Report Abuse

Comments

Recent

Bottom Ad [Post Page]

Featured Post

Contact Form

Name

Email *

Message *

Archive

Tags

Labels

Full width home advertisement

Popular

Keep Traveling

Travel everywhere!

Author Description

Advertisement

Post Page Advertisement [Top]

Skip to main content

බැන්ක්සි! කිසිවෙකුත් නොහඳුනන වීදි කලාකරුවා

 




බැන්ක්සි ! එම නාමය බොහෝ රටවල් තුළ මතභේද, විවාද, සංවාද මෙන්ම කුතුහලයද එකසේ අවුුලුවා තබයි. බැන්ක්සි යනු වීදි කලාකරුවෙකුගේ පටබැඳි නාමයකි.

ඔහු එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් නම් නගරයේ උපත ලද, මේ වන විට වයස අවුරුදු හතළිස් ගණනක් විය හැකි පුද්ගලයකුය යන කාරණා හැරෙන්නට කිසිවෙකු මෙතෙක් ඔහුගේ අනන්‍යතාවට අදාළ වෙන කිසිදු තොරතුරක් පැහැදිලිව හෙලි කරගැනීමට සමත් වී නැත. එහෙත් සැකයකින් තොරව, බැන්ක්සි ගෝලීය වශයෙන් වඩාත් විවාදයට ලක් වුණු විදි කලාකරුවා බවට මේ වන විට පත්ව ඇත. වසර විසි පහක් පුරාවට සිය අනන්‍යතාව සඟවා ගනිමින්, ඔහු නිර්මාණකරණයට වීදි බසින සෑම රාත්‍රියකදීම පොලිසියේ උකුසු ඇසට හසු වීමේ අභියෝගය ජය ගනිමින්, පසුදින හිරු උදාවමත්ම නගර වැසියන් පුදුමයට පත් කරන නීත්‍යානුකූල නොවන කලා නිර්මාණයක්, එනම් උස් ගොඬනැඟිල්ලක්, තාප්පයක් නැතිනම් දුම්රියක් මත හෝ ඇඳි කුරුටු චිත්‍රයක් නගරයේ ප්‍රදර්ශනයට තබා ඔහු අතුරුදහන් වෙයි.

බැන්ක්සි ගේ කුරුටු චිත්‍රකලාව


බැන්ක්සිගේ කුරුටු චිත්‍ර ඔහු උපන් රට වන එක්සත් රාජධානිය පමණක් නොව ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ඊශ්‍රායලය, පලස්තීනය සහ ජැමෙයිකාව යන රටවල ද දැකිය හැකිය. ඔහු කොතැනක ගිය ද එම ස්ථානය තුළ කිසියම් බලපෑමක් ඇති කිරීමට ඔහු සමත් වෙයි. ඔහුගේ රූපමය සහ උපහාසාත්මක ප්‍රකාශනය චිත්‍ර කලාව, දර්ශනය, දේශපාලනය, සමාජ විද්‍යාව, හාස්‍ය සහ ආත්මරාගය වැනි විෂය පථයන් පුරා විහිදී ඇත. බැන්ක්සි‍ගේ වීදි කලාව යනු ‘පිළිවෙලකට’ ඇති නගරයක් හැඩි කරන සිතුවමක් ඇඳිම නොව, ‘පිළිවෙලකට’ ඇතැයි සිතන පැවැත්මක ඇති අපිළිවෙල ගැන නැවත සිතන්නට පොළඹවන ප්‍රකාශනයක් නගරය මැද්දෑවේ ඉතිරි කර යාමයි.

අච්චු තහඩු(ස්ටෙන්සිල්) භාවිතා කරමින් යෙදෙන කුරුටු චිත්‍ර කලා විශේෂයක් හැඳින්වීමට ‘බැන්ස්කි’ යන වදන යෙදෙයි. ‘බැන්ස්කි’ නම් කුරුටු චිත්‍ර කලාකරුවා ද සිය නිර්මාණකරණයේ යෙදෙන්නේ අච්චු තහඩු භාවිතා කරමිනි. ඔහුට අනුව අච්චු තහඩු භාවිතා කරමින් කුරුටු චිත්‍ර ඇඳීම මඟින් අන්ධකාරයේ පවා ඉතාමත් වේගවත්ව, සිය නිර්මාණය ඔහු ඉදිරියේ ඇති ‘කැන්වසය’ මත සිතුවම් කර හමාර කළ හැකිය. එය නගර ආරක්ෂකයින්ගෙන්, නිශාචර නගර වැසියන්ගේ ගල් පහරින්, අනවශ්‍ය විපරම්කාරි දෑස් වලින් බේරිමට ද ඉඩ ලබා දෙන පහසු මඟකි. ඔහු මුලින්ම වීදි කලාකරුවෙකු ලෙස කල එළි බැස්සේ වෙනත් වීදි කලාකරුවන් කණ්ඩායම් කිහිපයක් හා එක්ව එක්දහස් නවසිය අනූව දශකයේය. එකවරම රැයක් එළිවන විට බැන්ක්සි තම නගරයේ ජිවත් වන බව එම නගරයේ වැසියෝ දැන ගනිති. ඒ ඔවුන් සිය නිවසින් බැහැරව යන විට බැන්ක්සිගේ අත්සන සහිත කුරුටු චිත්‍රයක් එකවරම තම දෑස් ඉදිරියේ දෘශ්‍යමාන වන නිසාය.








ඔහුගේ වීදි කලාව තුළ දක්නට ඇති අති මහත් උපහාසය විසින් ප්‍රේක්ෂකයාගේ අවධානය අප නිතරම නොසලකා හරින සත්‍යයක් වෙත කැඳවා ගෙන යයි. පවතින ආණ්ඩුව, සංස්ථා සමාගම් සහ තත්කාලීන සමාජය ඔහු පරිහාසයට ලක් කරන ආකාරය නිසා ඔහුගේ නිර්මාණ සමාජය කළඹාලීමටත් මතභේදයකට තුඩු දීමටත් හේතු වෙයි. ඔහු සිය නිර්මාණ තුළින් නිරන්තරයෙන් ධනවාදය, පරිභෝජනවාදය, යුද්ධය, සත්ත්ව හිංසනය සියුම්ව විවේචනයට ලක්කරයි. මේ නිසාම ඔහුගේ ප්‍රේක්ෂාගාරය ඔහුට ආදරය කරන්නන් සේම ඔහුව හෙළා දකින්නන් ලෙස කොටස් දෙකකට බෙදී සිටිනු දැකිය හැකිය.




එක් ප‍ාර්ශවයක්, ඔහු මහජන දේපළ වලට හානි පමුණුවන නිසා ඔහු සිය කලාවේ නියුක්ත වන ආකාරයත් සහ ඒ නිසාම ඔහුගේ කුරුටු චිත්‍ර නීති ගරුක සමාජයක් තුළ පිළිගත නොහැකි නිර්මාණ ලෙසත් තර්ක කළ ද ඔහුගේ නිර්මාණ තුළ ගැබ්ව ඇති මහජනයා මත බලපෑම් කිරීමට ඇති සමත්කම කිසිවිටෙක ප්‍රතික්ෂේප කළ නොහැකිය. එම ශක්‍යතාවේ තීව්ර බව සමහර විචාරකයින් විසින් සඳහන් කරන ආකාරයට ඉතාමත් කලාතුරකින් කලා නිර්මාණයක් තුළ පිහිටන සාධකයකි.

ඔහුගේ අච්චු තහඩු භාවිතය ඔහුට වඩාත් යථාර්තවාදි දර්ශන නිර්මාණය කිරීමට ඉඩ ලබා දෙයි. ඒ නිසා ඔහු නිතරම ඔහුගේ නිර්මාණ, එය ප්‍රදර්ශනය වන ස්ථානය හා සම්බන්ධ කොට ඉදිරිපත් කරයි. පලස්තීන ජනතාවට අපේක්ෂා මාත්‍රයක් පිළිබඳ ඇඟවුමක් ලෙස බෙත්ලෙහෙම් නුවර බටහිර ඉවුරු ප්‍රකාරයේ ඔහු කුරුටු චිත්‍ර නවයක් නිර්මාණය කළේය. ඔහුගේ එම සිතුවම් මෙන්ම ඉන් ඔහු සන්නිවේදනය කිරිමට උත්සාහ කළ යුධ සහ මිලිටරි විරෝධී පණිවුඩය ද ලොව පුරා පැතිර යමින් ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් අත්පත් කරගත්තේය.

උදාහරණයක් ලෙස බෙත්ලෙහෙම් නුවර ඔහු විසින් අඳින ලද, ‍කුඩා ගැහැණු දරුවෙකු විසින් බිත්තියකට එදිරිව දෙඅත් තබා සිටගෙන සිටින සොල්දාදුවෙකු පරික්ෂාවට භාජනය කරන ආකාරය දැක්වෙන කුරුටු චිත්‍රය: බොහෝ රටවල මානව අයිතිවාසිකම් එසේ කඩවන ආකාරයත්, එවැනි සිරුරු සෝදිසි කිරිම් දිනපතා සිදු වන විට කුඩා අහිංසක දරුවන්ට එය මොනතරම් පීඩාවක් ද යන්න එම සිතුවම මොනවට කියා පායි. එසේම කුඩා දැරියගේ සහ සොල්දාදුවාගේ භුමිකා එකිනෙකට මාරු කිරිම මඟින් ඕනෑම දරුවෙකු එසේ සතුරුභාවයට සහ සැකයට ගොදුරු වීම කෙතරම් නින්දාසහගත ද යන්න පරිහාසාත්මක ලෙස ඔහු පෙන්වා දෙයි. බැන්ක්සි ඉතාමත් අපුරුවට බටහිර ඉවුරේ පවුර මත ඔහු ඇඳි සිතුවම් මඟින් ඊශ්‍රායෙල් මිලිටරිවාදයත්, එය පලස්තීනු ජනතාව‍ වෙත එල්ල කරන අමානුෂික පීඩනයත් විවේචනයට ලක් කරයි. එම සිතුවම් නිසා අන්තර්ජාතික අධිකරණය මඟින් ‘නීති විරෝධි’ ලෙස හැඳින්වු පවුරක්, කුරුටු චිත්‍ර කලාව මඟින් විනාශ කළේ යැයි චෝදනා නැඟිය හැකිද යන සංවාදය මාධය තුළ ඉතා පුළුල් ලෙස මතු වෙමින් තිබෙන අතරවාරයේ, බැන්ක්සි එම පවුර ගැන පුනා පුනා මෙසේ කියයි. “එය කුරුටු චිත්‍රශිල්පීන්ට උපරිමයෙන් ක්‍රියාකාරි විය හැකි නිවාඩු කාලයේ සුවිශේෂි ගමනාන්තයක්.”




බැන්ක්සි පරි‍භෝජනවාදයෙන් සහ විනෝදයෙන් අන්ධව සිටින බටහිර සමාජයත් එම සමාජය විසින් නිර්මාණය කරනු ලබන ප්‍රචණ්ඩත්වය සහ යුද්ධයත් එකිනෙකට සම්බන්ධකොට පෙන්වයි. එය නිරූපණය කරන වඩාත් තියුණුම කුරුටු චිත්‍රය වන්නේ යුද්ධය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ කියැවෙන සුප්‍රකට ජායාරූපයක් වන, නිර්වස්ත්‍රව හඬමින්, බියපත්ව දිවයන වියට්නාම දැරියගේ රුව යොදා ගනිමින් කරන ලද නිර්මාණයයි. යුද්ධයේ බිහිසුණු බවින් බියපත් වුණු එම හඬන දැරියගේ දෑත් දැඩි අල්වා ගෙන දෙපසින් සිටින්නේ, මහත් උත්සවකාරි ලෙස සිනාපාන රෝලන්ඩ් මැක්ඩොල්න්ඩ් සහ මිකි මවුස් යන චරිත ද්විත්වයයි.




බැන්ක්සිගේ එම නිර්මාණය ඇමරිකා එක්සත් ජනපදය පමණක් නොව ධනවාදය ද ඉතාමත් නිර්මාණශීලි ලෙස විවෙචනයට ලක් කරන්නකි. ඔහු, කුඩා ගැහැණු දරුවාගේ බියපත් මුහුණ, සෙසු චරිත දෙකෙහි පොපියන සිනා මුහුණු දෙක හා සමීප කරවයි. බැන්ස්කි ඉන් පෙන්වා දෙන්නේ විනෝදකාමි සහ නිදහස්කාමි ඇමරිකානු සංස්කෘතියේ බාහිර මුහුණතත්, මිනිසුන් මත බෝම්බ හෙලන, යුද්ධය වාණිජකරණයටත් උත්කර්ෂයටත් පත් කරන ඇමරිකාවේ අඳුරු පැතිකඩ සහිත බිහිසුණු යාථාර්තයත් ය. වරෙක බැන්ස්කි මෙසේ ප්‍රකාශ කළේය. “ලොව ඇති දරුණුම අපරාධ සිදු කර ඇත්තේ නීති කඩන මිනිසුන් විසින් නොව අන්ධ ලෙස නීති පිළිපඳින මිනිසුන් විසිනි. බෝම්බ හෙලන්නේත්, ගම්මාන පිටින් සමූල ඝාතන සිදු කරන්නේත් නියෝග පිළිපඳින මිනිසුන් විසිනි.”


බැන්ක්සි ගේ තවත් කුරුටු චිත්‍රයක් වන ජේසු තුමා දෑත් විදහා භාණ්ඩ පිරිණු මළු දෑතින් දරා සිටින සිතුවම විසින් ජනතාව නත්තලේ සැබෑ අර්ථය අමතක කොට දමමින් පාරිභෝගික භාණ්ඩ හඹා යෑමේ විකාර රූපි තත්වය සමාජයට සිහිපත් කොට දෙයි.




මෙවැනි කුරුටු චිත්‍ර ඔබ යනෙන මාවත දෙපස, ඔබ දෑස් ආසන්නයේ, ඔබට වඩා විශාලව ඔබ ඉදිරියේ පෙනී සිටින විට ඒ ගැන නොසිතා සිටිය හැක්කේ කෙසේද? බැන්ක්සි ජනතාවට සමිප වන්නේත් සහ කිසිවෙකුත් නාඳුනන බැන්ක්සිගේ නිර්මාණ වලට ජනතාව ආදරය කරන්නෙත් ඒ නිසාය. ඔවුනට එම නිර්මාණත්, එම නිර්මාණ වෙතින් කියැවෙන පණිවුඩයත් කිසිසේත්ම මඟහැර යා නොහැකිය. බැන්ක්සි විසින් ගෙන එන සමාජ විවේචනය ඔවුන්ගේ එදිනෙදා ජිවිතයේ කොටසක් බවට පත් වෙයි. කඩපොළට, වැඩපළට, බස් නැවතුමට, වීදියට යන එන අතරවාරේ එය ඔවුන් ගේ ඒකාකාරි ජිවිතය මැද්දට කඩා පනියි. ඔවුන්ගේ මනස සෙමින් කළඹාලයි. මහ මාවත් අද්දර ගොඬනැඟිලි සිය කැන්වසය කරගත් බැන්ක්සි, කලාගාරවල වැජඹෙන කලාකරුවන්ට වඩා ජනතාවගේ සිත් තුළ ජීවත් වෙයි. ඔවුන් තුළ බලපෑමක් ඇති කරයි. 2010 වසරේ ටයිම් සඟරාව විසින් ඉදිරිපත් කරන ලද ලොව වඩාත් බලපෑම් සහගත පුද්ගලයන් සිය දෙනා අතරට බැන්ක්සිගේ නාමයත් එක් වුයේ ඒ නිසාය.


වරෙක නිව්යෝර්ක් නගරයේ වීදි, බැන්ක්සිගේ කුරුටු චිත්‍ර විසින් අනවසරයෙන් ආක්‍රමණය කරන විට එම නගර වැසියෝ මෙවැනි ආකාරයේ අදහස් පළකළහ.


“ මම කැමතියි ඒ කලාවට, ඒත් මම ගොඩක්ම කැමති ඔහු මුළු නගරයම ඔහුගේ කැන්වසය බවට පත්කරගන්නා ඔහුගේ කලාවට” කෙවින් සෙයිජ්, නිව්යෝර්ක් නගරවැසියෙක්.

නිව්යෝර්ක් සඟරාවේ විචාරකයෙකු වන ජෙරි සෝල්ට්ස්, බැන්ක්සි ගැන මෙවැනි අදහසක් පළ කරයි.

“ඔහු ප්‍රචාරකයෙක්. බැන්ක්සි කියන්නෙ කලාකරුවෙක් නොවෙයි. බැන්ක්සි කියන්නෙ ක්‍රියාකාරිත්වයක්. ඔහු මුළුමනින්ම සම්ප්‍රදායානුකූල, ආරාජික, බොල් චරිතයක්. ඔහුගේ සිතුවම් කිසිදු ආකාරයකින් සිත් ගන්නා සුළු නැහැ. උදාහරණයක් විදියට, බල්ලෙක් ගිනි නිවීමට යොදා ගන්නා ජල නලයක් මතට මුත්‍රා කිරීම, බිත්තියේ බැලුමක් වැනි සිතුවම්.. මම කියන්න උත්සාහ කරන්නෙ, ඒවා තරමක් තියුණු දේශපාලනික පණිවුඩ.. ඒත් ඒවා ඕනැවටත් වඩා පැහැදිලියි.”

බැන්ක්සි වෙනුවෙන් ඉදිරිපත් වන්නන්ගේ අදහස් වලට අනුව ඔහුගේ වචන සහ සිතුවම් ඔහුගේ නිර්මාණයේ අන්තර්ගතයේ එක් කොටසක් පමණි. ඊට අමතරව එහි සන්දර්භයද සැළකිල්ලට ගතයුතු බව ඔවුන්ගේ අදහසයි.

බැන්ක්සි පිළිබද ලියන ලද Banksy called Banksy: The Man Behind the Wall නම් කෘතියේ කතෘ විල් එල්ස්වර්ත් මෙසේ පවසයි.

“කිසිදු ආකාරයේ කලාකරුවෙක් නොකරන ආකාරයෙන් ඔහු, කලාව වීදියට ගෙන එයි. කලාගාරවලට නොයන, කෞතුකාගරවලට නොයන මිනිසුන් බැන්ක්සි දෙස බලන්නට විදියේ මඳකට නවතියි.”


බැන්ක්සි යනු සාමාන්‍ය මිනිස් සමාජයට තේරුම්ගත නොහැකි ගුප්ත අභිරහසකි. ඔහු‍ගේ නිර්මාණ දිනෙන් දින ජනතාව අතරේ ජනප්‍රියත්වයට පත් වන විට, එම නිර්මාණ ජනතා කලාවක නිම් වළලු පුළුල් කරමින්, අනෙකුත් බොහොමයක් කලාකරුවන්ට අභාෂය ලබා දෙමින් ඔවුනට පෙර මඟ පෙන්වන විට, බැන්ක්සි ඒ ජනතාව අතරම රැ‍‍ඳෙමින් ඔවුන්ගෙන් කෙනෙකු ලෙස ජිවත් වුවා මිස, ඔහු ලබන කිර්තියෙන් සහ ප්‍රසිද්ධියෙන් ගිණි කණ වැටී තමන් නියුක්තව සිටි කලාවේ අරමුණ විනාශ ක‍ොට ගත්තේ නැත. නමුත් ඔහුගේ එම නොසැලෙන සංයමයෙන් රිද්දා ගත්තේ සාමාන්‍ය මිනිස් සමාජයයි. ජනමාධ්‍ය නිරන්තරයෙන් බැන්ක්සිගේ අනන්‍යාතාව හෙළි කිරීමට උත්සාහ කලේය. විවිධ ආකාරයේ න්‍යයායන් මඟින් අනුමාන කරමින් සම්ප්‍රදායික පුද්ගලික තොරතුරු ගොන්නකට බැන්ක්සි නම් කලා අයිකනය සිර කොට ගැනීමට උත්සාහ කළේය. එහෙත් බැන්ක්සිගේ නොබි‍‍‍ඳෙ සුළු විනය නිසා ඔහු වටා ඇති ප්‍රාකාරය පැපරාසින්ට ද තවමත් බිඳ දැමීමට නොහැකි වී ඇත. මාධ්‍ය වාර්තා වලට අනුව බැන්ක්සි නම් විදිකලාකරුවා සිය කලා අනන්‍යතාව සිය පවුලේ සමිපතයන්ගෙන් පවා වසන් කර සිටීමට සමත්කම් ඇති ශූර පුද්ගලයෙකි. ඒ නිසා බැන්ක්සි යනු තවමත් කිසිවකු නාඳුනන පුද්ගලයෙකි. “ඔබට කිසිවක් කීමට ඇත්නම් සහ ජනතාව ඔබට සවන් දීමට උවමනා නම් ඔබ වෙස් මුහුණක් පැළඳගත යුතුය.”බැන්ක්සි කියයි.



වෙනත් කලා නිර්මාණ

බැන්ක්සි විදි කලාව, කුරුටු චිත්‍ර, කුරුටු චිත්‍ර කලාවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ විදි කලාව වටා බැඳුණු සමාජ දේශපාලනික තත්වයන් සාකච්ඡාවට බඳු‍න් කෙරෙන කෘති පහ‍ළොවකට ආසන්න සංඛ්‍යාවක් සම්පාදනය කර ඇති ගත්කතුවරයෙකු ද වෙයි. ඔහු ඉන් නොනැවතී, ලොස් ඇන්ජලීස් නුවරට එන ප්‍රංශ සංක්‍රමණිකයකු විදි කලාව හා ‍ පෙමින් බැ‍‍ඳීම පිළිබද කියැවෙන Exit Through the Gift Shop නම් වාර්තා චිත්‍රපටයක් 2010 දි අධ්‍යක්ෂණය කල අතර එය එම වසරේ ඇකඩමි සම්මාන උළෙලේ හොඳම විශේෂාංග වාර්තා චිත්‍රපටය සඳහා ද නිර්දේශ විය.


ඉන් පසු 2015 වසරේදි අක්කර 2.5 පමණ ප්‍රදේශයක් පුරා විහිදුණු ‘ඩිස්මාලන්තය’ නම් තාවකාලික, බැන්ස්කි විසින්ම හඳුන්වා දුන් ආකාරයට ‘ඒකාකාරි දෛනික ජීවිතයට විකල්පමය වෙනසක්’ ලෙස, කලා උද්‍යානයක් නිර්මාණය කළේය. එය ආරම්භයේ සිටම නරඹන්න්නට ලබා දුන්නේ වෙනස්ම ආකාරයේ අත්දැකීමකි. ඔහු එය නිර්මාණය කර තිබුණේ අව් රශ්මිය වැටෙන ග්‍රීෂ්ම සෘතුවේ පවා වැහි වළාකුළින් බරවී අඳුරු වටපිටාවක් ඇති එංගලන්තයේ පිටිසර බද, කිසිසේත්ම ආකර්ශණිය නොවු ප්‍රදේශයකය. බැන්ක්සි සහ ඔහුගේ ආරාධනයෙන් පැමිණ ඔහු හා එක්ව වැඩ කළ අනෙකුත් හැටකට ආසන්න කලාකරුවන්‍ විසින් සියල්ල නිර්මාණය කොට තිබුණේ, පටන් ගැන්මේ සිටම නරඹන්නා අපේක්ෂාභංගත්වයට පත් කිරීමටය. අන්තර්ජාලය හරහා ටිකට් පත් වෙන් කළ හැකි පහසුකම් ඇතැයි සඳහන් වුව ද එම වෙබ් අඩවි ක්‍රියාත්මක නොවි නරඹන්නන් අසහනයට පත් කරවිය. එම උද්‍යානයේ සේවකයන් කිසිසේත්ම සිනා මුසු මුුහුණින් නරඹන්නන් පිළිගත්තේ නැත. ඔවුන් විඩාපත්ය. මුඩුම පෙනුමක් සහිත වුවන්ය. සියළු දර්ශන සහ කලා නිර්මාණ සකසා තිබුණේ නරඹන්නන් කළකිරවන, අසහනයට පත්කරවන සහ සිතන්නට යමක් ඉතිරි කරන ආකාරයෙනි.



201 වසරෙදි බැන්ස්කි Walled Off නමින් ඔහුට අයත් හෝටලයක් පලස්තීනයේ බෙත්ලෙහෙම් නුවර විවෘත කලේය. එය ඩිස්මාලන්තයට පසුව බැන්ක්සි කළ විශාලතම කලා ව්‍යාපෘතියයි. ඊශ්‍රායෙලය සහ පලස්තීනය වෙන්වන පවුරට මායිම්ව ඇති එම ‍හෝටලය කාමර නවයකින් යුක්ත අතර එහි බිත්ති මුුළුමනින්ම පාහේ බැන්ක්සිගේ කුරුටු චිත්‍ර වලින් අලංකරණය වී ඇත. බැන්ක්සි සුපුරුදු පරිදි එම චිත්‍ර වලින් සිය මිලිටරි සහ යුධ විරෝධය මෙන්ම ඊශ්‍රායලයේ ප්‍රතිපත්ති, පරිහාසාත්මකව උග්‍ර විවේචනයට ලක් කරන අතරම ඔහුට අවශ්‍යව ඇත්තේ ලොව පුරා විසිරී සිටින සිය රසිකයින් එහි බුරුතු පිටින් පැමිණිම නොව, ඊශ්‍රායෙල් තරුණයන් සහ මැදපෙරදිග සංචාරකයන් එහි පැමිණිමත් ඔවුන් හා කිසියම් සංවාදයක් ‍ගොඩ නඟා ගැනීමත්ය. “අප කිසියම් ගැටුමකින් ඈත්වී එහි වගකීමෙන් නිදහස්ව අත පිසදා ගන්නට ඕනෑනම්, අප බලය ඇත්තන් සහ නැත්තන් අතරින් අප සිටගන්නේ බලය ඇත්තන් සමඟිනි” බැන්ක්සි කියයි.







සල්ලි මවන බැන්ක්සි කලාව

‘වාණිජ්‍ය නැඟිම වීදි කලාකරුවාගේ පරිහානිය පිළිඹිබු කරයි’ විලේජ් වොයිස් නම් වෙබ් අඩවිය විසින් කරන ලද සාකච්ඡාවකදි බැන්ක්සි සිය සිතුවම් මඟින් අනවශ්‍ය ලාභයක් ලැබීම පිළිබඳ එසේ සිය අදහස් පළ කළේය. “වීදියේ ප්‍රදර්ශනයට තබා ඇති සිතුවමකින් මුල්‍යමය ලාභයක් ලබන පළමු මොහොතේම ඉන්ද්‍රජාලික ලෙස එම සිතුවම වෙළඳ දැන්වීමක් බවට පත් වෙනවා”


මින් පැහැදිලි වන්නේ විදි කලාකරුවෙකුට ජිවත් වීමට ප්‍රමාණවත් තරම් මිස වීදි කලා නිර්මාණ වලින් අහස උසට ලාබ ලැබීම බැන්ක්සිගේ අපේක්ෂාව නොවන බවයි. ක‍ොටින්ම ‍කියතොත් විදි කලාවේ අරමුණ එය නොවන බවයි. එහෙත් සුපරි ධනවාදයේ ගැට කපන්නන්ගෙන්, ධනවාදයේ උග්‍ර විරෝධියෙකු‍ වන බැන්ක්සි ගේ කලා නිර්මාණවලට පවා බේරි සිටිමට නොහැකි තත්වයක් උදා වී ඇතුවා සේය.



බැන්ක්සිගේ නිර්මාණ තුල සංවාදයට බඳුන් කෙරෙන මතවාදීමය දේශපාලනික කාරණා නිසාත් ඔහුගේ අනන්‍යතාව සැඟවීමත් නිසා මාධ්‍යකරුවන්ට බැන්ක්සි කටගැස්මකි. ඒ නිසාම බැන්ක්සිගේ නිර්මාණ, සමාජය තුළ උපසංස්කෘතියක් සළකුණු කරන බලසම්පන්න කලා මාධ්‍යක් බවට පත්ව ඇත. ඒ නිසාම එම නිර්මාණ, විශාල ප්‍රසිද්ධියක් ද මුල්‍යම වටිනාකමක් ද අතපත් කර ගැනීමට සමත් වී ඇත.

බැන්ක්සි ඇතුළු විදි කලාකරුවන් වීදියේ කරන නිර්මාණවල මුද්‍රිත අකෘතින්, පහසු මිලට රසිකයන්ට මිලදී ගැනීමට Pictures on wall නම් වෙබ් අඩවියක් නිර්මාණය කර තිබියදිත් බැන්ක්සිගේ කලා නිර්මාණ කලාගාරවල, කෞතුගාරවල කලාකරුවාගේ අවසරයකින් තොරව ඩොලර් මිලයන ගණන් වලට වෙන්දේසි වෙයි.

2014 වසරේ එම්. ඊ. ලන්ඩන් හෝටලය විසින් ‘බැන්ක්සිව හොරාකනවද?’ වැනි නොහික්මුණු ශිර්ෂ පාඨයක් ය‍ටතේ බැන්ක්සිගේ සුප්‍රකට නිර්මාණ හතක් වෙන්දේසි කිරිමේ අවස්ථාවක් සංවිධානය කර තිබුනි. ඒ කලාකරුවාගේ අවසරක් නොමැතිවය. එම වෙන්දේසියෙදි බැන්ක්සිගේ සමරහක් කෘති ඩොල්ර් මිලියන 1.7 ක් වැනි මුදලකට අලෙවි වු බව පැවසෙයි.




2007 වසරේ ලන්ඩනයේම වෙන්දේසි මන්දිරයක ඔහුගේ කෘතින් ත්‍රිත්වයක් වෙන්දේසි වු මොහොතක බැන්ක්සි සිය වෙබ් අඩිවයේ ‘ උඹලා වගේ ගොන් හැත්තක් මේ ගූ ගොඩ සල්ලි දීලා ගත්තා කියලා ඇත්තටම මට විශ්වාස කරන්න බැහැ’ වැනි සටහනක් සහිත ඔහුගේ සිතුවමක් ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළකොට තිබුණි.

එසේම බැන්ක්සි රැයක් පුරා නිදි වරාගෙන ගොඩනැඟිලි බිත්ති සහ ප්‍රාකාර මත සිතුවම් කරන කුරුටු චිත්‍ර එසැණින් ඉවත් කිරීමට නගර බලධාරින්ට කිසිදු තහනමක් නැත. විටෙක එය එසේ සිදුවනවා සේම, බැන්ක්සිගේ කුරුටු චිත්‍ර සහිත බිත්ති සහ පුවරු නගරයෙන් එහෙම පිටින්ම ඉවත් කරන්නේ ඒවා ඉතා වැඩි මිලට කලා කෘති එකතු කරන්නන්ට, කලා කෘති වෙළඳාමේ යෙදෙන කළු කඩකාරයන්ට, කලාගාරවලට සහ කෞතුගාරවලට විශ්වාස කළ නොහැකි මිල ගණන් වලට විකිණිම සඳහාය. 2017 වසරේ කොලින් ඩේල් නම් චිත්‍රපට අධ්‍යක්ෂක වරයා Savings Banksy නම් වාර්තා චිත්‍රපටය නිර්මාණය කරන්නේ ද එසේ මහජන ප්‍රදර්ශනයට සඳහා වු බැන්ක්සිගේ සිතුවමක් කළු කඩකාරයෙක්ගෙන් බේරා ගැනිමට ගන්නා උත්සාහයක් කියා පෑමටය.

බැන්ස්කිගේ අවසරයකින් තොරව මෙලෙස විවිධාකාරයෙන් වසරකට විකිණෙන ඔහුගේ කලා කෘති වලින් දළ වශයෙන් ලබන මුළු ආදායම ඩොල්ර් මිලියන 20 ක් පමණ වන බව ගණන් බලා ඇත.

බැන්ක්සිට මේ කිසිවක් පාලනය කළ නොහැක. ඔහුට ඔහුගේ නිර්මාණ මෙසේ මිලියන ගණන්වලට විකුණා ජීවත් වීමට උවමනාවක් නොමැත. ඒ ඔහු, ඔහුගේ කලාවෙ නියැලෙන්නේ සමාජය වෙනස් කිරීමේ, ඔහුගේ ම වදන්වලින් කිවහොත් ‘මේ ක්‍රමය කුඩුපට්ටම්’ කිරිමේ අරමුණ පෙරදැරිවය. ඒසා විශාල ඔහුගේ කලා කෘති මංකොල්ලය පිළිබඳ කාරණ‍ාවේදි ද ධනවාදය සමාජය තුළ ක්‍රියාත්මක වන ආකාරය ඔහු සරල ලෙස පරිහාසයට ලක් කරයි. “ මම හරිම කැමතියි ධනවාදය සිය සතුරෙකුට පවා අවකාශයක් තනා දෙන ආකාරය ගැන.”

බැන්ක්සි වැන්නවුන් අපගේ වැනි සමාජයකට සහමුළින්ම ආගන්තුකය. කලා කෘති කිහිපයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව කෙටි කලකින්ම තමන් වටා රැස් වළලක් තනා ගන්නා සහ බලය ධනය කීර්තිය වෙනුවෙන් තමන්ගේ කලාවේ අරමුණු එක රැයකින් වල දමන කලා කරුවන්ද, ටික කාලයකින්ම කලා කෘති අමතක වී කලාකරුවාගේ රැස් වළලට පමණක් වන්දනාමාන කරන රසියකයන්ද බහුලව සිටින ලංකාව වැනි රටක පුරවැසියන් වු අපට කිසිවකු විසින් ඒසා විශාල ධනයකට සහ කීර්තියකට පිටුපා තම කාලවේ අරමුණ වෙනුවෙන් පෙනි සිටීමට තරම් ප්‍රතිපත්ති ගරුක වීම සැබවින්ම විශ්වාස කළ නොහැකි තරම්ය.


✎ සුභාෂිණි චතුරිකා


මෙම ලිපිය පළමුවරට 2018.09.02 දින අනිද්දා පුවත්පතේ පළවෙන ලදි.








Comments