බැන්ක්සි ! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එකසේ අවුුලුවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි.
බැන්ක්සි ගේ කුරුටු චිත්‍රකලාව
බැන්ක්සිගේ කුරුටු චිත්‍ර ඔහු උපන් රට වන එක්සත් රාජධානිය පමණක් නොව ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඊශ්‍රායලය, පලස්තීනය සහ ජැමෙයිකාව යන රටවල ද දැකිය හැකිය. ඔහු කොතැනක ගිය ද එම ස්ථානය තුළ කිසියම් බලපෑමක් ඇති කිරීමට ඔහු සමත් වෙයි. ඔහුගේ රූපමය සහ උපහාසාත්මක ප්‍රකාශනය චිත්‍ර කලාව, දර්ශනය, දේශපාලනය, සමාජ විද්‍යාව, හාස්‍ය සහ ආත්මරාගය වැනි විෂය පථයන් පුරා විහිදී ඇත. බැන්ක්සිගේ වීදි කලාව යනු ‘පිළිවෙලකට’ ඇති නගරයක් හැඩි කරන සිතුවමක් ඇඳිම නොව, ‘පිළිවෙලකට’ ඇතැයි සිතන පැවැත්මක ඇති අපිළිවෙල ගැන නැවත සිතන්නට පොළඹවන ප්‍රකාශනයක් නගරය මැද්දෑවේ ඉතිරි කර යාමයි.
අච්චු තහඩු(ස්ටෙන්සිල්) භාවිතා කරමින් යෙදෙන කුරුටු චිත්‍ර කලා විශේෂයක් හැඳින්වීමට ‘බැන්ස්කි’ යන වදන යෙදෙයි. ‘බැන්ස්කි’ නම් කුරුටු චිත්‍ර කලාකරුවා ද සිය නිර්මාණකරණයේ යෙදෙන්නේ අච්චු තහඩු භාවිතා කරමිනි. ඔහුට අනුව අච්චු තහඩු භාවිතා කරමින් කුරුටු චිත්‍ර ඇඳීම මඟින් අන්ධකාරයේ පවා ඉතාමත් වේගවත්ව, සිය නිර්මාණය ඔහු ඉදිරියේ ඇති ‘කැන්වසය’ මත සිතුවම් කර හමාර කළ හැකිය. එය නගර ආරක්ෂකයින්ගෙන්, නිශාචර නගර වැසියන්ගේ ගල් පහරින්, අනවශ්‍ය විපරම්කාරි දෑස් වලින් බේරිමට ද ඉඩ ලබා දෙන පහසු මඟකි. ඔහු මුලින්ම වීදි කලාකරුවෙකු ලෙස කල එළි බැස්සේ වෙනත් වීදි කලාකරුවන් කණ්ඩායම් කිහිපයක් හා එක්ව එක්දහස් නවසිය අනූව දශකයේය. එකවරම රැයක් එළිවන විට බැන්ක්සි තම නගරයේ ජිවත් වන බව එම නගරයේ වැසියෝ දැන ගනිති. ඒ ඔවුන් සිය නිවසින් බැහැරව යන විට බැන්ක්සිගේ අත්සන සහිත කුරුටු චිත්‍රයක් එකවරම තම දෑස් ඉදිරියේ දෘශ්‍යමාන වන නිසාය.
ඔහුගේ වීදි කලාව තුළ දක්නට ඇති අති මහත් උපහාසය විසින් ප්‍රේක්ෂකයාගේ අවධානය අප නිතරම නොසලකා හරින සත්‍යයක් වෙත කැඳවා ගෙන යයි. පවතින ආණ්ඩුව, සංස්ථා සමාගම් සහ තත්කාලීන සමාජය ඔහු පරිහාසයට ලක් කරන ආකාරය නිසා ඔහුගේ නිර්මාණ සමාජය කළඹාලීමටත් මතභේදයකට තුඩු දීමටත් හේතු වෙයි. ඔහු සිය නිර්මාණ තුළින් නිරන්තරයෙන් ධනවාදය, පරිභෝජනවාදය, යුද්ධය, සත්ත්ව හිංසනය සියුම්ව විවේචනයට ලක්කරයි. මේ නිසාම ඔහුගේ ප්‍රේක්ෂාගාරය ඔහුට ආදරය කරන්නන් සේම ඔහුව හෙළා දකින්නන් ලෙස කොටස් දෙකකට බෙදී සිටිනු දැකිය හැකිය.
එක් පාර්ශවයක්, ඔහු මහජන දේපළ වලට හානි පමුණුවන නිසා ඔහු සිය කලාවේ නියුක්ත වන ආකාරයත් සහ ඒ නිසාම ඔහුගේ කුරුටු චිත්‍ර නීති ගරුක සමාජයක් තුළ පිළිගත නොහැකි නිර්මාණ ලෙසත් තර්ක කළ ද ඔහුගේ නිර්මාණ තුළ ගැබ්ව ඇති මහජනයා මත බලපෑම් කිරීමට ඇති සමත්කම කිසිවිටෙක ප්‍රතික්ෂේප කළ නොහැකිය. එම ශක්‍යතාවේ තීව්ර බව සමහර විචාරකයින් විසින් සඳහන් කරන ආකාරයට ඉතාමත් කලාතුරකින් කලා නිර්මාණයක් තුළ පිහිටන සාධකයකි.
ඔහුගේ අච්චු තහඩු භාවිතය ඔහුට වඩාත් යථාර්තවාදි දර්ශන නිර්මාණය කිරීමට ඉඩ ලබා දෙයි. ඒ නිසා ඔහු නිතරම ඔහුගේ නිර්මාණ, එය ප්‍රදර්ශනය වන ස්ථානය හා සම්බන්ධ කොට ඉදිරිපත් කරයි. පලස්තීන ජනතාවට අපේක්ෂා මාත්‍රයක් පිළිබඳ ඇඟවුමක් ලෙස බෙත්ලෙහෙම් නුවර බටහිර ඉවුරු ප්‍රකාරයේ ඔහු කුරුටු චිත්‍ර නවයක් නිර්මාණය කළේය. ඔහුගේ එම සිතුවම් මෙන්ම ඉන් ඔහු සන්නිවේදනය කිරිමට උත්සාහ කළ යුධ සහ මිලිටරි විරෝධී පණිවුඩය ද ලොව පුරා පැතිර යමින් ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් අත්පත් කරගත්තේය.
උදාහරණයක් ලෙස බෙත්ලෙහෙම් නුවර ඔහු විසින් අඳින ලද, කුඩා ගැහැණු දරුවෙකු විසින් බිත්තියකට එදිරිව දෙඅත් තබා සිටගෙන සිටින සොල්දාදුවෙකු පරික්ෂාවට භාජනය කරන ආකාරය දැක්වෙන කුරුටු චිත්‍රය: බොහෝ රටවල මානව අයිතිවාසිකම් එසේ කඩවන ආකාරයත්, එවැනි සිරුරු සෝදිසි කිරිම් දිනපතා සිදු වන විට කුඩා අහිංසක දරුවන්ට එය මොනතරම් පීඩාවක් ද යන්න එම සිතුවම මොනවට කියා පායි. එසේම කුඩා දැරියගේ සහ සොල්දාදුවාගේ භුමිකා එකිනෙකට මාරු කිරිම මඟින් ඕනෑම දරුවෙකු එසේ සතුරුභාවයට සහ සැකයට ගොදුරු වීම කෙතරම් නින්දාසහගත ද යන්න පරිහාසාත්මක ලෙස ඔහු පෙන්වා දෙයි. බැන්ක්සි ඉතාමත් අපුරුවට බටහිර ඉවුරේ පවුර මත ඔහු ඇඳි සිතුවම් මඟින් ඊශ්‍රායෙල් මිලිටරිවාදයත්, එය පලස්තීනු ජනතාව වෙත එල්ල කරන අමානුෂික පීඩනයත් විවේචනයට ලක් කරයි. එම සිතුවම් නිසා අන්තර්ජාතික අධිකරණය මඟින් ‘නීති විරෝධි’ ලෙස හැඳින්වු පවුරක්, කුරුටු චිත්‍ර කලාව මඟින් විනාශ කළේ යැයි චෝදනා නැඟිය හැකිද යන සංවාදය මාධය තුළ ඉතා පුළුල් ලෙස මතු වෙමින් තිබෙන අතරවාරයේ, බැන්ක්සි එම පවුර ගැන පුනා පුනා මෙසේ කියයි. “එය කුරුටු චිත්‍රශිල්පීන්ට උපරිමයෙන් ක්‍රියාකාරි විය හැකි නිවාඩු කාලයේ සුවිශේෂි ගමනාන්තයක්.”
බැන්ක්සි පරිභෝජනවාදයෙන් සහ විනෝදයෙන් අන්ධව සිටින බටහිර සමාජයත් එම සමාජය විසින් නිර්මාණය කරනු ලබන ප්‍රචණ්ඩත්වය සහ යුද්ධයත් එකිනෙකට සම්බන්ධකොට පෙන්වයි. එය නිරූපණය කරන වඩාත් තියුණුම කුරුටු චිත්‍රය වන්නේ යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කියැවෙන සුප්‍රකට ජායාරූපයක් වන, නිර්වස්ත්‍රව හඬමින්, බියපත්ව දිවයන වියට්නාම දැරියගේ රුව යොදා ගනිමින් කරන ලද නිර්මාණයයි. යුද්ධයේ බිහිසුණු බවින් බියපත් වුණු එම හඬන දැරියගේ දෑත් දැඩි අල්වා ගෙන දෙපසින් සිටින්නේ, මහත් උත්සවකාරි ලෙස සිනාපාන රෝලන්ඩ් මැක්ඩොල්න්ඩ් සහ මිකි මවුස් යන චරිත ද්විත්වයයි.
බැන්ක්සිගේ එම නිර්මාණය ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව ධනවාදය ද ඉතාමත් නිර්මාණශීලි ලෙස විවෙචනයට ලක් කරන්නකි. ඔහු, කුඩා ගැහැණු දරුවාගේ බියපත් මුහුණ, සෙසු චරිත දෙකෙහි පොපියන සිනා මුහුණු දෙක හා සමීප කරවයි. බැන්ස්කි ඉන් පෙන්වා දෙන්නේ විනෝදකාමි සහ නිදහස්කාමි ඇමරිකානු සංස්කෘතියේ බාහිර මුහුණතත්, මිනිසුන් මත බෝම්බ හෙලන, යුද්ධය වාණිජකරණයටත් උත්කර්ෂයටත් පත් කරන ඇමරිකාවේ අඳුරු පැතිකඩ සහිත බිහිසුණු යාථාර්තයත් ය. වරෙක බැන්ස්කි මෙසේ ප්‍රකාශ කළේය. “ලොව ඇති දරුණුම අපරාධ සිදු කර ඇත්තේ නීති කඩන මිනිසුන් විසින් නොව අන්ධ ලෙස නීති පිළිපඳින මිනිසුන් විසිනි. බෝම්බ හෙලන්නේත්, ගම්මාන පිටින් සමූල ඝාතන සිදු කරන්නේත් නියෝග පිළිපඳින මිනිසුන් විසිනි.”
බැන්ක්සි ගේ තවත් කුරුටු චිත්‍රයක් වන ජේසු තුමා දෑත් විදහා භාණ්ඩ පිරිණු මළු දෑතින් දරා සිටින සිතුවම විසින් ජනතාව නත්තලේ සැබෑ අර්ථය අමතක කොට දමමින් පාරිභෝගික භාණ්ඩ හඹා යෑමේ විකාර රූපි තත්වය සමාජයට සිහිපත් කොට දෙයි.
මෙවැනි කුරුටු චිත්‍ර ඔබ යනෙන මාවත දෙපස, ඔබ දෑස් ආසන්නයේ, ඔබට වඩා විශාලව ඔබ ඉදිරියේ පෙනී සිටින විට ඒ ගැන නොසිතා සිටිය හැක්කේ කෙසේද? බැන්ක්සි ජනතාවට සමිප වන්නේත් සහ කිසිවෙකුත් නාඳුනන බැන්ක්සිගේ නිර්මාණ වලට ජනතාව ආදරය කරන්නෙත් ඒ නිසාය. ඔවුනට එම නිර්මාණත්, එම නිර්මාණ වෙතින් කියැවෙන පණිවුඩයත් කිසිසේත්ම මඟහැර යා නොහැකිය. බැන්ක්සි විසින් ගෙන එන සමාජ විවේචනය ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ කොටසක් බවට පත් වෙයි. කඩපොළට, වැඩපළට, බස් නැවතුමට, වීදියට යන එන අතරවාරේ එය ඔවුන් ගේ ඒකාකාරි ජිවිතය මැද්දට කඩා පනියි. ඔවුන්ගේ මනස සෙමින් කළඹාලයි. මහ මාවත් අද්දර ගොඬනැඟිලි සිය කැන්වසය කරගත් බැන්ක්සි, කලාගාරවල වැජඹෙන කලාකරුවන්ට වඩා ජනතාවගේ සිත් තුළ ජීවත් වෙයි. ඔවුන් තුළ බලපෑමක් ඇති කරයි. 2010 වසරේ ටයිම් සඟරාව විසින් ඉදිරිපත් කරන ලද ලොව වඩාත් බලපෑම් සහගත පුද්ගලයන් සිය දෙනා අතරට බැන්ක්සිගේ නාමයත් එක් වුයේ ඒ නිසාය.
වරෙක නිව්යෝර්ක් නගරයේ වීදි, බැන්ක්සිගේ කුරුටු චිත්‍ර විසින් අනවසරයෙන් ආක්‍රමණය කරන විට එම නගර වැසියෝ මෙවැනි ආකාරයේ අදහස් පළකළහ.
“කිසිදු ආකාරයේ කලාකරුවෙක් නොකරන ආකාරයෙන් ඔහු, කලාව වීදියට ගෙන එයි. කලාගාරවලට නොයන, කෞතුකාගරවලට නොයන මිනිසුන් බැන්ක්සි දෙස බලන්නට විදියේ මඳකට නවතියි.”
වෙනත් කලා නිර්මාණ
බැන්ක්සි විදි කලාව, කුරුටු චිත්‍ර, කුරුටු චිත්‍ර කලාවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ විදි කලාව වටා බැඳුණු සමාජ දේශපාලනික තත්වයන් සාකච්ඡාවට බඳුන් කෙරෙන කෘති පහළොවකට ආසන්න සංඛ්‍යාවක් සම්පාදනය කර ඇති ගත්කතුවරයෙකු ද වෙයි. ඔහු ඉන් නොනැවතී, ලොස් ඇන්ජලීස් නුවරට එන ප්‍රංශ සංක්‍රමණිකයකු විදි කලාව හා පෙමින් බැඳීම පිළිබද කියැවෙන Exit Through the Gift Shop නම් වාර්තා චිත්‍රපටයක් 2010 දි අධ්‍යක්ෂණය කල අතර එය එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විශේෂාංග වාර්තා චිත්‍රපටය සඳහා ද නිර්දේශ විය.
201 වසරෙදි බැන්ස්කි Walled Off නමින් ඔහුට අයත් හෝටලයක් පලස්තීනයේ බෙත්ලෙහෙම් නුවර විවෘත කලේය. එය ඩිස්මාලන්තයට පසුව බැන්ක්සි කළ විශාලතම කලා ව්‍යාපෘතියයි. ඊශ්‍රායෙලය සහ පලස්තීනය වෙන්වන පවුරට මායිම්ව ඇති එම හෝටලය කාමර නවයකින් යුක්ත අතර එහි බිත්ති මුුළුමනින්ම පාහේ බැන්ක්සිගේ කුරුටු චිත්‍ර වලින් අලංකරණය වී ඇත. බැන්ක්සි සුපුරුදු පරිදි එම චිත්‍ර වලින් සිය මිලිටරි සහ යුධ විරෝධය මෙන්ම ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති, පරිහාසාත්මකව උග්‍ර විවේචනයට ලක් කරන අතරම ඔහුට අවශ්‍යව ඇත්තේ ලොව පුරා විසිරී සිටින සිය රසිකයින් එහි බුරුතු පිටින් පැමිණිම නොව, ඊශ්‍රායෙල් තරුණයන් සහ මැදපෙරදිග සංචාරකයන් එහි පැමිණිමත් ඔවුන් හා කිසියම් සංවාදයක් ගොඩ නඟා ගැනීමත්ය. “අප කිසියම් ගැටුමකින් ඈත්වී එහි වගකීමෙන් නිදහස්ව අත පිසදා ගන්නට ඕනෑනම්, අප බලය ඇත්තන් සහ නැත්තන් අතරින් අප සිටගන්නේ බලය ඇත්තන් සමඟිනි” බැන්ක්සි කියයි.
සල්ලි මවන බැන්ක්සි කලාව
‘වාණිජ්‍ය නැඟිම වීදි කලාකරුවාගේ පරිහානිය පිළිඹිබු කරයි’ විලේජ් වොයිස් නම් වෙබ් අඩවිය විසින් කරන ලද සාකච්ඡාවකදි බැන්ක්සි සිය සිතුවම් මඟින් අනවශ්‍ය ලාභයක් ලැබීම පිළිබඳ එසේ සිය අදහස් පළ කළේය. “වීදියේ ප්‍රදර්ශනයට තබා ඇති සිතුවමකින් මුල්‍යමය ලාභයක් ලබන පළමු මොහොතේම ඉන්ද්‍රජාලික ලෙස එම සිතුවම වෙළඳ දැන්වීමක් බවට පත් වෙනවා”
මෙම ලිපිය පළමුවරට 2018.09.02 දින අනිද්දා පුවත්පතේ පළවෙන ලදි.








.jpg)














Comments
Post a Comment