‍රපටවල නිතර සිදු වෙන ආකාරයෙන්, Bad Guy චිත්‍රපටයේ ප්‍රධාන චරිතය, පිම්පියා, හැන්ග් ජි(‍චෝ ජේ හයුන් විසින් රඟන) නිහඬ පුද්ගලයෙක්, ඔහුට අදහස් හුවමාරු කරගන්නවත් තමන්ව ප්‍රකාශයට පත් කරන්නවත් හැකියාවක් නැහැ. ඔහුගේ එකම භාෂා විධිය තමයි ප්‍රචණ්ඩත්වය. මේ නිහඬතාවට හේතුව කුමක්ද?

මගේ චිත්‍රපට වල කතා නොකරන චරිත වලට හේතුව තමයි, ඔවුන් කිසිවක් නිසා ගැඹුරින් වේදනාවට පත් වෙලා කියන එක. ප‍ොරොන්දු කඩ විම් නිසා මානව වර්ගයා කෙරේ ඔවුන් තුළ තිබූ විශ්වාසය නැති වෙලා. ඔවුන්ට ‘මම ඔය‍ාට ආදරෙයි’ කියා කීවත්, ඒ කියපු අය එසේ කියා ඇත්තේ සැබෑම හැඟීමකින් නොවෙයි. එසේ ඔවුන් මුහුණ දුන් බලාපොරොත්තු දෙදරා යාම් නිසා, ඔවුන් තුළ තිබු විශ්වාසය පළුදු වී, මුළුමනින්ම කතා කිරීම අත්හැර දමන්න ඇති. ඔවුන් ප්‍රචණ්ඩත්වයට නැඹුරු වීම...මම කැමතියි එය එක්තරා ආකාරයක සිරුරු භාෂාවක් කියලා හඳුන්වන්න. එය හුදු අවපස ප්‍රචණ්ඩත්වයක් ලෙස සලකනවාට වඩා මම ඒ ගැන හිතන්නෙ ශාරිරීක ප්‍රකාශනයක් විදියට.

මගේ චරිත වල ඇති තුවාල සහ කැළැල් කියන්නේ, තරුණ පිරිස් සැබවින්ම පිටතින් ඇතිවන මානසික ප්‍රහාරයන්ට ප්‍රතිචාර දැක්විය නොහැකි වයසකදී ලත් අත්දැකීම් වල සළකුණුයි. ඔවුනට ශාරිරික අපයෝජනයෙන්, උදාහරණයක් ලෙස ඔවුන‍්ගේ දෙමව්පියන්ගෙන්, වාචික අප‍යෝජනයෙන්‍ හෝ ඔවුන් ගේ දෙමව්පිය ගැටුම් වලදී ඔවුන්ව ආරක්ෂා කරගන්න බැරුව යන්නැති. නැතිනම් ඔබ මාවතේ ඇවිද යන විට කිසිවකු ඔබට පහර දෙන්නැති. එවැනි දේ සිදු වන විට, ඒ ගැන ඔබට කරන්න පුළුවන් කිසිම දෙයක් නැහැ. මේ අත්දැකීම් හරියට තුවාල කැළැල් වගේ ඒ මිනිසුන් ගේ මනසේ තැන්පත් වෙලා තියෙනවා. මම පෞද්ගලිකව එවැනි අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා. උදාහරණයක් ලෙස, මට වඩා බාල එහෙත්, මට වඩා ශාරිරිකව ශක්තිමක් කොල්ලන් පිරිසක් මට පහර දීලා තියෙනවා. මට ඉන් වැළකෙන්න කිසිම දෙයක් කරන්න බැරි වුණා. ඒවගේම, නාවික හමුදාවෙදි, සමහර අය මට වඩා ඉහළ තනතුරු වල ඉන්න නිසාම, කිසිම හේතුවක් නැතිව මට තඩි බාලා තියෙනවා. මේ වගේ අත්දැකීම් දාමයක් මම විඳිමින් යද්දි මම තනියෙන් හිතන්න වුණා, ඇයි මේ දේවල් මෙහෙම වෙන්නෙ කියන එක. ඒ ප්‍රශ්නය මම චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන තුරුම හිතට වද දුන්නා, නමුත් මම හිතන දේ සහ ඒ ගැන මට දැනෙන දේ මම දැන් ප්‍රකාශ කරමින් ඉන්නවා.

  • The Isle, Address Unknown, Bad Guy චිත්‍රපට වල දක්නට ලැබෙන ස්ත්‍රී රූප, ඔබ කැමතිම සිත්තරුවා ඒගොං ශීලෙ විසින් චිත්‍රයට නඟන ලද ගණිකාවන් සහ එවැනි වෙනත් කාන්තා රූප(Fallen women) වලට සමානයි. එක් විදියකින් හෝ වෙනත් ඕනෑම විදියකින් තම සිරුර විකිණිමට බල කෙරෙන ස්ත්‍රීන් පිළිබඳ ඔබගේ සිත ඇඳ බැඳ ගන්නා දේ කුමක් ද?

මම කාන්තාවන් ගැන සිතන්නෙ ඔවුන් පිරිමින්ට වඩා උසස් ගණයේ ජීවින් හැටියට. ඔවුන් සතුව තියෙනවා, පිරිමියාට ප්‍රදානය කරන්න ඔහු නිතරම ඉල්ලා සිටින යමක්, ඔවුන් ඒ වෙනුවෙන් ගෙවීමක් කළා වුනත්. ගොඩක් අය මාත් එක්ක එකඟනොවෙන්න පුළුවන්, මම ඒ ගැන හිතන විදිය සම්බන්ධව. නමුත් ම‍ට අනුව මුදල් ගනු‍දෙනුවක් සිදු නොවුනත්, ගැහැණියක් සහ පිරිමියෙක් අතර තියෙන සම්බන්ධය එක්තරා විදියක ලිංගික සේවා සැපයීමක්. එය පොදු ගැටුමක්, නමුත් එය සංස්කෘතික වෙනස්කම් ද පිළිඹිබු කරනවා. මම හිතන්නෙ යුරෝපයේ දේවල් ස්ථාවර වෙලා ටික කාලයක් ගත වී ඇති නිසා, ලිංගිකතාවන් අතර වැඩි ආරවුල් නැහැ. ඒ නිසා ඔබ යු‍රෝපිය චිත්‍රපට සැළකිල්ලට ගතහොත්, ඒ චිත්‍රපට තුළ එම තත්වය හොඳින් පිළිඹුබු වෙනවා, එහි ඇත්තෙ හික්මුණ ස්වභාවයක්. නමුත් ආසියානු චිත්‍රපට තුළ එම තත්වය වඩාත් ගතිකයි සහ ප්‍රචණ්ඩයි, මොකද එම කලාපයේ ගැහැණු සහ පිරිමි අතර වන ගැටුම තවමත් දරුණුයි.

  • www.kimkiduk.com වෙබ් අඩවියේ ඔබගේ චිත්‍රපට ගැන සඳහන් වෙන්නේ ඒවා “අර්ධ වියුක්ත” සිනමා නිර්මාණ ලෙස. මෙහි තේරුම කුමක්ද?

මගේ චිත්‍රපට නිර්මාණය කිරීමේ අර්ධ වියුක්ත සංකල්ප කියන්නෙ, යථාර්තය නිරූපණය කරනවාට වැඩි යමක් කිරීමයි. අප දකින ලෝකයට මම මගේ සිතිවිලි සහ හැඟීම් එක් කරන්න උත්සාහ කරනවා.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2016 වසරේ දෙසැම්බර් මස  18 වැනි  දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.


Comments