ජෙරී පින්තු යනු ඉන්දියානු ජාතික කවියෙකි, ළමා කතා රචකයෙකි, නවකතාකරුවෙකි. මුම්බායි වැසියෙකු වුවද ඉංග්‍රීසි භාෂාවෙන් ලේඛණයේ යෙදෙයි. ඔහු බොහෝ විට සමාජයේ ආන්තරීකරණයට ලක් වු ජන සමූහයන් පිළිබඳව අවධානය යොමු කල ලේඛකයෙකි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, වර්ගවාදය සහ ඒ හා බැඳුනු දේශපාලනය පිළිබඳ පර්යේෂණාත්මක කෘති කිහිපයක්ම ඔහු සම්පාදනය කොට ඇත. Surviving Women (2000) සහ Helen (The life and Times of an H Bomb,2006) යන කෘති ද්විත්වය ඉන් ප්‍රධාන තැනක් ගනියි.
2012 වසරේ ඔහු විසින් ප්‍රථම වරට ලියන ලද නවකතාව වන, ප්‍රබන්ධ සහ මතක සටහන්වල සංකලනයක් වූ Em and The Big Hoom නම් කෘතිය ඉන්දියාව සහ දෙස් විදෙස්වල ඉංග්‍රීසි කියවන පාඨක හා විචාරක අවධානය දිනා ගත් කෘතියක් බවට පත් වූ අතර එය 2016 වසරේ දී සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන්ද එම වසරේදීම Windham Campbell සම්මානයෙන් ද පිදුම් ලැබීය.
පහතින් ඇත්තේ ජෙරී පින්තු Kindlemag.in වෙබ් අඩවියේ බිෂ්වදීප් මිත්‍රා නම් ජනමාධ්‍යවේදියා සමඟ සමාජවිවිධත්වය පිළිබඳ මනුෂ්‍යයන් ලෙස අප ක්‍රියා කළ යුතු ආකාරයත්, සිය නිර්මාණ දිවියත් පිළිබඳ කළ සංවාදයේ සංක්ෂිප්ත සංස්කරණයකි.
- ඔබේ කෘති තුළ ඔබ ඉතා ගැඹුරින් මිනිස් මනස සහ සමාජය තුළ අමනෝඥ ලෙස මුල් බැසගෙන ඇති ‘සාමාන්‍ය සහ අසාමාන්‍ය’ යන තත්වයන් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වෙනවා. නව ලිබරල් ආර්ථික තත්ත්වයන්ගේ නැඟීමත් සමඟ ඉපරැණි ප්‍රජා මූලික පාලන තන්ත්‍රයන් තුළ තිබූ මිනිස් සබඳතාවන්ට එය කොතරම් බලපා තිබෙනවාද?
- Em and the Big Hoom කෘතිය ස්වයංචරිතාපදානයක්. අනික් පැත්තනේ A Book of light කියන්නේ සමාජය විසින් අවිචාරවත් ලෙස ‘පිස්සු’ ලෙස හඳුන්වන ලබන සියුම් වෙනසක් සමඟ ජිවත්වන මිනිසුන් පිරිසකගේ අත්දැකීම් එකතුවක්. ඔබ එම කෘති සංස්කරණය කරන විටදි සහ එම අත්දැකීම් සම්මුචගත කරන විටදී ඔබ විඳි අත්දැකීම් අපත් සමඟ බෙදා ගන්නවා නම්?
මුළු ක්‍රියාවලියේදිම වඩාත් අභියෝගාත්මක අත්දැකීම වන්නේ ඔබ ගනුදෙනු කරන්නේ පහසුවෙන් අවදානමකට ලක් විය හැකි මිනිසුන්ගේ අමුද්‍රව්‍ය සමඟින් නිසා. කිසිවකුව තදින් පීඩාවට පත්වන්නෙ ඔහු හෝ ඇය රිදවන විටදී නෙමෙයි. එම පුද්ගලයා ආදරය කරන කිසිවකු රිදවන විටදීයි. මම ඔවුන් විසින් ලියන දේ එක් රැස් කරන විටදී මට දැනුනා ඔවුන් නිර්භීතව තම සිතැඟි ප්‍රකාශ කර තිබෙනවා කියන එක. කිසිවෙකු ලේසියෙන්ම ඔවුන්ගෙන් අහන්න පුළුවන් “ඇයි ඔයාලා ආදරය කරන ඇය ගැන මේ විදියට ලිව්වේ, එය පාවාදීමක් නේද?” කියන කාරණය. ඔවුන් ඒ තත්වය ගැන ඒ වනවිටත් අවබෝධයෙන් තමයි හිටියේ. ඔවුන් තමන්ගේ ජීවිතයේ අත්දැකීම් ලියන අතරතුරදී, ඒ හැඟීම එක්ක ඔවුන් හොඳින්ම ගනුදෙනු කරලා තිබුණා. මම ඔවුනට මෙහෙම කිව්වා. “ ඔබ මෙය ලිව්වෙ මේ කියන අත්දැකීම්වලට මුහුණ දුන්න කෙනෙක් විදියට. ඒත් මම මේක ලියන්නෙ පාඨකයන්ට කියවන්න. ඒ නිසා අඩු තරමේ මේක කියවන්න ප්‍රියතාවක් ඇතිවන විදියටවත් මම ඒවා සකස් කරන්න ඕනෑ” මම එසේ කරන විට මට දැනුණේ ඔවුන් මම වඩ වඩාත් පීඩාවට ලක්වන තත්වයකට ඇද දමන බවකුයි. එය වඩාත් අභියෝගාත්මක අත්දැකීමක් වුනා. ඒත් මම කිව යුතුයි ඔවුන් ඉතාම හොඳින් මා සමඟ වැඩ කළා.
අප කිසිදු සීමාවක් මායිම් නොකර එකට වැඩ කළා. අඳුරු ගැටළුකාරී අවකාශයන් තුළ නැවත නැවත ගිලීයමින්, ගවේෂණයේ යෙදෙමින් ඔවුන් වැඩ කළේ හරියට වෘත්තියමය ලේඛකයන් වගේ. ඔවුන්ගෙන් බොහෝමයක් ලිවීමේ කාර්යයක් තුළ බරපතළ ලෙස නිරතවූයේ ජීවිතයේ පළමු වතාවට වුණත්, ඔවුන් සැබැවින්ම බොහොම නිර්භීත, සහකම්පනයක් අති පිරිසක්. ඔවුන් දැන සිටියා එම කෘතියේ අරමුණ. මම විතරක් නොවෙයි, මානසික ආබාධයක් ඇති කෙනෙකු සමඟ ගනුදෙනු කරමින් සිටියේ. අපි ඔක්කොම. ඒ නිසා ඉන් පැන නැඟෙන හැඟීම තමයි “ මම තනි නැහැ” කියන එක. මම විතරක් නෙමෙයි මේ අත්දැකීමට මුහුණ දුන්නේ කියන එක. එවැනි හැඟීමක් ඇත්තෙන්ම සැනසිලිදායකයි.
- ඔබ මිනිසුන්ගේ අතිශයින් ගැඹුරු සහ පෞද්ගලික මතකයන් එක්කාසු කරන නිසා මට මෙහෙම අහන්න හිතුනා. ඔබට අනුව කොහොම ද මතකය විසින් ඉතිහාසය අභියෝගට ලක් කරන්නේ?
අපේ ලෝකයේ හැම දෙයක්ම බැඳිලා තියෙන්නෙ මතකය එක්ක. එය තමයි එකම දේ අපව මනුෂ්‍යයන් බවට පත් කරන. එහෙම නේද? එය අපව මනුෂ්‍යයන් කරන නිසාම අතීතයේ දේවල්වලින් විඳවන්නත් අපට සිද්ධවෙලා තියෙනවා. ඒ නිසා එයට තියෙන විකල්පයක් තමයි විස්මෘතිය(මතකය නැති වීම). එය සැබවින්ම දේවල් අමතක කිරීමටත් එක්තරා විදියක චිකිත්සාවක් වනවා. අපි නිරන්තරනේ වධ දීම්වලට ලක්වුවන්ගෙන් අහන දෙයක් තමයි “ඇයි නිතරම අතීතය ගැන හිතමින් ඉන්නෙ? ඇයි ඒවා අමතක කරලා දාන්න බැරි? ඇයි නිතරම අතීතයේ ජිවත් වෙන්නේ? වැනි දේවල්. මතකය නිතරම ප්‍රසන්න නැහැ. එවිට එය ඔබ ආපසු අඳුරට ඇද දමනවා. ඉතිහාසය කියන්නේ පොදු බවට පත් වෙන දෙයක්. ඉතිහාසඥයා විසින් කියන දේ, එනම් මහා වෘත්තාන්තයක් විශ්වය පිළිබඳ තාර්කික දැක්මක් ගොඩනඟනවා. ලිවීමේදී වගේම, ඉතිහාසය නිතරම කිසියම් වාදයකට, ඇදහීමකට පක්ෂපාතීයි. ඒ නිසාම දැන දැනම වරදක් කරන හෝ කිසියම් බලපෑමකට යටත් වූ අයෙකු විසින් ගොඩනඟන ලද ඉතිහාසයක් අප මතක තබා ගත යුතුයි.
- ඔබ වරෙක පවසා තියෙනවා “ස්ත්‍රීවාදය ඉන්දියාව තුළ අනාථ දරුවෙක් බවට පත් වෙලා” කියලා.
ඉන්දියාවේ කිසිම තැනක කාන්තාවට ඉඩක් නැහැ. කාන්තාවට කෙතරම් කුඩා භූමියක් ද කෙතරම් කුඩා ඉඩක් ද ලැබෙන්නේ කියන එක දකිද්දී අප කම්පනයට පත් විය යුතුයි. ඔවුන් කාන්තා අතිරේකවල සීමා කරලා. කවදාවත් පත්තරවල පිරිමි අතිරේක එහෙම තියෙනවා ඔබ දැකලා තියෙනවද? මෙම තත්වයට එක හේතුවක් තමයි ස්ත්‍රීවාදය පිටරටින් ආනයනය කළ යමක් යැයි සිතන එක. ඉන්දියානු සමාජය හිතන්නේ ඉන්දියානු කාන්තාව කියන්නේ හරිම ආදරණීය, ආකර්ෂණීය සුන්දර කෙනෙක්, ඒ නිසා ඇයට පවතින තත්වයන්ට අභියෝග කරන්න හැකියාවක් නැහැ කියල.
මට ගොඩක් උගත් කාන්තාවන් මුණ ගැහිලා තියෙනවා. ඔවුන් නිතරම කියන දෙයක් තමයි ඔවුන් ස්ත්‍රීවාදිනියන් නෙමෙයි කියලා. ඔවුන් එහෙම කියන්නේ ස්ත්‍රීවාදය, උග්‍ර වාමාංශික හෝ දක්ෂිණාංශික වැනි අන්තවාදයකට සමාන කරමින්. ඒ වගේම ඔවුන් තුළ වැරදි අවබෝධයක් තියෙනවා ස්ත්‍රීවාදීන් කියන්නේ පිරිමින්ට වෛර කරන, සමාජ සම්ම්තයන් ප්‍රතික්ෂේප කරන පිරිසක්ය කියන එක. ඒත් ස්ත්‍රීවාදීන් හැබෑවටම ඉල්ලා සිටින්නේ මොනවාද? ඔවුන් ඉල්ලා සිටින්නේ ගැහැණුන්ට සහ පිරිමින්ට එක සමානව සැළකීම, සමාන වේතන ලබා දීම, සමාන හිමිකම් සහ අයිතිවාසිකම් මෙන්ම නීතිය ඉදිරියේ සමාන ලෙස සැළකීම වැනි දේවල්.
ඔවුන් ඒ ඉල්ලා සිටින්නේ ප්‍රාථමික මිනිස් අයිතීන් නෙමෙයිද? ඒත් ස්ත්‍රීවාදීන් කියන්නේ සියලු සමාජ සම්මතයන් ප්‍රතිකේෂප කරමින් රැඩිකල් වෙන්න දඟලන පිරිසක්ය කියන එක තමයි ඉන්දියානු සමාජය ඇතුළේ පැළපැදියම් වෙලා තියෙන්නෙ. ඒත් මම දන්නෙ නැහැ ඔය කියන කාන්තා ව්‍යාපාර අපේ සමාජයේ ජීවත්වන සියලුම ආකාරයේ කාන්තාවන් වෙනුවෙන් පෙනී හිටිනවාද කියලා. ඔවුන් මුස්ලිම්, දලිත්, සමරිසි කාන්තාවක් ගැන එක සමාන අන්දමින් කතා කරනවාද? ඔවුන් සංක්‍රාන්ති සහ ද්විත්ව ලිංගික කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනවාද?
- ඔබ සහකම්පනය පිළිබඳ මතුකළ කාරණා අනුව මම දැනගන්න කැමතියි නිර්මාණයක් තුළ ලේඛකයෙකුගේ පුද්ගලස්ථාව පිළිබද ඔබ දරන මතය කුමක් ද කියන එක. සමහර සාහිත්‍ය නිර්මාණ තියෙනවා ලේඛකයෙක් කාන්තා හඬකින් ලියනවා. ඔබ එය දකින්නේ කොහොමද? හරියටම ඒ තුළ ජීවත්වෙන්නේ නැතිව, වෙනත් ලිංගිකත්වයක් නිවැරදිව නිරූපණය කරන්න හැකියාවක් තියෙනවාද?
මම කොහෙත්ම දන්නෙ නැහැ එය කරන්න පුළුවන් දෙයක් ද කියලා. ඒත් අප එක් මොහොතකට හිතුවොත් මේරි රෙනෝලට් (Mary Renault) ගැන. ඇය ලීවා මහා ඇලෙක්සැන්දර් අධිරාජ්‍යයා ගැන කතා මාලාවක්. ඇය ඇලෙක්සැන්දර්ට ආදරය කරන පර්සියානු සමරිසි පණ්ඩකයෙකු( ලිංගිකව බෙලහීන තත්වයට පත් කළ අයෙක්) ගේ ස්ථානයේ රැඳෙමින්. මා මෙතෙක් කියවා ඇති ඇලෙක්සැන්දර් යුගය ඉතාම සියුම්ව ප්‍රතිනිර්මාණය කර ඇති කෘතිය එයයි. කොහොමද දකුණු අප්‍රිකානු සමරිසි කාන්තාවක්, ඇය පර්සියානු කොලුවෙකුගේ තැන ගනිමින්, ඔහු පෙමින් වෙළුනු පිරිමියා ගැන කතා කරන්නේ? එය කෞශළ්‍යය හා පමණක් බැඳුණු දෙයක්. ඔබ එය කෙතරම් නරකට හෝ හොඳට දෙයක් කරනවා ද යන්න හා බැඳුනු දෙයක්. අනික් අතට, පරිකල්පනය නම් රාජධානිය ඇතුලේ මට අනුව නම් නීති නැහැ. මම විශ්වාස කරන්නේත් එසේ නොතිබිය යුතුයි කියලා.
✎ සුභාෂිණි චතුරිකා
මෙම ලිපිය පළමුවරට 2017.03.18 දින රාවය පුවත්පතේ වර්ණ අතිරේකයේ පළවෙන ලදි.
Comments
Post a Comment